පෞරුෂ වෙනස්කම්

පුංචි දරුවන් දිහා බැලුවාම ඔවුන් අතරත් විවිධ පෞරුෂ වෙනස්කම් තිබෙනවා.ඒ ගැන
දෙමව්පියන්ට බොහොම අත්දැකීම් තිබෙනවා.වෙන දෙයක් තබා එකම අම්මාගේ දරුවන්
අතර වුනත් පෞරුෂය ගැන වෙනස්කම් දකින්න පුලුවනි.එහෙමනම් මේ වගේ පෞරුෂ
වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද…?
මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන් ප්‍රීතිජනක සහ ඔවුන්ගේ මානසික
සුවයට හිතකර තත්වයක් නිවසේ ගොඩ නැගුනොත් ධනාත්මක ලක්ෂණ ගොඩ නැගෙන
අතර දරුවාගේ බාල කාලයේදී අප්‍රසන්න සහ මානසික අසහනකාරී පරිසරයක් ගොඩ
නැගුනොත් දරුවා තුළ සෘණාත්මක හෙවත් දුර්වල පෞරුෂයක් ගොඩ නැගෙන්න
පුලුවනි.

ධනාත්මක ආතතිය ගොඩ නගන්නේ කොහොමද…?

ඔබ ඇසුරේ සිටින ඇතැම් දරුවන් උස් මහත් වුනත් තනියම නිදා ගැනීමට බිය වෙන්න
පුලුවනි. ඒ වගේම තනියම කමිසයේ බොත්තම් දමා ගැනීම, ආහාර පාන ගැනීමට පවා
නොහැකි තත්වයක් ඇති වෙන්න පුලුවනි. මේ තත්වයට දරුවා පත් කරන්නේ
දෙමව්පියන් විසින්මයි. ඔවුන් බාල කාලයේ පටන්ම දරුවාට කිසිම දෙයක් තනියම කර
ගැනීමට ඉඩ නොදී සියල්ලම දෙමව්පියන් විසින් ඉටු කර දීමට දරණ උත්සාහය නිසා
දරුවා තුළ දුර්වල පෞරුෂයක් ගොඩ නැගෙනවා.
ඒ නිසා ඔබේ දරුවාගේ පෞරුෂය ධනාත්මක ලෙසින් ගොඩ නගන්නට නම් බාල
කාලයේ පටන්ම ඔවුන් වෙනුවෙන් යම් අභියෝග ලබා දීම වැදගත්. මෙය මුලදී දරුවාට
අපහසු වුනත් කාලය සමග එය අභියෝගයක් විදිහට බාර ගන්නවා.එය දරුවාට
සතුටක්.උදාහරණයක් විදිහට තමන්ගේ මේස් කකුල තනියම දමා ගැනීමට දුන්නොත් මුල්
අදියරේදී එය ඔහුට අපහසුවක් විදිහට දැනේවි. ඒ වුනත් මේ කාර්යය ගැන හුරුවක්
ලබද්දී දරුවා මේ අභියෝගය බාර ගන්නවා. ඒ නිසා බාල කාලයේ පටන් දරුවා අනවශ්‍ය
විදිහට ‘‘බබා“ කිරීම එතරම් සුදුසු නැහැ.

දරාගත හැකි ආතතිය

දරුවන්ට වුනත් බාල කාලයේදී පටන් දරා ගත නොහැකි අන්දමේ ආතතින් ඇති වෙන්න
පුලුවනි. දරුවන් බොහොම සියුමැලියි. ඒත් අනපේක්ෂිත විදිහට ඇති වෙන පුද්ගලික
හෝ පාරිසරික ප්‍රශ්න දරුවාට ඉතාම අහිතකර විදිහට ආතතියක් ඇති කරන්න පුලුවනි.
උදාහරණයක් විදිහට සුනාමි ව්‍යසනය ගැන ඇසූ සහ දුටු දරුවන් වගේම අද පවතින
කොරෝනා වසංගතය ගැන ඉතා වේදනාත්මක තොරතුරු ගැන අසන දරුවන් දැඩි
ආතතියට පත් වෙන්න පුලුවනි. ඒ නිසා දරුවන්ට මේ තත්වයන්හිදී දෙමව්පියන් විසින් ඒගැන යම් සැනසිලි සහගත අන්දමින් අස්වැසුමක් කිරීම දෙමව්පියන්ගේ වගකීමක්. එවිට
දරුවාට ආතතිය දරා ගැනීමට පුලුවන් මට්ටමකට පත් විය හැකියි.

ධූලක ආතතිය

සමහර අවස්ථාවලදී දරුවාට ඇති වෙන මානසික පීඩනය ඔවුන්ට දරා ගත නොහැකි
තරම් වේදනාකාරී විය හැකියි. ඇතැම් සිදුවීම් පාලනය කළ නොහැකියි. මව,පියා හෝ
පවුලේ සමීපතයෙකුගේ මියයෑම වැනි සිදුවීමක් දරුවාට දරා ගැනීම අපහසුයි. වචනයට
වුනත් අපි කියන්නේ දරුවන් මල් වගේ සියුමැලි බවයි. එසේ නම් දරුවන්ගේ මුදු
මෙලෙක හිත් මේ වගේ ඔවුන්ගේ වයසට දරා ගත නොහැකි සිදුවීමකින් කඩා වැටෙන්න
පුලුවනි.
හදිසියේ හෝ මේ වගේ අමිහිරි අත්දැකීමකට මුහුණ දුන් දරුවන් ගැන වැඩිහිටියන්
විසින් වැඩි අවධානයක් දැක්වීම ඉතා වැදගත්. ඔවුන් තනිවීමට ඉඩ නොදී මේ දරුවන්
සමග ගැවසීම ඉතා වැදගත්. බොහෝ විට ධූලක මානසිකත්වයට පත් දරුවන් පාසල්
යෑම ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. ඔවුන් හුදෙකලාව සිටින්න බලනවා විනා කවුරුන්
සමග හෝ කතාබහ පවා ප්‍රතික්ෂෙප කරන්න පුලුවනි. හුදෙකලාව ප්‍රිය කරනවා. තරහ
යෑම වගේම නිතරම බියෙන් පසුවෙන්න පුලුවන්. දරුවාගේ චරිතයෙන් පසුගාමී බවක්
දැනේවි.
ඒ නිසා ඔබේ හෝ ඔබ ඇසුරේ සිටින කාගේ හෝ දරුවෙකු වෙතින් ඉහත ලක්ෂණ
පෙන්වනවා නම් ඒ ගැන නොසලකා ඉන්න එපා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here