- Advertisement -

උපත් බර අඩු දරුවෙකු නිවෙසට රැගෙන ආ පසු බලා ගන්නේ මෙහෙමයි

-

උපතේදී 2500g ට වඩා අඩු බරකින් යුක්ත දරුවන් අඩු උපත් බර (Law Birth Weight – LBW) ලෙස හඳුන්වනවා. මෙසේ උපත් බර අඩු වූ දරුවෙකු නෙමේරු (Premature) දරුවෙකු විය හැක. නැතහොත් ගැබ් කාලයට සරිලන බරට වඩා අඩු බරක් (Small for Gestational Age – SGA) ඇති දරුවෙකු ද විය හැක. ඇතැම් දරුවෙකුට මේ හේතු දෙකම බලපා තිබිය හැකියි. බොහෝ රටවල උපදින දරුවන්ගේ 15% -20% උපත් බර අඩු දරුවන් වන අතරම ශ්‍රී ලංකාවේ උපදින දරුවන්ගේ 16% ක් උපත් බර අඩු දරුවන් ලෙස දැක්විය හැකිය.

සාමාන්‍යයෙන් නිසි උපත් බර සහිතව බිහිවන දරුවන්ට අවශ්‍ය මව්කිරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් උපත් බර අඩු දරුවන්ට අවශ්‍ය වේ. මෙම දරුවන්ට වඩාත් යෝග්‍ය වන්නේ තම මවගේ මව් කිරිය. නිසි ගැබ් වයසට පෙර දරුවකු ප්‍රසූත කරන මවගේ කිරි, එම ළදරුවාට සරිලන අන්දමේ විශේෂත්වයක් ඇතිව නිෂ්පාදනය වේ. මෙම කිරි වල ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ඇතිවා මෙන්ම ආසාවලට එරෙහිව කටයුතු කළ හැකි සාධක ද වැඩිපුර අඩංගු වේ

- Advertisement -

නොමේරු දරු උපත්වලට හේතූ

  • ආසාධන (Infection)
  • මවගේ බර අඩු වීම
  • මව වයස අවුරුදු 18 අඩු වීම
  • දරුවන් වැඩි ගණනක් සිටින මවක් වීම
  • කලින් නොමේරු දරු උපත් සිදු වූ මවක් වීම
  • ගැබ්ගෙල ගැටලු (cervical incompetence)
  • පූර්ව ප්‍රසව රක්තපාතය (Anti Partm Haemorrhage – APH)
  • ගර්භාෂ අසාමාන්‍යතා
  • මවගේ Rh නොගැලපීම් හෝ දියවැඩියාව නිසා දරුවෙකු බිහිවීම ඉක්මන් වීම.

 

නොමේරු දරුවෙකුගේ ලක්ෂණ

  • කෘෂ වූ පෙනුම
  • රැලි වැටුණු සම (මේද පටක අඩු වීම)
  • රත් පැහැ වීම
  • හිසේ වට ප්‍රමාණය, පපුවේ වට ප්‍රමාණයට වඩා වැඩි වීම.
  • පියයුරු වල ප්‍රමාණය 5mm වඩා අඩු වීම.
  • බාහිර කන මෘදුය.
  • බාහිර ලිංගේන්ද්‍රියන් වැඩීම අඩුය
  • පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ, වෘෂණ කෝෂ තුළට වැටී නැත.
  • ගැහැනු දරුවෙකුගේ යෝනියේ මැද කොටස (මණිකයClitoris)  පැහැදිලිව පෙනේ.

 

නොමේරූ ළදරුවෙකුහට ඇති විය හැකි ගැටලු

  • ප්‍රසූතියට පෙර මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම Perinatal asphyxia 
  • උපතින් පසු රුධිරයේ සීනි, Ca, Mg අඩු වීම
  • ශරීර උෂ්ණත්වය අඩු වීම
  • පෝෂණ ලබාදීමේ ගැටලු
  • පෙනහලු වල නිසි පරිදි වර්ධනය නොවී තිබීම නිසා පෙනහලු අශ්‍රිත රෝග
  • ස්වසනය නැවැත්වීම (Apuoea)
  • මොළයේ රුධිර ගැලීම
  • පෙනහලු තුළ ඇති වන රුධිර ගැලීම්
  • රුධිරයේ බිලි රුබින් ප්‍රමාණය වැඩි වීම
  • පරිවෘත්තිය ක්‍රියාවල වෙනස්කම් නිසා රුධිරයේ ආම්ලිකතාවය වැඩි වීම
  • රුධිරයට බැක්ටීරියා ඇතුළු වීම (Septicemia) හා ආවෘති දාහය (Maningitis)
  • බඩ වැල්වල කොටස් අකර්මන්‍ය වීම 
  • හෘද රෝග

උදා: උපතේදී වැසිය යුතු හදවතේ සිදුරු නොවැසීම

  • ඇස් අන්ධ වීම
  • නීරක්තිය
  • පසු කාලීනව විටමින් D ඌනතාවය ඇති වීම

 

නොමේරූ ළදරුවෙකුගේ පෝෂණය

  • ඉපදී පළමු දින කිහිපය තුළ දරුවාට මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි වේ. මේ නිසා ශිරා ගත කිරීම මඟින් පෝෂණ අවශ්‍යතා රෝහලේදී සම්පූර්ණ කරයි. දරුවාට ආහාර ජීර්ණය වන තත්ත්වයට පැමිණි විට මුඛයෙන් ආහාර ලබාදේ.
  • සති 30 – 32 අඩු දරුවන්ට රෝහලේදී නාසය හරහා ආමාශයට නලයක් ඇතුළු කිරීම මගින් මවගෙන් දොවාගත් කිරි ලබාදේ. මව්කිරි නාලයකින් දෙන විට මවගේ ඇඟිලි ඉරීමට දරුවාට ඉඩ සැලසීම අවශ්‍ය වේ. මෙවිට ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වී දරුවාගේ බර වැඩි වේ.
  • සති 30 – 32 වයස් දරුවන්ට නාලය මාර්ගයෙන් වැඩිපුර ලබාදෙන විට හැන්දක් හෝ පොඩි කෝප්පයකින් දිනකට දෙවරක් පමණ කිරි පෙවීම ආරම්භ කළ යුතු වේ. කෝපපයෙන් හොඳින් ආහාර ගන්නා විට නාලයෙන් ලබාදීම අඩු කළ යුතුය.
  • සති 32 හෝ ඊට වැඩි වයස් දරුවන්ට පියයුරෙන් කිරි දීම ආරම්භ කළ හැක. තන අඩුව ප්‍රතී මාර්ගයෙන් සොයා ලෙව කෑම හෝ කිරි ටිකක් උරා බීම ළදරුවාට කළ හැකි නමුත් දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය කෝපපයකින් හෝ නාලය මාර්ගයෙන් දීමට මතක තබාගත යුත්තකි
  • ළදරුවා ස්ථාපිත ලෙස පියයුරෙන් කිරි බීම පටන් ගත් පසු ඔහු හුස්ම ගැනීම සඳහා කිරි බීම නිතර නිතර තාවකාලිකව නවත්වනවා ඇත. මෙවිට ළදරුවා පියයුරේම තබාගැනීම ඔහුට නැවත අවශ්‍ය වූ විට කිරි උරාබීමට උපකාරයකි. පියයුරෙන් කිරි බී අවසන් වූ පසුව දරුවාට කෝප්පයකින් නැවත කිරි පොවන්න. එසේ නොමැති නම් කෝප්පයෙන් හා පියයුරෙන් මරුවෙන් මාරුවට කිරි දෙන්න

 

කෝප්පයකින් කිරි පෙවීමේදී

  • තමාගේ (මවගේ) උකුල මත කෙලින් හෝ අර්ධ ලෙස ඇල වී සිටින සේ දරුවා වාඩි කරවා ගන්න.
  • කිරි තිබෙන කුඩා කෝප්පය දරුවාගේ තොල වෙතට ගෙනෙන්න.
  • තොල්වලට කිරි ටික ආසන්න වන පරිදි කෝප්පය ඇල කර අල්වා ගන්න.
  • දරුවාගේ යටි තොල මත කෝප්පය ලිහිල් අන්දමට රැඳෙන අන්දමට හා කෝප්පයේ පිට දාරය දරුවාගේ උඩු තොලෙහි පිට පැත්තෙහි ස්පර්ශ වන අන්දමට කෝප්පය අල්ලන්න.
  • දරුවා යුහුසුළුව ඇස් හා කට විවෘත කරයි
  • දරුවා උපත් බර අඩු දරුවෙකු නම් තම දිවෙන් කිරි මුඛය තුලට ගනී.
  • මේරු දරුවෙකු නම් කිරි ඉහිරවමින් උරා බොයි.
  • කිරි මුඛයට වත් කිරීමෙන් (දැමීමෙන්) වළකින්න. දරුවාට කිරි ටික මුඛයට ගන්නා පරිදි කෝප්පය තොල් වලට සමීප කරන්න
  • තමාට අවශ්‍ය ප්‍රමාණය ගත් පසු දරුවා මුඛය වසා කිරි බීම නවත්වයි.
  • දරුවාට අවශ්‍ය යයි පවසා කිරි ප්‍රමාණය නොබිව්වේ නම් ඊලඟ අවස්ථාවේදී කිරි වැඩි ප්‍රමාණයක් බීමට පුලුවන. එසේ නොවුනහොත් කිරි වේල් ගණන වැඩි කරගත යුතුය.
  • දරුවාට කිරිදීමෙන් පසුව ගුඩුස් යවා දරුවා මුනින්තලා ස්ථාපිතයේ මුහුණ පැත්තකට හරවා තබන්න. එවිට කිරි පිට උගුරේ යාම වළක්වා ගත හැක. දරුවා පැත්තකට හරවා කොට්ට තැබීමෙන්ද නිදි කරවිය හැක. දරුවා මුනින් අතට තැබීම පැත්තකට හරවා තැබීමට වඩා ආරක්ෂාකාරී වේ

 

දරුවා නිවසේ තබාගැනීමේදී උණුසුම්ව තබාගැනීම වැදගත් වේ. දරුවා සිටින කාමරය උණුසුම් විය යුතුය. දරුවා රෙදි 2 – 3 හෝ රෙද්ද නවා ස්ථර 2 – 3 ක් සිටින සේ එතිය යුතුය. පාද හා අත් වලට මේස් දමා කන් වැසෙන සේ තොප්පියකින් අවාරණය කළ යුතුය. මීට අමතරව පැනල්, බ්ලැන්කෙට්ටුවක් වුවද භාවිත කළ හැක. මවට දරුවාට අත තබා සීතල වී ඇති දැයි බැලීමට හුරුකළ යුතුය. මීට අමතරව දරුවා සීතල වීමෙන් අත් හා පාද තොල් (නිල්) දම් පාටක් ගනී. තවද ශරීරය පුරාම පුල්ලි පුල්ලි ලප දැකිය හැක. මේ පිළිබඳව මව දැනුවත් කළ යුතු අතර එසේ වුවහොත් දරුවා අමතර උණුසුම් කිරීමක් කළ යුතු වේ. මීට අමතරව දරුවාගේ උණුසුම රැකීම සඳහා KMC – Kangaroo mother Care වලට මව හුරුකළ යුතුය. මෙය හෙද කාර්ය මණ්ඩලයේ නීරීක්ෂණය යටතේ කළ යුතුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණව ලැබූ හෙද නිලධාරිනි ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article