කේන්තිකාරයා සමග ගණුදෙනු කරමු.

දරුවෙක් යම් වයසකට පැමිණියාම තමන්ගේ අවශ්‍යතාවයන් එහෙම නැත්නම් හැඟීම් වචනයට නගලා අම්මාට තාත්තාට එහෙම නැත්නම් තමන් රැකබලා ගන්නා අය සමග සන්නිවේදනය කරන්න පුලුවනි.දරුවාගේ ඒ ඉල්ලීම මේ අය ප්‍රතික්ෂෙප කලොත් එය සාධාරණ කිරීමට කරුණු ඉදිරිපත් කරන්නත් යම් වයස් සීමාවකදී දරුවා දන්නවා.

නමුත්, තමන්ගේ හැඟීම් සහ අදහස් නිසි පරිදි සන්නිවේදනය කරන්න බැරි නම්…

අපි මෙහෙම හිතමු. හදිසියේ නගරයට යන දරුවා සාප්පුවේ තිබෙන සෙල්ලම් කාර් එකක් දැක එය ඉල්ලා සිටිනවා.නමුත් වෙලාවේ  හැටියට එය මිළට ගැනීමේ වත්කමක් නැත්නම් ඔබ දරුවාට එය මිළට ගැනීමට නොහැකි බැව් කිව්වත් දරුවාට මේ කියමන සාධාරණ නැහැ. ඒ නිසා දරුවාගේ කෝපය මේ විදිහට ප්‍රකාශ වෙන්න පුලුවන්.

  • බිම පෙරලීම
  • හයියෙන් හැඬීම
  • පහර දීම
  • තමාව සපා ගැනීම
  • අතට හසු වෙන දේ පොලවේ ගැසීම
  • ඇඳුම් ඉරා ගැනීම

මේ වගේ විවිධ අන්දමින් දරුවා ප්‍රතිචාර දක්වන්න පුලුවන්.ඒ සියල්ලටම හේතුව දෙමව්පියන් කියන දෙය සහ තමාගේ අවශ්‍යතාවය දෙමව්පියන්ට දැණුම් දීමට තරම් වපසරියක් නොමැති වීමයි.මනෝ වෛද්‍ය විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට වයස අවුරුදු දෙකක් පමණ වෙන තෙක් දරුවාට වැඩිහිටියන් සමග සන්නිවේදනය පවත්වා ගැනීම අපහසුයි. ඒ නිසා දරුවා කියන දෙය වැඩිහිටියන්ටත්,වැඩිහිටියන් කියන දේ දරුවන්ටත් නොතේරෙන නිසා මේ තත්වය නොදැනීම ඇති වෙනවා.

දරුවා නොසලකා ඉන්න එපා

දෙමව්පියන්ගේ වැඩ කටයුතු සමග දරුවා නොදැනීම අතපසු වෙන අවස්ථා තිබෙන්න පුලුවන්.ඒත් මහ ලොකුවට නොවෙයි, පුංචි පුංචි අවශ්‍යතාවයන් ගැන අම්මාට,තාත්තාට අමතක වෙන්න පුලුවනි. මේ වේලාවට දරුවා කෝපයට පත් වෙන්නේ ඒ විදිහට කෝප වීමෙන් තමන්ගේ ඉල්ලීමට හොද ප්‍රතිචාරයක් ලැබෙන බව ඔවුන් දන්නා නිසයි.

පුංචි කාලයේ අත්දැකීම් මතකත් ඇති

තොටිල්ලේ සිටින කාලයේදී බඩගින්න, මල මුත්‍ර පිටවීම,ශාරිරික අපහසුතාවය යන මේ හැම දෙයක්ම දරුවා මව්පියන්ට සන්නිවේදනය කළේ හැඬීමෙන්.දරුවා හඬන සැනින්ම අම්මා හෝ තාත්තා එතැනට ඇවිත් තමන්ගේ අවශ්‍යතාවය සොයා බලා කටයුතු කළා. තවමත් දරුවාගේ බලාපොරොත්තුව ඒ විදිහට මේ සියල්ල සිදු වෙයි කියලා. ඉතින් දැන් හඬන්නේ නැහැ.ඒ වෙනුවට සැර ගතියක් පෙන්වලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර ගන්නා තැනට දරුවා පත් වෙනවා.

ඉතින් කේන්තියත් සමග ඉදිරියට යන්න දෙන්නත් බැහැ.

දරුවා කේන්තිකාරයෙක් කියලා අම්මා,තාත්තාට ඇස් වහගෙන ඉන්නත් බැහැ. කේන්තිය සමග දරුවාට ජීවත් වෙන්න ඉඩ දෙන්නත් බැහැ. කේන්තිය ඒ තරම් සුබවාදි සංකල්පයක් නොවෙයි.දරුවෙකු තුලින් නිරන්තරව කෝපය පිටවීම ඔවුන්ගේ ජීවිතයටත් සුදුසු දෙයක් නොවෙයි.

ඒ නිසා දරුවාටත් සැලසුමක් අනුව කටයුතු කිරීමට පුරුදු කරන්න.ආහාරපාන ලබා දෙන ,නිදා ගන්න, සෙල්ලම් කිරීමට රටාවක් ඇති නම් දරුවාද ඒ අනුව කටයුතු කරන්න පුරුදු වෙනවා. ඉඳහිට මේ රටාව දෙමව්පියන්ගේ කටයුතු සමග මග හැරෙන්න පුලුවන්.නමුත් දරුවා කෝප ගැනෙන තරම් පමාවක් එයින් සිද්ධ වෙන්නේ නැහැ.

දරුවාගේ අවශ්‍යතාවයන්ට මුල් තැන දෙන්න

දරුවාගේ අවශ්‍යතාවයන් ගැන දෙමව්පියන් තරම් දන්නා කෙනෙක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ බඩගින්න ඇති වෙන වේලාවට ආහාරපාන සකස් කර අවසාන කිරීම වගේම නින්ද අවශ්‍ය වේලාවට දරුවා නිදි කිරීම ඉතාම වැදගත්.එහෙම වුනාම දරුවාට කෝප වීමට කරුණු කාරණාවන් ඉතිරි වෙන්නේ නැහැ.

”බබාගේ භාෂාව” හදුනා ගන්න

දරුවා සහ දෙමව්පියන් අතර සන්නිවේදනයේ හොඳම මාධ්‍ය භාෂාවයි.ඒත් බබාගේ භාෂාව අම්මා තේරුම් නොගතහොත් දරුවා කේන්ති ගන්න පුලුවන්.ඊට හේතුව දරුවා කියන දේ මව්පියන්ට නොතේරෙන නිසා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ.ඒ නිසා දරුවාගේ භාෂාව සහ සංඥාවන් වටහා ගැනීමත් වැදගත්.සමහර විට දරුවා ”වතුර”,”මල”,සෙල්ලම් කාර් එක” හඳුන්වන විවිධ වචන තියෙන්න පුලුවන්.ඒ නිසා අම්මා,තාත්තාත් මේ ”බබාගේ භාෂාව” දැන ගෙන සිටීමත් දරුවාගේ කේන්තිය පාලනයට හොඳ මාර්ගයක්.

දරුවාටත් තීරණ ගැනීමට ඉඩක් දෙන්න

දරුවා පුංචි වුනත් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තීරණ ගැනීමේ නිදහස දෙන්න. ඔවුන්ගේ මට්ටමින් තැමති ඇඳුම තෝරා ගන්න,කැමැති සෙල්ලමට ඉඩ දෙන්න බාධාවක් නැහැ.හැම දෙයක්ම දෙමව්පියන්ගේ අවශ්‍යතාවයන් අනුව හැසිරවීමට නොයා දරුවාගේ මටට්මින් හෝ තීරණයක් නොව කැමැත්තක් කිරීමට අවසරයක් ලබා දෙන්න.

පුංචි වෙනස්කම් වගේම හොඳ දෙය අගයන්න

දරුවාගේ කේන්තිය වෙන අතකට යොමු කිරීමටත් ඔබට පුලුවනි. කේන්ති ගන්නා විට ඒ වෙනුවට වෙනත් දෙයක් පෙන්වන්න. එහෙම නැත්නම් දරුවා කැමැති සෙල්ලම් බඩුවක් ,ආහාරයක් අතට දෙන්න.කේන්තිය නොදැනීම මග හැරේවි. ඒ වගේම දරුවාගේ හොඳ දෙය අගයන්න.සුලුවෙන් හෝ ඇගයීමට දරුවා ප්‍රිය කරනු ඇති.

කෝපය ආයුධයක් කර ගන්න ඉඩ දෙන්න එපා

දරුවා කෝප වීමත් ඒ සමග ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට වීමත් සමාන්තරව සිදු වුනොත් දරුවා කෝපය ආයුධයක් ලෙසින් පාවිච්චි කරනු ඇති. ඒ නිසා දරුවා කෝප වී යමක් ඉල්ලන විට ”ඔහොම ඉල්ලුවොත් දෙන්නේ නැහැ..ලස්සනට ඉල්ලන්න ..” යැයි කියන්න.එයිනුත් මෙල්ලනොවන විට දෙමව්පියන් විසින්ද සැර බවක් පෙන්වන්න.මේ සැර ගතිය සමග දරුවා සන්සුන් විය  හැකියි.දරුවා සන්සුන් වූ පසුව කේන්තියේ ආදිනව පැහැදිලිව කියා දෙන්න.

කේන්ති ගන්නා දරුවන්ට කවුරුවත් කැමැති නැහැ…කේන්ති ගත්තාම දරුවා කැත වෙනවා..කවුරුවත්ම ආදරේ නැති වෙනවා.. මේවා දරුවාගේ කේන්තිය නිවුන පසුව ආදරයෙන් කියා දෙන්න.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here