අධ්‍යාපනය ලබන ඔබේ දරුවා ටත් වෙහෙස වැඩිද ?

ද්විතියික අධ්‍යාපනය ලබන දරුවන් සාංකාව වැනි අඩු මනෝභාවයන්ගෙන් පීඩා විඳින බව එංගලන්තයේ යෝක් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙනවා. ඔවුන්ගේ මෙම අධ්‍යනය වෙනුවෙන් දරුවන් 6300 ක් සම්බන්ධ කර ගෙන ඇති අතර අවසානයේදී ලබා ගත් විශ්ලේෂනයන්ට අනුව පෙනී ගියේ සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු සාංකාව වැනි මානසික පීඩාවන්ගෙන් පසුවෙන බවයි. ඔවුන් ද්විතියික කාණ්ඩයට ගෙන ඇත්තේ හය වන ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පංති වල ඉගෙණුම ලබන දරුවන්.ඒ අතර මේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ 11 වන ශ්‍රේණියේ  ඉගෙනුම ලබන ගැහැණු දරුවන් අතර මෙම මානසික තත්වය වඩාත් උග්‍ර ලෙසින් දක්නට ලැබෙන බවයි.

සාංකාවට පත් දරුවෙකුගේ ලක්ෂණ

  • හදවතේ වේගවත් ගැස්ම
  • වේගයෙන් හුස්ම ගැනීම.
  • ප්‍රචණ්ඩත්වය සහ ඉක්මනින් කේන්ති යෑම
  • දහඩිය දැමීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවය
  • සිරුරේ වේදනාවන් සහ අපහසුතාවයන්

සමහර විට ඔබේ දරුවා වුනත් මේ අන්දමේ අපහසුතාවයන් ගැන පැමිණිළි කරන්න ඉඩ තිබෙනවා.එහෙම නැත්නම් දරුවාගේ හැසිරීම් රටාවෙන් ඔබට යම් අසාමාන්‍යතාවයක් පෙනී යනවා විය හැකියි.

දරුවන් මෙම මානසික තත්වයට පත් වෙන්නේ ඇයි…?

දරුවන්ගේ සාංකාව වැනි අඩු මනෝභාවයන් ඇති වීමට අද පාසල් පරිසරය වැඩියෙන්ම බලපානවා.අපි හිතන්නේ දරුවන් මෙවැනි මානසික පීඩනයට පත් වෙන්නේ විභාග මුල් කර ගත් මානසිකත්වයම  නිසා පවයි.ඒත් අපි නොදකින තත්වයකට දරුවා පාසලේදී මුහුණ දෙනවා.අද පංති කාමරය එහෙම නැත්නම් පාසල තුළ දරුවන් බියවැද්දීමේ ,තර්ජනය කිරීම වැනි පරිසර තත්වයන් නිර්මානය වී තිබෙනවා.ඒ වගේම මත් ද්‍රව්‍ය භාවිතය වගේම මත්ද්‍රව්‍ය භාවිතා කරන කණ්ඩායමට මකතු කර ගැනීම වෙනුවෙන් ඇති බලපෑම් සහ ඇතුළු නොවුන විට සිදු කරන අඩන්තේට්ටම් ඉතාම දරුනු විදිහට දරුවන්ගේ අඩු මනෝභාවයන් වෙනුවෙන් බලපානවා.

විෂය වෙනුවෙන් මුල් තැන..

දරුවන්ගේ අධ්‍යාපනයේදී පංතිය.පෙළපොත සහ විෂය නිර්දේශය මත පමණක් සීමි වීම එතරම් සුදුසු නැහැ. ඇත්තටම ජීවිතය කියන්නේ ”සිලබස්” එක නොවෙයි.ඒ නිසා ඔවුන්ට ”අ” යන්න කියන්න වගේම නටන්න..දුවන්න..ගැලපෙන ඉඩ පරිසරයක් පාපල වෙතින් ලබා දීම ඉතාම වැදගත්.විෂය මුල් කර ගෙන නිතරම ගැටෙන විට ඇති වෙන වෙහෙස දුරු කිරීමට ශාරිරිකව ක්‍රියාකාරී වීම ඉතාම වැදගත්.එවිට මොළයට යහපත් පරිදි ඔක්සිජන් පරිවහනය වීම නිසා දරුවා මනසින් අලුත් වෙනවා.ඒ වගේම නටන,ගයන සෞන්දර්ය ක්‍රියාකාරකම් නිසා දරුවාගේ වින්දනාත්මක බව වගේම සංවේදී සහ ජීවිතයට මුහුණ දීමේ ශක්තිය සමබර ලෙසින් පෝෂණය වෙනවා.

ආහාර රටාව

අද බොහෝ දෙමව්පියන්ගේ කාර්යබහුල ජීවන රටාව නිසා දරුවන්ගේ පෝෂණයට අවශ්‍ය පරිදි ආහාර රටාව ගැලපී නැහැ.සිරුරට අනවශ්‍ය පරිදි මේද ගබඩා වෙන ආහාර නිසා දරුවාගේ තරබාරුබවත්,අක්‍රියශිලී ජීවන රටාවත් නිසා ඔවුන්ගේ මානසික සතුට නොදැනීම අහිමි වීමට ඉඩ තිබෙනවා.ම් නිසා එළවළු,පළතුරු සහ තන්තු ආහාර වැඩියෙන් දරුවන්ගේ ආහාරයට එකතු කරන්න.

ජීවන රටාව වෙනස් කරන්න

එකාකාර ජිවන රටාවෙන් අත් මිදුනේ නැත්නම් ජිවිතයේ කිසිම රසවත් බවක් නැතැයි අපි දන්නා කරුණක්. වෙනස අපි අපේක්ෂා කරන්නේ විවිධ අත්දැකිම් උපයා ගැනිමටයි. අපේ දෛනික කටයුතු මොළයේ සෛල සමගත් සම්බන්ධයි. එකාකාරව කටයුතු කරන විට මෙම සෛලවල හැසිරිමත් එකාකාර රටාවකට සිදු වෙනවා.නමුත් ජිවන රටාවේ වෙනස්කම් සිදුවෙන විට සෛලවලින්ද අලුත් බවක් ගොඩ නැගෙනවා.ඒ නිසා දරුවන්ටත් එකකාර ජීවන රටාව මදකට හෝ වෙනස් කරමින් අලුත් බවක් ඇති වෙන අන්දමට දවස සැලසුම් කරන්න.

දරුවා හුදෙකලා චරිතයක් නොවිය යුතුය.

දරුවා හොදින් අධ්‍යාපනය ලැබීම ඔහුගේ ස්ථාවරත්වය හේතු වෙනවා යැයි ඔබ හිතනවා ඇති. ඒ නිසා අධයාපනයෙන් තොර ලෝකයක් නැති නිසා දරුවාගේ මානව සම්බන්ධතාවයන් ගැන දෙමව්පියන් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති වෙන්න පුලුවනි. නමුත් දරුවා  ගොඩ නගා ගන්නා මානව සම්බන්ධතාවයන් නිසා ඔවුන්  සුරක්ෂිතය යන ධනාත්මක ආකල්පය ගොඩ නැගෙන අතර එය ස්නායු සෛල වෙනුවෙන් යෝග්‍ය ව්‍යායාමයක්ද වෙනවා.

.ඒ වගේම මුලින්ම දැක්වෙන අන්දමේ රෝග ලක්ෂණ ගැන දරුවා වාර්තා කලොත් එහෙම නැත්නම් ඔබට යම් සැකයක් හෝ නිමිත්තක් දැක්කොත් දරුවාගේ හැසිරීම ගැන වැඩි අවධානයකින් කටයුතු කරන්න.ඔවුන්ගේ මෙම අඩු මනෝභාවයන් දුරු වෙන පරිදි කටයුතු සැලසුම් කිරීම එතැනින් හෝ පටන් ගන්න.

අම්මා තාත්තා වගේ ඉගෙන ගන්න

ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ දෙමව්පියන් උසස් අධයාපනයෙන් යම් මට්ටමක සිටිනවා නම් ඔවුන්ගේ දරුවන් අතර මානසික පීඩනය වැඩියෙන් දක්නට ලැබෙන බවයි.ඊට හේතුව වන්නේ නිතරම දෙමව්පියන් විසින් දරුවන්ට කියා සිටින්නේ ”අම්මා තාත්තා වගේ ඉගෙන නොගත්තොත් අපට ලැජ්ජයි…මේ නිසා ද්විතියික අධයාපනයේ පටන් දරුවන් මේ වෙහෙසකර තත්වයට පත් වෙන බැව් බොන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරනවා.විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන නවක සිසුන් 70ක් තෝරා ගෙන ඔවුන්ගේ හිස්කබල ආසන්නයේ කෙස් ගස් තුනක් ලබා ගත්තා. එහිදී මෙම දරුවන්ගේ කෝටිසෝල් මට්ටම ඉහලින් තිබුණා.මෙම දරුවන්ගේ දෙමව්පියන් උසස් අධ්‍යාපනයක් ලබා සිටීම ඊට හේතුවක්.ඒ නිසා දරුවන් නිතරම තමන්ට දෙමව්පියන්ට සමාන උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වේදැයි වූ ආතතියෙන් පසු වෙන අතර දෙමව්පියන් උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා නැති දරුවන් අතර මේ ආතතිමය තත්වය දක්නට නොලැබීමත් තවත් විහේෂයක්.ඒ නිසා දරුවන්ට ඔවුන්ගේ ගමන නිදහසේ යෑහට ඉඩ දෙනු විනා අම්මා තාත්තා වගේ අධ්‍යාපනය ලැබිය යුතුය යන ඉලක්ක ලබා දීමත් නුවණට හුරු නැහැ. 

 

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here