- Advertisement -

මොකද්ද මේ දරුවගේ කොයි වෙලෙත් කියන බඩේ රිදිල්ල

-

මගේ දුව හැම නිතරම අඬනවා බඩ රිදෙනවා කියලා. කී පාරක් බෙහෙත් ගත්තත් බෙහෙත් බොන වෙලාවට විතරයි සුවයක් තියෙන්නේ. බෙහෙත් ඉවර වුණු වෙලේ ඉඳලම ආයෙම බඬ රිදෙනවා කියනවා. බොහෝ අම්මලා මේ ගැන කතා කරනවා. ඒත් ඒකට හේතු විය හැකි කරුණු ගැන අපි දැනුවත් නැහැ. ඒ නිසා මේ තත්ත්වයට හේතු විය හැක කරුණු ගැන අපි වෛද්‍යවරුන් එක්ක කතා කළා.

දරුවන් මේ මැසිවිලි නඟන බඩේ රිදිල්ලට හේතු වෙන්න පුළුවන් මොන වගේ තත්ත්වයන්ද?

- Advertisement -

දරුවෙක් නිතර නිතර බඩ රිදෙන බවට කියන්නට සාමාන්‍යයෙන් පොදු හේතු විදියට මුත්‍රා ආසාදන, මලබද්ධය‍, ළමා අපයෝජන, ගැස්ට්‍රයිටීස් යන තත්ත්වයන් දක්වන්න පුළුවන්.

පුංචි දරුවන්ටත් ගැස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්ද?

ඔව්. මානසික ආතතිය වගේම බැක්ටීරියා ආසාදන තත්ත්වයන් නිසාත් මේ තත්ත්වය ඇති විය හැකියි 

බැක්ටීරියා ආසාදන තත්ත්වයක් දරුවෙකුගේ කුස තුළ ඇති විය හැකියද?

ඔව්..එසේ ආසාදන ඇති කරන බැක්ටීරියාවක් තමයි හෙලිකෝබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) කියන්නේ.

මෙම බැක්ටීරියාව දරුවෙකුගේ උදරයට ඇතුළු වෙන්නේ කොහොමද?

දූෂිත සනිපාරක්ෂාව ප්‍රමාණවත් නොවන ප්‍රජාව තුළ මේ තත්ත්වය බොහෝ විට දක්නට ලැබෙනවා. මේ බැක්ටීරියාව සිරුරට ඇතුළු වෙන්නේ මල අපද්‍රව්‍යවලින් දූෂිත ආහාර/ජලය/බඳුන් වලින්

මෙවැනි ආසාදනයකදී දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?

බොහෝ විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැති තරම්. මේ තත්ත්වයේදී බැක්ටීරියාව මගින් ආහාර මාර්ග පද්ධතියට හානි කිරීම නිසා ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඇති වෙනවා.

මෙවැනි ආසාදනයක් ඇති බව ස්ථිරව නිගමනය කරන්නේ කෙසේද?

මෙය මුඛය හරහා සිදුකරන ඒ කියන්නේ ඉහළ ආන්ත්‍රික එන්ඩොස්කොපි (upper gastrointestinal endoscopy) පරීක්ෂණයකින් සිදු කරන කුඩා බයොප්සි (biopsy) පරීක්ෂණයක් මගින් සනාථ කරගත හැකියි. ඒ වගේම මල පරීක්ෂා කිරීම මගිනුත් මෙය තහවුරු කරගත හැකියි.

මෙවැනි තත්ත්වයකදී දරුවෙකු පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?

උදර වේදනාව ගැන මෙවැනි දරුවෙකු නිතර පවසනවා. මේ වේදනාව කෑම කන අවස්ථාවේදී/රාත්‍රියේදී ඉතාමත් අධික තත්ත්වයට පත්විය හැකියි. සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසුව එහෙමත් නැතිනම් කිරි වීදුරුවක් පානයෙන් පසුව අඩු විය හැකියි. උදර වේදනාවට අමතරව ඔක්කාරය/වමනය, තද රතු හෝ තද කලු මලපහ පිටවීම, කෝපි කුඩු පැහැ වමනය වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

මෙය අවදානම් තත්ත්වයක්ද?

මෙය කලින් තහවුරු කර ප්‍රතිකාර ලබාගත්තේ නම්, සුව කළ හැකිය. එසේ නොවී අසාදනය දිගටම පැවතිය හොත්, ආමාශයේ ආරක්ෂිත පටලය ඛාදනය වී, තුවාල ඇති විය හැකියි. මෙය ආමාශයේ ලේ ගැලීම හා සිදුරු වීමට හේතු වේ. මෙම බැක්ටීරියාව මගින් දීර්ග කාලයක් තිස්සේ ආසාදනය වීමෙන් විවිධ වර්ගවල අමාශ පිළිකා වුවද ඇති විය හැක.‍

මෙය නිට්ටාවට සිව කළ හැකි තත්ත්වයක්ද?

ඔව්, නියමිත ප්‍රතිකාර මගින්, මෙය සම්පූර්ණයෙන්ම  සුවකළ හැකියි. ඒ සඳහා වෛද්‍යවරයා නියම කරන ප්‍රතිජීවක ඖෂධ නිසි උපදෙස් සහිතව ලබා ගත යුතුය.

මේ තත්ත්වය ඇති වූ දරුවෙකු ප්‍රවේශම් කරගත යුත්තේ කෙසේද?

වෛද්‍යවරයා නියම කර ඇති ඖෂධ නිසි මාත්‍රාව නිර්දේශිත වාර ගණන ලබාගත යුතුය. රෝග තත්ත්වය අඩු වූවායැයි මව්පියන් තම මතයට අනුව බෙහෙත් නතර නොකළ යුතුය. එ‍සේම වැසිකිලි යාමෙන් පසු, ආහාර ‍ගැනීමට පෙර දෑත් පිරිසිදු කිරීම වැනි හොඳ සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කළ යුතුය. 

එවන් දරුවෙකුට ලබා දිය යුතු සහ නොදිය යුතු ආහාර වර්ග සහ පාන වර්ග මොනවාද?

දිනකට ආහාර වේල් තුනක් ලෙස හොඳ සමබල ආහාර නියමිත වේලාවට දරුවාට ලබාදෙන්න. තෙල් සහිත හෝ සැර කෑම මෙන්ම තේ, කෝපි, කාබනේට අඩංගු පාන (සොෆ්ට්  ඩ්‍රින්ක්ස්) ලබා දීමෙන් වලකින්න.

මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය (ළමා රෝග) රුක්මල් ගුණතිලක මහතා සහ වැඩබලන විශේෂඥ වෛද්‍ය (දිලීරවේදී) නාමල් ජයවර්ධන මහත්මිය සමග සකස් කරන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article