ඒ තාත්තා ගබ්සා වීය…

 ඒ තාත්තා  ගබ්සා වීය…

සුළැගිල්ලේ එල්ලී පය නගන්නට එන සිඟිත්තෙක් නැති බවද, ක්‍රිකට්  සෙල්ලම උගන්නන්නට බලා සිටි පුංචිත්තා දැන් නොඑන බවද,  උරතලයේ නිදි ගන්වන්නට සිහින මැව් බටිති පැටියා සදහටම සුරඟනන් උර නිදන්නට තීරණය කළ බවද තේරුම් ගත් පළවෙනි නිමේෂයේම ඒ තාත්තා ගබ්සා වීය.

සියල්ලම සර්වසම්පූර්ණ බව ඇදහූ තාත්තෙක්,  තම සිඟිති මුහුණ නොපෙන්වා,  කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, මේ ගමන එන්නට බෑ කියා, යන්න හැරුන කුඩා ප්‍රාණියාගේ නික්ම යෑම අසා කැබළි වලට බිඳී ගියේය. එතැන් පටන් ඒ තාත්තා ගැබෙන් නික්මෙන කළලයක සියළු වේදනාද , රිදුම්ද අම්මා සමඟ එක්ව දරන්නට අදිටන් කර ගත්තේය. 

සෑම අම්මාවරුන් හතර දෙනෙක් අතරින්ම එක අම්මා කෙනෙකුට තම සුරඟන පැටියාගේ අත අතර මඟදී අතහැරෙන අති වේදනානාත්මක පරිච්ඡේදයේ අවසන් පේළිය ලියන්නට සිද්ධ වන්නීය. එනමුදු ඒ කුඩා අත අතහැරෙන සුරඟන පැටියාගේ තාත්තා කිසිදා උත්කර්ෂයට නැගුනේ නැත. කුඩා ජීවියාගේ අකර්මණ්‍ය හෘද ස්පන්දන සායනික සටහන තම හදවත පහුරු ගෑ බව ද , තමන් සතු සියලු පුරුෂ ධෛර්යයන් බල ශූන්‍ය  කළ බවද දැන දැනම අම්මාගේ අත තදින් අල්ලාගෙන සිටි ඒ තාත්තා,  ගැබ නොදරා ම ගබ්සා වීය.

හිත් පුරා මල් පිපුන ආදරණීය වසන්ත කාල බර ගණනකට පසු පැමිනෙන්නට සිටි අලුත් අමුත්තා යළි නොපැමිණෙන බව දැන් වූ නපුරු පුවතද, ඒ පුවතින් පසු එන දුර්භික්ෂ කාලයටද මුහුණ දෙන්නට හිත හදාගත් ඒ තාත්තා, කඳුළු රසක් දිවට නොදැනීම වැළැක්වීම මුහුණ පුරා වැවුණු දැලි රැවුලට බාර කළේය. 

අම්මාගේ හිත සනසවන්නට නැදිමලයාදීන් රැස් වීමෙන් අනතුරුව විවිධාකාර උපදෙස්, අවවාද, යෝජනා සහ චෝදනා වලින් අම්මාව වැසී යනු වැළැක්වීමට අපමණ උත්සහ ගත් ගබ්සා වූ තාත්තා ” ඔයා මෝඩයෙක් වගේ බලාගෙන හිටියේ ඇයි? ඒ මිනිස්සුන් දොඩවනකම්..ඔයාට ගානක්වත් නෑ” කියමින් අම්මා කරන චෝදනා දෙස ආත්මානුකම්පාවෙන් බලාසිටියේය.

කුඩා ප්‍රාණියාගේ හැරයාමෙන් පසු අම්මාගේ විටෙක රළු , විටෙක වේදනාත්මක, විටෙක අවුල්වී ගිය ව්‍යාකූල හැසිරීම් දෙස උපේක්ශාසහගතව බලාසිටිනු හැර ගබ්සා වූ තාත්තාට කළ හැකි වෙන අන් යමක් නොවීය (Relationship effects). තමන් නොසලකා හැරියාසේ දැනෙන හැඟීම මැඩලනු වස් කිරීමට කිසිදු දෙයක් නැති බව ඒ තාත්තා වටහා ගෙන සිටියේය . 

 

  • පරාජිත හැගීම
  • බිය
  • අවිනිශ්චිතභාවය 
  • මංමුලාව 
  • වරදකාරී හැඟීම
  • අවිශ්වාසය 
  • මානසික අවපීඩනය 
  • බිඳුනු මානසික ඒකාග්‍රතාව 
  • හුදකලාව 
  • පාලනයකින් තොර පෑරුණු හදවත 

 

පවා ඒ තාත්තාට තනිව දරා ගන්නට සිදුවිය.

 “පිරිමියෙක් උනහම අඩන්න නෑ ..අඬන්නේ ගෑනු විතරයි” යන සමාජය රීතිය කවදා, කොතැන, කොයි ලෙස බිහි වුණා දැයි නොදන්නාමුත් ගබ්සා වූ තාත්තා එයට වෛර කළේ ය (Emotional drain). හොඳ සවන් දෙන්නෙක් මේ මොහොතේ තමන්ට අවශ්‍ය බව තේරුම් ගත්තද තාත්තාට සිටියේ කුඩා ප්‍රාණියාගේ නික්ම යෑම සරලව සමීකරණ තුළට යොදා තුලනය කළ මිතුරන් පමණි. 

තමන් ඇදහූ කිසිදු විශ්වාසයකට, කුඩා ජීවියා ගේ ජීවිතය රැක ගන්නට නොහැකි වූ බව තේරුම් ගත් ඒ තාත්තා, දෙවියන් ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ” ඇයි මමම ? …ඇයි මටම?”. කිසිදා පිළිතුරක් නොලැබෙන බව දන්නා මූත් ඒ තාත්තා දිගටම ප්‍රශ්න කිරීම සිදුකළේය (Spiritual effect). අවසානයේ “ඔබ ගැන මට කිසිම විශ්වාසයක් නැතැයි” දෙවියන්ට චෝදනා කරමින් ඔහු සිතින් වැලපෙන්නට පටන් ගත්තේය.

ලෝකයේ 25% ක් තාත්තලා අතුරින් කිසිදා පූරණය කිරීමට නොහැකි හානියකට මුහුණ දුන් ඒ තාත්තා දහසකුත් එකක් හිත තුල යුධ වදින සිතුවිලි ( Mixed emotions) සමග තනිව අරගල කළේය. මේ තුවාලය සුව කළ හැක්කේ කාලයට පමණක් බව ඔහු හොඳින් වටහා ගෙන සිටියේය. පළමුව ප්‍රතික්ෂේප කිරීමෙන් ද (Denial), දෙවනුව සිත පුරා පිරී ගිය දැඩි උදහසකින්ද (Anger), නොපෙනෙන දේව යාතිකා, යැදුම්  සහ ආයාචනා බර ගණනකට පසුව ද (Bargaining), දැඩි මානසික අවපීඩනයකින් අඳුරු අගාධයකට ඇද වැටීමෙන් පසුව ද (Depression), අවසානයේ මෙි අහිමිවීම පිළිගැනීමට (Acceptance) තරම් ඒ තාත්තා නිර්භීත වීය. 

“අපිට තව බබෙක් හදාගන්න පුලුවන්නේ” කියා ඔහු  කිසිදිනක ගබ්සා උන අම්මාට කීවේ නැත  (Choosing what to say and what not to say ).  මන්ද සෑම පුංචි පැටියෙක්ම එකිනෙකාට අනන්‍ය සහ විශේෂිත බව ඔහු හොඳින් දැන සිටියේය. ඒ වෙනුවට ඔහු, ඔහුගේ අචල ආදරය (Reassurance of love ) සහ උණුසුම (affection) ඇයට පුද කරන බව ඇය තුරුළු කරගෙන කීවේය.

වේදනාවන් අසන්නට හෝ සාධාරණව බෙදාගන්නට කිසිවෙකුත් නැති බව තේරුම් ගත් ඒ තාත්තා කෙදිනක හෝ තම දරුවෙකු ඉපිද , ලොකු මහත් වී කියවන තුරු තමන්ගේ අහිමි වීම ගැන  හැඟීම් ලියා තබන්නට ( Writing it down) තීරණය කළේය.

රාජකාරීන් ගෙන් වියුක්තව බොහෝ නපුරු සහ කටුක දේ ගැන සිතමින් කාලය ගත කිරීමෙන් තුවාල නැවත නැවත පෑරෙන බවද , කිසිදා සුව නොවෙන බව ද වටහා ගත් හෙතෙම මොනවා හෝ ප්‍රියජනක කටයුත්තක යෙදී , මනස කාර්යබහුල කිරීමට ඉටා ගත්තේය (Getting busy).  

එතැනින් නොනැවතී  සෑම කළු වලාවකම රිදී ඉරක් දැකිය යුතු බව ද , නපුරු නරක කාලවල් සියල්ලටම පසු අති මනරම් උදෑසනක් බිහිවෙන බව ද විශ්වාස කළ යුතු බව ඒ තාත්තා අම්මාට යෝජනා කළේය ( Hoping for the best). 

ලෝකයේ 25% ක් තාත්තලා තමන්ගේ කුඩා ප්‍රාණීන් අහිමිවීමේ වේදනාව දරා ගන්නා බව බොහෝ දෙනා අමතක කළ සහ නොසලකා හැරි (Most underrated) ප්‍රස්තාවනාවක් වන්නේය. ඔබ මහත් සේ බලාපොරොත්තු සහගතව සිටි වටිනා යමක අහිමිවීමේ වේදනාව ඔබ කෙදිනක හෝ විඳ ඇත්නම් , ඔබ තේරුම් ගත යුතු කාරණය වන්නේ, ගබ්සා වීමකට මුහුණ දුන් යුවළකගෙන්, ගැහැනිය මෙන්ම පුරුෂයාද එක සේ මානසික බිඳ වැටීම් වලට ලක්වෙන බවය. ඔබ ගබ්සාවකට පෙර කෙදිනක හෝ මොන මූණ දී ඇත්නම්, කිසිම විටෙක ඔබේ අත්දැකීම සමඟ ඒ වේදනාත්මක මාර්ගයේම ගමන් කරන අලුත් අම්මාගේ සහ තාත්තාගේ අත්දැකීම සමාන  බව කීමට හදිසි නොවිය යුතු වන්නේ මිනිසුන් එකිනෙකාට අනන්‍ය ජීවීන් හා විඳගැනීම් පුද්ගලානුබද්ධ බව අප දන්නා නිසාය.

ඉඳිකටු ඉතා කුඩා නමුත් තියුණු හෙයින්,  එය සමේ අපිචර්මය සිදුරු කරගෙන යන අතර  ඔබට වේදනාවක්ද දෙමින්  රුධිරය ගලා යාමට සැලැස්වීම  බොහෝ දෙනෙක්  විඳි පොදු අත්දැකීමකි. අප බොහෝ දෙනා නොසිතන, නොතකන නමුදු අපගේ වචන සහ ක්‍රියා , ඇතැම්විට පීඩිතයකුගේ ජීවිතයේ දිශානතිය පවා වෙනස් කරන ඉඳිකටු වන බවට ඔබ තවමත් ඉගෙනගෙන නැත්නම් , දැන් එය ඉගෙනීමට කාලය එළැඹ ඇති බව අපි යෝජනා කර සිටිමු . ලෝකය ලස්සන වන්නේ ඔබෙනුත්, මගෙනුත් පමණක් නොවේය, අප සියලු දෙනාගෙන්ය. අප සියලු දෙනාගේ දායකත්වයෙන්ය. සුවදායක ලෝකයකට  හෙට හිරු උදා වෙන්නට, අපි එකිනෙකා වෙනුවෙන් නැගී සිටිමු.

 තාත්තලාට ආදරයෙනි.

 

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ බ්‍රිතාන්‍යයේ Sheffield Hallam විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක සහ ව්‍යාපාර කළමණාකරණය සහ තොරතුරු තාක්ශණය පිළිබඳ ශ්‍රී ලාංකික ඩිප්ලෝමාධාරිනියක වන මම Parenting.lk හි නිදහස් ලේඛිකාවක් ( freelance writer) ලෙස ලිපි පළකරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here