අනේ මන්දා…ඒ දෙන්නා නම්. (written from a child’s perspective)

මම අමායා. නිකම්ම අමායා නෙමෙයි.  අමායා රන්සරණි වනිගසූරිය. වයස අවුරුදු දාහතයි. උසස් බාලිකාවේ ඉගෙන ගන්නේ. මට ඉන්නවා නාහෙට අහන්නේ නැති මල්ලි කෙනෙක්. එයා සවිරු. එයා තාම හය වසරේ.

අපේ අම්මයි, අප්පච්චියි දෙන්නම රාජ්‍ය සේවකයෝ.තාමත් රස්සාවේ යනවා. තාත්තගේ කසාද බැඳපු නැති පොඩි නංගී, ඒ කියන්නේ අපේ පොඩි නැන්දා තමයි අපිත් එක්ක පුංචි කාලේ ඉඳලා තනියට ඉන්නේ. 

” මහ නපුරු ගෑනියෙක් අනේ…මට පේන්න බෑ..”  මායි මල්ලි මොනවා කරත් එයාට වැරදියි. මල්ලි නම් නිතරම ගුටි කනවා. එයාටනං හොඳ වැඩේ තමයි . ඒ උනාට මල්ලිට ගහන එකටයි මට බනින එකටයි නම් මට එන තරහක්.

” මට පේන්න බෑ එයාව “

 

අම්මයි තාත්තයි ගෙට ගොඩ වෙන්නෙ කොයිවෙලේද?  අන්න ඒ වෙලාවේ ඉඳන් පොඩි නැන්දා පටන් ගන්නවා කේලම් කියන්න.  

” අමාට අද ටෙලිෆෝන් කෝල් දෙකක් ආවා. එකක් අමා ගත්තා.  අනේ මන්ද වරුවක් කතා කළා මේනකා ඔන්න මං කිව්වා “

මේනකා කියන්නේ අපේ අම්මා.

” බැලුවොත් ටෙලිෆෝන් වයර් එක බෙල්ල වටේ” පොඩි නැන්දා එහෙමයි සංක්ෂිප්ත වශයෙන් කේලම අම්මට කිව්වේ.

” ටෙලිෆෝන් එකෙන් ඔය හැටි මොන මගුලක් කියවනවද ළමයෝ?  ඔය හැටි බිල් යවාගෙන ?

කතා කරන දෙයක් ඉස්කෝලෙදි කතා කරන්න බැරිද?……. අප්පච්චියි මායි, මැරි මැරි හම්බ කරනවා නේ… උඹලට බැරියැයි ගෙදර ඉදන් කාබාසිනියා කරලා දාන්න.” (constantly trying to find faults with children)

අම්මා ඔය ටික කියන්නේ දියරෙද්දට මාරු වෙන්නත් කලින්. හැම අම්මෙක්ම මෙහෙමද? මට නිදහසට කරුණු කියන්නවත් අවස්ථාවක් නෑනේ. ඇත්තටම මට ඕන වුණේ ස්වර්ණදේවි බාලිකාවේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්තරේ ගැන මන්දනා ගෙන් අහගන්න. මන්දනායි මායි එකම අතිරේක පන්ති වලට යන්නේ. ඒ උනාට ඉස්කෝලේ දෙකක. මන්දනා මගේ උදව්වට දෙපාරක්ම මට කෝල් කලත්, මම මන්දනාට කෝල් කරේ එක පාරයි. ඒකත් ඉල්ලුම් නම්‍යතාවය ගැන තිබ්බ ප්‍රශ්න ගැන අහන්න.  

ඉගෙන ගන්නයි, බැනුම් අහන්නයි දෙකක් බෑනේ. මන්දනාට නම් මොබයිල් ෆෝන් එකක්ම තියෙනවා. මම කවදාවත් අම්මලගෙන් ඒව ඉල්ලලා නෑනේ. 

” මේගොල්ලන්ට නම් පිස්සු …..පිස්සුවෙත් හොදම එක  “

 

වෙලාව රෑ 7ට 20යි. ඔන්න අප්පච්චිගේ බයිසිකලේ සද්දේ ඇහෙනවා. මල්ලි නම් අප්පච්චි කන්න ගේන්නේ මොනවද බලන්න තාමත් ඉස්සරහට දුවනවා. මමත් ආසයි,  ඒත් මම ඒ දිවිල්ල නතර කරලා ටික දවසක් වෙනවා. මොකද ඔය ගේන දෙයක් දීලා, අප්පච්චි ඉස්සරහා පුටුවේ වාඩි වෙලා අපේ විස්තර අහන එක නෙමෙයි කරන්නේ.

” මෙන්න සවිරු විස්කිරිඤ්ඤා ….දැන් එකක් දහයක් වෙනවනේ….ඉස්සර නං එකක් සත පහයි..අපේ අප්පච්චිලා මෙහෙම නිකං ගෙනත් දෙන්නේ නෑ…..අපි හරක් දක්කලා, තණකොළ කපලා, ඔක්කොම වැඩ කලහම ඔන්න අපේ අප්පච්චි අපිට සතයක් දෙනවා ….

ඒකත් දවස් ගානක් එකතු කරල කන්න ලැබෙන්නේ එක විස්කිරිඤ්ඤයයි. උඹලට නම් සැප වැඩියි. ” 

ඔන්න අපේ මල්ලි විස්කිරිඥ්ඥා කන්න ගිහින් අහගන්න දේවල්. අප්පච්චිට දැන් අවුරුදු පනහයි. ඒ උනාට අවුරුදු හතළිස් පහකට කලින් ඒවා තමයි හැම වෙලාවෙම දොඩවන්නේ. (always living in the past )

මට නම් විස්කිරිඤ්ඤා කියන්නේ පේන්න බැරි කෑමක්.

මගේ O/L  ප්‍රතිඵල A7 යි B 2 යි. විද්‍යාවයි ගණිතයයි කොහොමත් තිබ්බේ පේන්න බැරි ගොඩේ වුණත් මට ගණිතයට A යි,  විද්‍යාවට B යි අර ගන්න පුළුවන් වුණා. මම ආසම විචාර ලියන්න. කථික තරග වලත් ටීම් ලීඩර් උනේ මම. මම හීන දැක්කේ නීතිඥයෙක් වෙන්න. ඒ කළු ලෝගුව ඇඳගෙන ගැම්මෙන් ඇවිදගෙන යන හීනේ අම්මයි අප්පච්චියි බොහොම ලස්සනට බොඳ කරලා දැම්මා. අපේ අම්මා, අප්පච්චිට මුලින්ම හැදුනේ දොස්තර-ඉංජිනේරු පිස්සුව.  තාත්තගේ ඔෆිස් එකේ ශාන්ත මාමගෙ දුව, ජනනි අක්කා මෙඩිකල් කොලෙජ් ගිය එක තමයි එයාලගේ ඔළුවේ වැඩ කළේ . මට බයෝ සයන්ස් හරි කම්බයින් මැත්ස් හරි තෝරගන්න කියලා දීපු වදයක්. විද්‍යාවට B ආපු එකට දෙවියන්ට මම පින් දුන් එදා.

” ජනනි අක්කා දොස්තර උනහම ලෙඩ්ඩුත් එපෑ…බෙහෙත් කරන්න..මම ලෙඩෙක් වෙන්නම් එතකොට ඉවරනේ ” මම එහෙම කිව්වම අම්මා මගේ කම්මුලට ගැහුවා.  

” කට වාචාලකමට කියවන් එනවද? උඹ කවුරු කියලද හිතන් ඉන්නේ ? ” කියලා ඇහුවේ අපේ අම්මා. ( speaking authoritatively )

අප්පච්චි නම් කිව්වේ ” මුන් දරුවො නෙමෙයි මරුවෝ … අනේ උඹ කලා විෂයන් කරලා කොරයි අපිට…උඹට පුළුවන් කලාව..” කියලයි. ( negative talk and approach ). මට මැරෙන්න තරම් දුක හිතුණා . අන්තිමේ මම කොමර්ස් කරන්න හිත හදාගත්තා. පුදුම අම්මෙකුයි අප්පච්චි කෙනෙකුයි මට ඉන්නේ.

 

අපේ මල්ලි නම් අනේ මන්දා . අපේ අම්මලා එයාට කියන ඒවා, එයාට තේරෙනවද කියලා මට හිතාගන්න බෑ. ගෙදරට කවුරුහරි ආව ගමන්, මල්ලිව ළඟට අරන් අප්පච්චි පටන් ගන්නවා වරුණාව. ” මේකා තමයි මගේ නමයි, පරම්පරාවයි ඉස්සරහට ගෙනියන්න ඉන්න එකා..මගේ කොල්ලා..මූට  තමයි මේ ගෙවල් දොරවල් ඔක්කොම “

අපේ මල්ලි නමයි, පරම්පරාව ගෙනියන එක ගැන හිතන් ඉන්නේ වාහනයක් ඩ්‍රයිවින් කරනවා වගේ ලේසි වැඩක් කියලා. අනේ එයාට තේරෙන පරම්පරාව. සමහරවිට එයා හෙනම උජාරුවෙන් ඉන්නේ, මේ ගෙවල් දොරවල් ඔක්කොම එයාට දෙනවා කියපු නිසා වෙන්න ඕන. එතකොට මේ අමායා රන්සරණි වනිගසූරිය කියන්නේ අනාථ ළමයෙක්ද? ඕව හිතලම මගේ ඔලුව විකාරයි.  ( not explaining properly ). නම ගෙනියන්නේ අපේ මල්ලි නම්, මට මොන කෙහෙල් මලකටද වනිගසූරිය කෑල්ල? 

මීට පස්සේ  මම නිකම්ම අමායා රන්සරණි.

 

ගිය සතියේ මගේ අතින් මගේ පිඟාන බිඳුණා. ඒක වුනේ බ්ලැකීට මාළු කෑල්ලක් දාන්න එලියට ගිය වෙලාවේ. බ්ලැකියා මාළු කන්න හදිස්සියට මගේ ඇඟේ එල්ලුනා. බ්ලැකී කියන්නේ අපේ බල්ලා. මේ වැහි දවස්වල පේමන්ට් එකේ වතුර පිරිලා. ඉතින් මම ලෙස්සලා යන එක අහන්නත් දෙයක්ද?  ආපෝ…එදා ඉරිදා. අපේ අම්මා ගෙදර උන්න දවසක්ම බලල මගෙ පිඟාන බිඳුණේ නම්  මගේම නරක වෙලාවට. 

” ආ.. බිඳලා විනාස කරපන්… මොකෝ අතින් පයින් යනවා කියලද?….එකක් ඇරෙනකොට  එකක් ගේන්න ඉන්නවනේ ඉතින්…”

ඔන්න අම්මාගේ කෑගැහිල්ල . ඒ උනාට ඊයේ පෙරේදා අම්මගේ අත බැරිවෙලා, එයා ආසම කරන පෝසිලෙන් පිඟන් හතරක්ම බිඳුනා. කෝ කවුරුත් බැන්නයෑ ( not accepting mistakes in front of children ). එක අතකට ඉතින් එයා වියදම් කරල ගෙනාපු දේවල්නේ. මට බැන්නට නම් හොදම වැඩේ.  

 

කවුරුහරි, කවදහරි මේවා කියෙව්වොත් හිතාවි මම මහ නරක ගෑනු ළමයෙක් කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි. අම්මයි අප්පච්චි දැකපු ලෝකෙන් බාගයක්වත් මම තාම දැකලා නැහැ. හැමදේම ඉගෙන ගන්න මට තව කාලයක් ඕන. අම්මයි, අප්පච්චියි අපිට බැන්නට, එයාලා අපිට ආදරේ ඇති. ඒත් කවදාවත් කියල නම් නැහැ ( no communication with children ). වැරැද්දක් කරහම බැන්නට කමක් නැහැ. වැරැද්දක් ඇතුවත් නැතුවත් බැනුම් අහන්න මටනම් බෑ. මට ගොඩක් වෙලාවට මම ගැනම දුකක් දැනෙනවා. මම තනිවෙලා මට කවුරුත් නෑ වගේ හැඟීමක් දැනෙනවා. අම්මා අන්තිමට මගේ ඔලුව අත ගෑවේ කවදද කියලා මට මතක නෑ. රස්සාත් එක්ක ඒගොල්ලො හරිම කාර්යබහුලයි. ඒත් එයාලගෙ වෙහෙසයි, මහන්සියයි මගෙයි, මල්ලිගෙයි පිටින් යවනවට මම ආස නෑ.  අම්මට රසම කෑම හදන්න බැරි උනාට මට දුකක් දැනෙන්නෙ නෑ. අම්මට මට කවන්න බැරි උනාට දුකක් දැනෙන්නෙත් නෑ. ඒත් අම්මාටයි අප්පච්චිටයි බැරිද පුංචි වෙලාවක් මාත් එක්ක කතා කර කර ඉන්න. මට ගෙදරක් නෑ වගේ දැනෙන හැඟීමට මම වෛර කරනවා.  අම්මලාගේ ඇඟේ දැවටි දැවටි ඉන්න මගේ යාළුවන්ට මම ඊර්ෂ්‍යා කරනවා. මම වෙන මොනවා කරන්නද? මට ඕනේ හොඳට ඉගෙනගෙන ඉක්මනින්ම මේ ගෙදරින් පිටවෙලා යන්න. එතකොට මම මෙයාල ගැන හිතන්න ඕන නෑනේ.

ඔව් මම අමායා රන්සරණි  විතරක් උනාම හොඳටම ඇති.

 

ඔබට ඔබව මඟ හැරෙන තැන ඔබේ දරුවන්ද මඟ හැරෙනු ඇත. හොඳම මල් පිපෙන දීර්ඝ වසන්ත කාලය පටන් ගන්නේ අදය. අද හොඳම දවසය.

දෙමව්පියන්ට ආදරයෙනි. 

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ බ්‍රිතාන්‍යයේ Sheffield Hallam විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක සහ ව්‍යාපාර කළමණාකරණය සහ තොරතුරු තාක්ශණය පිළිබඳ ශ්‍රී ලාංකික ඩිප්ලෝමාධාරිනියක වන මම Parenting.lk හි නිදහස් ලේඛිකාවක් ( freelance writer) ලෙස ලිපි පළකරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here