දුවකගේ තුවාල..

Portrait of sad girl with mother in background at home

මගේ මුහුණේ ප්‍රතිබිම්බය මා පළමුව දුටුවේ මගේ අම්මාගේ මුහුණෙනි. එය කැටපතටත් වඩා පැහැදිලි බව මට දැනුදු ආවර්ජනය කළ හැක. ඒ මුහුණේ වූ මායාමය ආකර්ෂණය විනා අම්මත් මාත් ආදරෙන් බැඳී සිටි එකදු දවසක් හෝ මගේ මතකයේ නැත.

( Being a daughter to an unloving mother )

අම්මාගේ ආදරය හෝ අවධානය ඉල්ලා ගන්නෙ කෙසේදවත් නොදත් පීඩිත ළමා කාලයක් මට හිමි විය . අම්මාත්, මමත් ආච්චි අම්මලා සමග මහගෙදර විසුවෙමු. කෙදිනකවත් නොදුටු තාත්තා රටවිරුවෙක් වීම එයට ආසන්නතම හේතුව විය යුතුය.  ඇයි? ඒ ඇයි? කොහොමද? කවුද? කියා ප්‍රශ්න කිරීමටවත් මට අයිතියක් නොතිබූ හෙයින් මා ඒ ගැන දන්නේ නැත ( lack of self confidence ).

මා දැන සිටි එකම කාරණය නම්, මා කුණු මාළු කෑල්ලක් හා සමානව පිළිකුල් කෙරෙන බවය ( not knowing that she is lovable or worthy of  attention ).

මා කිසිදා වැරදි නොකළ මුත් ….. නැත මම කිසිදු දෙයක් වැරදෙනවාට බිය වුනෙමි. මන්ද අම්මාගේ පරිභව කිරීම් තරම් මගේ හිත කැබලි වලට ඉරිය හැකි වෙන කිසිදු තියුණු ආයුධයක් නොමැති බව මම අදටත් විශ්වාස කරන නිසාය. ” මෝඩ මූසලී , ගස් බැල්ලි , කාලකන්නි මූසලී ” වැනි ආක්‍රොශයන් මට සුපුරුදු ඒවා විය (criticized at every turn ). 

පසුකලක ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකදීම ” මම මෝඩ මූසල ගස් බැල්ලියෙක් ” බව විශ්වාස කිරීම නිසාම මම පැරදුනෙමි. මගේ මනසේ මගේ අම්මා නොඅඩුව තැන්පත් කළ දුෂ්ට සහ දීන වැකිවල දෝංකාරයෙන් මට අදද මිදීමට නොහැකිය ( internalized mother’s voice will continue to undermine child’s future accomplishments ). 

මගේ උපන්දිනය යනු මා වැඩි වශයෙන් නින්දාවටත්, අපහාසයටත් පත්වන දවසක් පමණක්ම විය. එකම වෙනස  වූයේ වෙනදා මා කෙරෙහි කිසිදු ඇඟෑලුම් කමක් හෝ විශේෂත්වයක් නොදක්වන ආච්චි අම්මා පවා, අම්මා අශ්ශීල ලෙස සිදුකරන පරිභව කිරීම් වලට උල්පන්දම් සැපයීමය. ” අපේ කරුමේ තොගේ මදන කුලප්පුව ” කියමින් ආච්චි අම්මා, ඇගේ දියණියට එදින විශේෂයෙන්ම බැණ වැදුණාය. එහි අග්‍ර ඵලය වූයේ මා අම්මාගේ අපමණ දෝෂදර්ශනයන්ට සහ ගුටි පහරවල් වලට ලක් වීමය. 

මිනිසුන්ට මම බියවීමි. මිතුරෝද, සතුරෝද මට හඳුනාගත නොහැකි විය. මගේ අම්මා මට නොදුන් විශ්වාසය ලෝකයා විසින් මට දෙනු ඇතැයි අදද මම නොසිතමි ( lack of trust ). මම අම්මාගේ සමාගමය ප්‍රිය කළ හැම දිගු තත්පරයකම, ඇය එය නපුරු ලෙස ප්‍රතික්ෂේප කළාය. මා වැඩිවිය පැමිණීම හෝ ඉන් පසු ගැහැණු දරුවෙකු ලෙස මට මුහුණ දීමට සිදුවන අභියෝග කෙරෙහි ඇය අල්ප මාත්‍රයක හෝ උනන්දුවක් දැක්වූයේ නැත.

ඉතින් මට යමක හොඳ හෝ නරක කියා දෙයක් තිබුණේ නැත මම කවුද හෝ මට උවමනා මොනවාද යන්න මම නොදැන සිටියෙමි (difficulty seeing the self accurately ).

පාසල් පන්ති කව හෝ සංවර්ධන සමිතියේ රැස්වීම් වලට ගෙනියන්නට මට කිසිදා මවක්, පියෙක් හෝ භාරකරුවෙක් සිටියේ නැත. ඒ සෑම දිනයක්ම මට තවත් එක් හැඩුමක් පමණක් විය. ඇතැම් දිනෙක උගුරේ සිර වෙන බත් ටිකක් පවා මට කඳුළු ගෙනාවේය. ඉතා අසරණ හැඟීමක් අදෘශ්‍ය ලෙස මා වෙලාගෙන සිටීම මට වළක්වනු නොහැකි විය ( being overly sensitive ).

දැනුදු මම පිටස්තරයෙක් සමග ඉඳහිටක කායිකව බැඳෙමි. එනමුදු ආදරයෙන් නොබැඳෙමි. ආදරයට මම ඒ තරම් බියය. ආදරය යන වචනය සමග මට අම්මාගේ සියලු දෝෂාරෝපණයන් සිහිවේ ( replicating the mother bond in relationships ).

කිසිදා මවක් වීමේ අවශ්‍යතාවයක් මට නැත. නොදුටු පියෙකුට දාව අනාදර මවකට උපත ලැබීමේ සාපය ඔබට වටහා ගත නොහැකි තරම් විසල්ය, ව්‍යාකූලය. බුහුටි කෙල්ලකගේ සිට සමාජශාලා නළඟනක් දක්වා මා කැන්දාගෙන ආවේ ඒ අනාදරයම පමණය. මගෙන්, මගේම දරුවෙකුට එය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට මට වුවමනාය.

අම්මා විසල් රුකක්ය.  මට එහි සෙවන හෝ සිසිල කිසිදාක නොලැබුණ මුත් ඔබ අතින් ඒ වැරැද්ද සිදු නොවුණු දැකීමට මට වුවමනාය. 

ආදරණීය අම්මේ……

ඔබේ දියණියට ඔබ සිතනවාට වඩා බොහෝ වැඩියෙන් ආදරය අවශ්‍යය. බොහෝ අවධානය අවශ්‍යය. ඇයට කන් දීමට හොඳ මිතුරියක් අවශ්‍යය. ඈ වෙනුවෙන් ඕනෑම මොහොතක නිවසේ දොරවල් විවෘත බවට වගවීමක් අවශ්‍යය. අහස පුරා ඉගිලීයන්නට නිදහස අවශ්‍යය. සතුටු කඳුළු ද, දුක් කඳුළු ද හෙලීමට ඔබේ උණුසුම් ආදරණීය උරහිස අවශ්‍යය. කොන්දේසි විරහිතව නාවා ගෙට ගත හැක්කේ පුතුන් විතරක් නොවන බවට සහතිකයක් අවශ්‍යය. තොටිල්ල නලවන අත ලොව රජ කරවන බවට නිදර්ශනයක් අවශ්‍යය. ඒ සියල්ල සැපයිය හැක්කේ ඔබට පමණමය.

සියලු අම්මලාට ආදරයෙනි.

 

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ බ්‍රිතාන්‍යයේ Sheffield Hallam විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක සහ ව්‍යාපාර කළමණාකරණය සහ තොරතුරු තාක්ශණය පිළිබඳ ශ්‍රී ලාංකික ඩිප්ලෝමාධාරිනියක වන මම Parenting.lk හි නිදහස් ලේඛිකාවක් ( freelance writer) ලෙස ලිපි පළකරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here