ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රතිශතය අද ලෝකේ පුරාම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්. මේ සම්බන්ධයෙන් සිදු කර ඇති මනෝවෛද්‍ය පර්යේෂණවලින් සොයා ගත් කරුණක් නම් වැඩි වශයෙන්ම මේ සමාජ මාධ්‍යවල සැරි සරන්නේ නව යොවුන් වියේ සහ යොවුන් පිරිස් බවයි. සමාජ මාධ්‍යවල අධික ලෙස සැරිසැරීම අපේ මනසට කුමන ආකාරයෙන් බලපෑම් ඇති කරනවාද යන්න පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත්.
සමාජ මාධ්‍ය අනවශ්‍ය ලෙස වැඩිපුර භාවිතයෙන් ඇති විය හැකි තත්ත්ව
- සුව නින්දට බාධා පමුණුවයි
නින්දට යන්න සුළු වෙලාවකට පෙර සමාජ මාධ්‍යක් භාවිත කිරීම මගින් ස්මාර්ට් දුරකතනයේ ආලෝකය අපේ ඇහැට ඇතුළු වෙනවා. නින්ද, කෑම රුචිය වගේ දේවල් ජීව විද්‍යාත්මකව බොහොම ක්‍රමානුකූලව පාලනය වෙනවා. ඒවා පැය 24ක චක්‍රයක් අනුව ඉතාමත් සියුම්ව පාලනය වන අතරම ඇසට ආලෝකය ඇතුළු වීමත් සමාජ ජාලවල පෝස්ට් මගිනුත් රෑ නින්දට පෙර හෝ නින්ද අතර මැද බාධා ඇතිවිය හැකියි.
නින්දට බාධා ඇති වීම ගුණාත්මකව මෙන්ම ප්‍රමාණාත්මකවත් විය හැකියි. ගුණාත්මකව නින්දට ඇතිවන වෙනස්කම් මත නින්දේදී මොළයේ තරංග ක්‍රියාකරන ආකාරය වෙනස්වීම නිසා අපේ කාලීන තත්ත්වය වෙනස් විය හැකියි. එසේ නින්දට බාධා ඇතිවීමෙන් සිරුරට විඩාබර ගතියක් දවස තිස්සේ නිදිමත කම්මැලි ස්වභාවයක් ඇති විය හැකියි. ඒ වගේම හිසේ කැක්කුම, මහන්සිය විතරක් නෙවෙයි දිගු කාලීනව නින්ද අඩු වීම නිසා මතක හිටීමේ හැකියාව අඩු වීමත් යම්කිසි දෙයකට සිහිය පවත්වා ගැනීම දුර්වල වීමත් ඇති විය හැකියි.
- මිනිසුන් අතරේ පවතින සමාජීය සම්බන්ධතා වෙනස් වෙයි
සමහරවිට අපි හිතමිතුරෙකුට නෑයෙකුට ඍජුව මුහුණට නොකියන බොහොම දරුණු දෙයක් වුනත් පෝස්ටුවක්, කමෙන්ටුවක් මගින් එළිදැක්වෙන්න පුළුවන්. එතකොට මේ අපේ සමාජීය සම්බන්ධතා බිඳ වැටීම මගින් අපි ඉතා දක්ෂ ලෙස සමාජයේ කටයුතු කිරීම වෙනස් වෙන්න එවැනි දේ හේතු විය හැකියි. එතකොට අපිට නෑදෑ හිත මිතුරන් අහිමි වෙන්නත් ඉදිරියේදී අපි සමාජ සම්බන්ධතා භාවිත කොට කරන රැකියාවක නිරත වෙනවා නම් එයට සමාජීය කුසලතා නැතිවීමත් සිද්ධ වෙන්න පුළුවන්.
- අවධානය තබා ගැනීමේ කාල සීමාව අඩු වෙයි
සමාජ මාධ්‍ය ජාලවල මිනිත්තු කිහිපයකදී අපිට පෝස්ට් සිය ගණනක් නැත්නම් ඡායාරූප සිය ගණනක් නැරඹිය හැකියි. මෙහිදී ඉතාමත් සුළු කාලයකදී ඉතාම ඉහළ ප්‍රමාණයකින් අපේ මොළයට තොරතුරු ඇතුලත් කිරීම සිදු වෙනවා. මේ විදිහට ඉතා සුළු කාලයකදී අපි තොරතුරු රාශියක් අපිට අවශ්‍ය විදිහට ලබා ගන්නකොට අපේ අවධානය තබා ගැනීමේ කාල සීමාව අඩු විය හැකියි. අපි පාසලේ/විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා නම් මේ හේතු මත මතක හැකියාව අවධානය පවත්වාගැනීමේ හැකියාව අඩු වෙලා අපේ අධ්‍යාපන කටයුතු අසාර්ථක විය හැකියි.
- අදාල අවස්ථාව පිළිබඳව විනදනයක් නොමැති වෙයි
විනෝද චාරිකාවක් යද්දී එහෙමත් නැත්නම් වෙනත් වැදගත් අවස්ථාවකට සහභාගී වෙද්දී බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල පලකරන්න ඡායාරූප ගන්න පෙළඹෙනවා. සෑම අවස්ථාවකදීම මෙවැනි තත්ත්වයක් උදා වීම නිසා අපි සිටින වැදගත් අවස්ථාව අපෙන් ගිලිහෙන්න පුළුවන්. මොකද අපේ වැඩි අවධානය තියෙන්නේ ඡායාරූප ගැනීම සහ ඵල කිරීම වෙනුවෙන් නිසා. ඒ වැදගත් අවස්ථාවේ තියන රූපේ අපේ ස්මාර්ට් දුරකතනයේ රැඳවීමක් සිදුවුණාට ඒ වැදගත් අවස්ථාවේ තියන වෙනත් සමාජීය අවස්ථාව, නෑදෑ හිතමිතුරන් සමග කතා කිරීම, යහළුවන් හමුවීම වැනි වැදගත් සමජීය අවස්ථා පිලිබඳ මතක අපිට අහිමි වෙන්න පුළුවන් වගේම ඒ මතක නැවත ලබාගන්න බැරිවෙන්නත් ඉඩ තියනවා.
- ආත්ම විශ්වාසය හීන වෙයි
බොහෝ දෙනා තමන්ගේ ජිවිතේ ජයග්‍රහණ වැදගත් අවස්ථා සමාජ මාධ්‍යවල පල කරනවා. අපි මේකට හයිලයිට් රීල් (highlight reel) කියා කියනවා. අනෙක් අයගේ ජීවිතවල ජයග්‍රහණ සහ එයාලගේ ලස්සන දේ නිතර ඇස ගැටීම ඇතැම් විට තවත් අයෙකුගේ ආත්ම විශ්වාසය, විශ්වාසය අඩු වෙන්න පුළුවන්. ආත්ම විශ්වාසය හීන වීම කියන්නේ අන්න ඒ තත්ත්වයටයි. ඒක වෙන්නේ ඉරිසියාව හින්දම නෙමෙයි අනිත් අයගේ මෙන්න මේ කුසලතා තියනකොට අපිට බෑ කියන එක යොවුන් වියේ කෙනෙකුගේ හිතට රිංගගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා නිසා සමාජ මාධ්‍ය මගින් අපේ මනසට විවිධ බලපෑම් ඇති වෙන්න පුළුවන්.
- ජිවිතේ ගැන වැදගත් තොරතුරක් අහිමි වේය යන බිය (fear of missing out)
සමහර වෙලාවට සමහර අය නිතරම සමාජ මාධ්‍ය මගින් තොරතුරු ලබාගන්න හින්දා ඒගොල්ලන්ගේ හිතට ඇතුළු වෙන දෙයක් තමයි ”අපි සමාජ මාධ්‍යවල තොරතුරු කමෙන්ට්ස්, ලයික්ස්, නොටිෆිකේෂන්ස් චෙක් කලේ නැත්නම් අපිට ලෝකේ/අපේ යාළුවන් සම්බන්ධ වැදගත් කරුණක් මගහැරෙයි” කියන එක. ඒ කියන්නේ සමාජ මාධ්‍යවලටම සුළු වෙලාවක් හරි යෙදීලා ඉන්නේ නැත්නම් අපිට අපේ ජිවිතේ ගැන වැදගත් තොරතුරක් අහිමිවෙයි කියන එක තමයි මේ ෆියර් ඔෆ් මිසින් අවුට් කියලා කියන්නේ.
- කාංසාව සහ විෂාදය සම්බන්ධ රෝග ලක්ෂණ
සමාජ මාධ්‍යවල ඉතා දිගු කාලයක් උග්‍ර ලෙස රැඳී ඉන්නකොට ඒ හරහා සමහර අයගේ බිය/කාංසාව විෂාදය/ශක්තිය අඩුවීම/නින්ද අඩුවීම/ කෑම අරුචිය/හිතට දිගු කාලයක් සතුට නැතිවීම වගේ කාංසාව සහ විෂාදය සම්බන්ධ රෝග ලක්ෂණ ඇති විය හැකියි.
- මනෝමීය සංකුලතා
මනෝවෛද්‍ය පරීක්ෂණ අනුව නව යොවුන් වියේ සහ යොවුන් වියේ පිරිස් සමාජ මාධ්‍ය වැඩිපුර භාවිතා කිරීමෙන් මනෝමීය සංකුලතා ඇති වන බව කියවෙනවා. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට දිනපතා වගේ සමාජ මාධ්‍ය වැඩිපුර භාවිත කිරීම නිසා අවධානය අඩුවීම/අධ්‍යාපනය දුර්වල වීම/අධ්‍යාපන කුසලතා අහිමි වීම යන තත්ත්වයන්ට මුහුණ දී සිටින නව යොවුන් වියේ සහ යොවුන් වියේ දරුවන් බොහොම දෙනෙක් අපේ පරීක්ෂාවට ලක් වෙනවා. කලින් පාසලේ දක්ෂ ලෙස ඉගෙනීම කළ දරුවන් සමාජ මාධ්‍යවලට කාලය ගත කිරීම නිසා එයාලගේ අධ්‍යාපන ජයග්‍රහණ බිඳ වැටෙන අවස්ථා ඕනෑ තරම්.
මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවිට කිව හැකි වැදගත්ම දෙයක් වන්නේ ඔබේ දරුවා පාසැල් යන අයෙක් නම් අඩු තරමේ උසස් පෙළ අවසන් වන තුරුවත් ඔබේත් ගුරුවරුන්ගේ අනුදැනුම සහ අවවාදය මත සමාජ මාධ්‍ය වලින් පුළුවන් තරම් ඈත් කළ හැකි නම් එය ඉතාහ හොඳ තීරණයක් බවයි.
එසේම ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන හෝ රැකියාවක නියුත් තරණයෙක් හෝ තරුණියක් නම් සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමෙන් ඔබේ මානසික සෞඛ්‍ය නිසි තත්ත්වයේ පවත්වා ගත හැකියි.
මේ සඳහා,
- සමාජ මාධ්‍ය සයිට්ස් ගණන සීමා කරන්න. එනම් සමාජ මාධ්‍ය කිහිපයක් යොදා නොගෙන එක් සමාජ මාධ්‍යක් පමණක් භාවිත කරන්න.
- ඔබට ලැබෙන නෝටිෆිකේෂන් සංඛ්‍යාව සීමා කරන්න. එවිට ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ඒවා නොපෙනී තිබීම මෙයට උදව්වක්.
- සමාජ මාධ්‍ය හා බැඳුනු වෙනත් වෙබ් ඇප්ලිකේෂන් හැකිතාක් සීමා කරන්න
- ඔබට පුළුවන් හැමවිටම දවස් කිහිපයක් හෝ සතියක් දෙකක් සමාජ මාධ්‍යවලින් වැලකී සිටින්න. ඔබ ඔබේ මිතුරන් සමග ලස්සන චාරිකාවක් ගියොත් ඔබට සමාජ මාධ්‍යවලින් තනිකරම ඉවත්වෙලා එම චාරිකාව වින්දනය කරන්න පුළුවන්.
- සමාජ මාධ්‍ය භාවිත කරද්දී යහළුවන්ට හිතමිතුරන්ට දමන පෝස්ට් කමෙන්ට්ස් පිළිබඳව සැලකිලිමත් විය යුතු අතරම ඒ මගින් තවකෙකුගේ ගෞරවයට අභිමානයට හිරිහැරයක් නොවිය යුතුයි.ඔබ සාමාන්‍යයෙන් යාලුවෙක් මුණ ගැහුණු විට කියන දේ සහ ඔබේ පෝස්ට් අතර තියන සංසන්දනය අනුවත් ඔබ මනුෂ්‍යයෙක් හැටියට වෙන මනුස්සයෙක්ට දැක්විය යුතු ගෞරවය සහ ඔබේ පරිණත භාවය ඔබේ සමාජ මාධ්‍ය පෝස්ට් මගිනුත් දිස් විය යුතුයි.
මෙන්න මේ වැදගත් කරුණු ගැන සැලකිලිමත් වෙමින් ඔබ පාසල් දරුවෙක් නම් හැකි තාක් සමාජ මාධ්‍ය වෙතින් වැළකී සිටීමටත් ඔබ යොවුන් වියේ අයෙක් නම් සමාජ මාධ්‍ය නිවැරදිව භාවිත කිරීමටත් අදිටන් කරගන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය