රට ගොඩ නැගිය යුත්තේ දරුවන්ගේම දෑතින්ය

අපේ රට අපේ දෑතින් ගොඩ නැගීම 2020 වසරේ ළමා දිනයේ තේමාවයි.ජාත්‍යන්තර වශයෙන් ළමා දිනයක් සැමරීම නිසා දරුවන් තුළ ඇති වෙන්නේ අලුත්ම ප්‍රබෝධයක්. බොහෝ දෙනකුගේ චෝදනාව වන්නේ අනාගත ලෝකය දරුවන්ගේ නම් ඔවුන් වෙනුවෙන් එක් දිනයක් පමණක් වෙන් කිරීම සෑහේද යන්නයි. නමුත් අපි අඳුරට ශාප නොකොට පහනක් දල්වන්නා සේ ජාත්‍යන්තර වහයෙන් දරුවන් වෙනුවෙන් වසරේ එක් දිනයක් හෝ වෙන් කිරීම ගැන සැබවින්ම සතුටු විය යුතු නොවන්නේද…?

අපේ රට ගොඩ නැගිය යුත්තේ දරුවන්ගේම දෑතින්ය.

දරුවා යනු අනාගතයේ හිමිකරුවාය. මේ නිසාම ”හොදම දෙය දරුවන්ට” යන සංකල්පය ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගී තිබේ. දරුවාගේ නායකත්වය අනාගත රටක, ජාතියක පැවැත්මයි. එසේනම් අද දෙමව්පියන් විදිහට ඔබේ ආදරණීය දරුවා හෙට දවස වෙනුවෙන් ගොඩ අපේ ලෝකය නැගිය යුත්තේ කෙසේද..?

දරුවා නිරෝගි විය යුතුයි

දරුවාගේ ශාරිරික සෞඛ්‍ය වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය යොමු වීම ඉතාම වැදගත්.යම් ලෙසකින් දරුවාගේ සෞඛ්‍ය ගැන දෙමව්පිය අවධානය නොමැති වීම නිසා ඔබේ දරුවාගේ නිරෝගිබව මුල් කර ගත් ගැටළු ඇති විය හැකියි.ඒ නිසා දරුවාගේ උපන් මොහොතේ පටන් ඔවුන් වෙනුවෙන් වූ ආහාරපාන, ප්‍රතිශක්තිකරණ එන්නත්, සහ නිරෝගි දරුවෙකු ගොඩ නැගීමට අවශ්‍ය පරිසර තත්වයන් සූදානම් කිරීම දෙමව්පියන්ගේ වගකීමයි.

දරුවා මානසිකවත් නිරෝගි විය යුතුයි.

අපේ රට ගොඩ නැගෙන්නේ අපේම දෑතින් යන උදාන වාක්‍ය ගැයීමට හැකියාව ලැබෙන්නේ මානසිකව නිරෝගී දරුවෙකුට පමණි. ඒ නිසා දරුවන්ගේ ශාරිරික සෞඛ්‍ය සමානව ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙනුත් දෙමව්පියන්ගේ යොමු වීම ඉතාම වැදගත්.

ශාරිරික රෝගවලට වඩා මානසිකව රෝගී වීම බරපතලයි.

සැබැවින්ම ශාරිරික රෝග වෙනුවෙන් ප්‍රතිකාර තිබුනත් මානසික රෝග ඒ තරම් පහසුවෙන් හදුනා ගැනීහට නොහැකියි. සමහර අවස්ථාවලදී පෙනුමෙන් ඉතාම නිරෝගි සහ සතුටින් සිටින බව පෙන්වන දරුවන් දැඩි මානසික රෝග තත්වයන්ගෙන් පෙලෙන බැව් ඔබ නොදනී. ඒ නිසා දරුවාගේ මානසික නිරෝගිබව වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානය යොමු වීම ඉතාම වැදගත්.

මානසික රෝග හඳුනා ගැනීමත් අපහසුයි

බොහෝ දරුවන් තමන්ගේ මානසික කම්පන සහ ගැටළු ගැන දෙමව්පියන් සමග හුවමාරු කර ගැනීමට උනන්දුවක් දක්වන්නේම නැත. දෙමව්පියන්ටත් දරුවන්ගේ මානසික හැලහැප්පීම් ගැන කිසිම ඉවක් නැත. ඒ නිසාම කාලයක් පුරා මානසිකව කම්පාවෙන් ජීවත්වෙන ඇතැම් දරුවන් සිය දිවි හානි කර ගන්නාතෙක්ම දෙමව්පියන්ට ඔවුන් හඳුනා ගැනීමට කිසිදු හෝඩුවාවක් හෝ නොලැබෙනු ඇත.

රටට පිපෙන මල්  මේ විදිහට මැලවුනොත්..

අනාගතය වෙනුවෙන් පිපෙන්නට මෝදු වෙන මල්කැකුළු රහසේම පරවී ගියොත් රටක් සදන සවිමත් දෑත් අපට අහිමි වෙනු ඇත. ඒ නිසා දෙම්විපයන් සහ දරුවන් අතර සමීපබව ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

දරුවාගේ හොඳම මිතුරන් වෙන්න

දෙමව්පියන් සහ දරුවන් අතර පවතින මිත්‍රශීලී සම්බන්ධතාවය නිසාම දරුවන් ශක්තිමත් වෙනු ඇත. නිතරම දරුවන් සමග ඔවුන්ගේ ගැටළු බෙදා ගන්න.එංගලන්තයේ දැරියක් සිය මල්වරවීමෙන් පසුව සිදුවුන මුල්ම ඔසප්වීමේදී ඒ ගැන ඇති වුන  බිය නිසා සියදිවි හානි කර ගැනීමට යොමු වීමේ අවාසනාවන්ත සිදුවීමක් මුල් කර ගෙන සියදිවි හානි කර ගැනීම වලක්වන ජාත්‍යන්තර සංවිධාන පවා බිහිවී තිබේ. ඒ නිසා නිතරම දරුවන් සමග සමීප වෙන්න.ඔවුන්ගේ මානසික ගැටුම් නිරවුල් වන සේ එබේ හැසිරීම ගොඩ නගා ගැනීම වැදගත්.

නිර්මානශීලිත්වයට ඉඩ දෙන්න

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනනගී…එ් නිසා නිතරම එබේ දරුවාගේ නිර්මානශීලිත්වය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන්න.රටක් ගොඩ නැගීමට නම් දරුවන්ගේ නිර්මානශීලී දෑතින් සිදුවෙන මෙහෙවර වචනයකින් කියා අවසාන කිරීමට නොහැකියි. ඒ නිසා දරුවන්ගේ ලෝකයේ නිදා සිටින නිර්මානශීලිත්වය නැමැති යෝධයා අවදි කරන්න.

මේ අපේ රට..

දෙමව්පියන් විසින් දරුවන්ට නිතරම කියා දිය යුත්තේ මේ අපේ රටයි..යන ශක්තිමත් ඉන්ධනයයි.නමුත් අද බොහෝ දෙමව්පියන් විසින් දරුවන් බලගන්වන්නේ අනාගතයේදී පදිංචිය වෙනුවෙන් විදේශගත විය යුතු ලෙසයි. එහෙත් අපේ රටේ අපට ඇති ශක්තිය ගැන ඔවුන් තම දරුවන්ට පැහැදිලිව කියා නොදෙන්නේත් අනාගතයේදී මේ රට හැර දමා යා යුතු මානසිකත්වය බාල කාලයේදී පටන් ගොඩ නැගීමේ අදහස නිසාය.

ඒත් රට ගැන කියා දෙන්න

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව තිබෙන යුගයකදී දරුවන් විදේශගතව ඉගෙනීම හෝ රැකියාවක් වෙනුවෙන් යොමු වීම ඉතාම සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙනු ඇත.එහෙත් අපේ රට ගැන අවතක්සේරුවකින් කතා කිරීමට කිසිදු ලෙසකින් අවසර දිය යුතු නැත.බාලකාලයේදී පටන් දරුවාට අපේ රට..අපේ ජාතිය..අපේ ආගම යන සංකල්පයන් සමග කටයුතු කරන අන්දම කියා දෙන්න.

වැදූ මවත් උපන්රටත් එකසේම වැදගත්..

වැදු මවත් උපන් රටත් එක හා සමානව වැදගත් බැව් දරුවන්ට පහදා දෙන්න.රට ගැන ආදරයක් නොමැති දරුවාගෙන් මව්පියන් සමග වූ බැඳීමක් වෙතැයි අපේක්ෂා කළ නොහැකියි.. අද දෙමව්පියන් විදිහට ඔබ මව්බිමට ගරුකරන,දෙමව්පියන්ට ආදරය කරන දරුවෙකු ලෝකයට දායාද කරන්න.එවිට හෙට දවස ඔවුන්ගේ රත්රන් දෑතින් ගොඩ නැගෙනු ඇත.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here