- Advertisement -

මමයි.. මගේ බඩයි…

-

මම වසර ගණනක් පවත්වාගෙන ආ සිහින් සිරුරද, පැතලි උදරයද ලබා ගැනීමට,  මට මගේ දරු ප්‍රසූතියෙන් වසර ගණනාවක් ඉක්ම යන තෙක්ම නොහැකි විය. තම පළමු, දෙවන සහ තෙවන දරු උපත් වලින් පසු වසරකටත් අඩු කාලයකදී තම ශරීරයේ පැරණි ප්‍රතිරූපයම දර්පණ තලයකින් දකින්නට වාසනාවන්ත වූ මිතුරියෝ මට සිටියහ.  අවාසනාවකට මා ඒ කුලකයේ කෙනෙක් නොවීය.  ( everybody is different) 

කලකට පෙර මා විසින් අදින්නට යෙදුනු ශරීරයේ හැඩය ඔප්නැංවෙන ඇඳුම් දැකීම පවා මා අධෛර්යට පත් කරළීය.  මගේ දරුවා ප්‍රසූත කල පසුද,  මිනිසුන් විශ්වාස කළේ මා තවමත් ගර්භනීබවය. 

- Advertisement -

දෙවනි දරුවකු ලැබෙන්න නේදැයි? අසමින්  ඔවූහු මා කෝප ගැන්වූහ.  ඇතැම් අයෙක් කුස පිළිසිද සිටින දෙවනි දරුවාට සුබ පතන්නට තරම් අකාරුණික වීය. දරු ප්‍රසූතියෙන් පසු ඉතා ඉක්මනින්ම තම  සිහින් ශරීර ප්‍රදර්ශනය කරමින් රතු පලස් මතින් ඇවිද යන සිනමා තාරකාවන්ටද, ඔවුන් බිකිනි විලාසිතා වලින් සැරසී සමාජ මාධ්‍ය ගත කරන පිංතූර වලටද මම අධිකව ඉරිසියා කළෙමි.

පශ්චාත් ප්‍රසව කාලයේ සිරුර ගැන වදවීම, සමාජයේ ප්‍රශ්න කිරීම් සහ උපහාස වලින් මිදීමට එන්න අපි එකතු වෙමු. එකිනෙකා රිදවනවා වෙනුවට අපි අපිට ආදරේ කරන්නට ඉගෙන ගනිමු.

  • අපි අපේ ශරීරය දෙස පිළිකුලෙන් සහ අත් අනුකම්පාවෙන් බැලීම නවත්වමු.( focus on body acceptance )
  • “මේකිගේ  ඇඟේ ශේප් එක බලපන්කෝ මාර ලස්සනයි බං උඹට සාරිය ඇන්දහම  ”  අතීතයේ මෙසේ වර්ණනා කළ මිතුරු කවය දැන් ඔබව වර්ණනා නොකරන බව ඇත්තය. ජීවිතය ඔබට මගහැරෙන බව දැනෙන අසාමාන්‍ය දුර්වල සිතුවිලි ඔබ ළඟ ඇති බව ඇත්තය. ඔබට ඔබ ගැනම ගැනම වෛරයක් දැනෙන ඕනෑම වෙලාවක, ඔබ මෙලොවට ගෙනා පුංචි ජීවියාගේ අසිරිමත් උපත ගැන සිතන්න. ඒ පුංචි කුසුම පිපුනේ ඔබේ උයනේ වගද එය පෝෂණය කරමින් රැක ගත් සහ රැක ගන්නා උයන් පල්ලා ඔබ බවද සිතන්න . ලොවේහි අසීමාන්තික වේදනා දරමින් ඔබද මේ පුංචි ජීවියාවද මෙළොවට රැගෙන ආ ශරීරයට ස්තූතිවන්ත වෙන්න.
  • දරුවකු දැරීමෙන් සහ දරුවා පෝෂණය කිරීමෙන් වෙහෙසට පත් ඔබේ ශරීරයට සුවපත් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න. එය මාසයක් වසරක් හෝ වසර කිහිපයක් විය හැකියි.එයට අවශ්‍ය වන්නේ ඉවසීම සහ ඔබේ ඒකාග්‍රතාව පමණයි.
  • ඔබේ  ශරීරය අන් අයට දැකීමට ප්‍රිය වන ආකාරය නොව ඔබ නිරෝගී වන ආකාරය ගැන සිතන්න. සාදයකදී හෝ සුහද හමුවකදී ඔබේ ශරීරය ගැන “අරගොල්ලෝ මොනවා හිතෙයිද? මේගොල්ලෝ මොනව හිතෙයිද ?” කියමින් පසුතැවීම නවත්තන්න. වඩා වැදගත් වන්නේ ඔබ සිතන ආකාරය මිස අන් අය සිතන ආකාරය නොවන බව මතක තබා ගන්න.
  • පැරණි සිහින් සිරුර ලබා ගැනීම පමණක්ම අරමුණු කිරීම නවත්වන්න. ඔබේ වෙනත් විනෝදාංශ සහ ඔබ තුළ සිටින විනෝදකාමියාව අවදි කරගන්න . ඔබේ ජීවිතයේ පෙර සිටි සිනමාරසිකයා හෝ පොත් ගුල්ලාට නැවත ඔබව ආක්‍රමණය කරන්න ඉඩ දෙන්න.
  • ඉතා සීරුවෙන් ප්‍රමාණයෙන් කුඩා ඇඳුම් ඇඳීමේ සහ ශරීරය සිහින් කර පෙන්වන විවිධාකාරයේ යට ඇදුම්වල රසිකයෙක් වීම නවත්තන්න. එයින් ඔබ තවත් අපහසුතාවයකට පත් වෙනවා මිස, ඔබේ ශරීරයට වේදනාවක් ලැබෙනවා මිස මහා විසාල උත්තේජනයක් ඔබට ඇති නොකරන බව තේරුම් ගන්න. සැහැල්ලු සහ පහසු  ඇදුමකින් ඔබ ලබන සැනසීම මෙනෙහි කරන්න.
  • කඩිසර සහ ක්‍රියාශීලී කෙනෙක් වෙන්න. සුළු ව්‍යායාම, නර්තනය හෝ ඔබව දවස පුරා ක්‍රියාශීලිව තබන කාර්යයකට යොමු වෙන්න.කලකදී අතහැරුනු බයිසිකල් පැදීම, සංචාරය වැනි මනස ප්‍රබෝධමත් කරන දෙයකට යොමු වෙන්න.
  • ඔබේ ශරීරයට හොඳින් සලකන්න. සමබර ආහාර ප්‍රමාණවත් තරම් ජලය පානය කරමින් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබව දරා සිටින, ඔබේ ශරීරයට සම්භාහනයක් , හිසට තෙල් සාත්තුවක් හෝ පාද හා නියපොතු සත්කාරයකට යොමු වෙන්න.
  • ඔබව අධෛර්යයට පත් කරන පුද්ගලයන්ගෙන් ඈත් වෙන්න. ඒ අය ඔබට සිදුකරන යහපතක් ඇත්තේ නැත. නිතර දෙවේලේ ඔබ ඉස්සර තරම් හැඩ නැති බව කියන හෝ දැන් දරුවන් සිටින නිසා ඔවයින් පලක් වේදැයි අසන දුෂ්ඨ ආත්ම වලින් හැකි තරම් මිදී ඉන්න. අනුන්ගේ සෘණාත්මක වචන ඔබේ කන් වල දෝංකාර දෙන එක නවත්වගන්න.
  • ඔබේ සැමියාගෙන් පවුලේ අයගෙන් සහය ඉල්ලන්න. ඔබ ව්‍යායාම් හෝ පාද සත්කාරයක් කරන්නට යන විටක දරුවන් බලාගැනීම සැමියාට පවරන්න. 
  • වැඩිපුර කැම පිගානට එළවළු බෙදාගන්නා ඔබට, ඉඳහිටක එල්ල වන එල්ලවන උපහාසයක් මැදහත් සිතින් ඉවසන්න.කෑම මේසයේ ඇති වැඩිපුර එළවලු ගැන පැමිණිලි කරන පොඩ්ඩන්ව සංයමයෙන් එයට හුරු කරගන්න. 
  • ” ඔන්නඔහේ අද කනවා හෙට ඉඳන් හෙට ආයෙ ඩයට් කරනවා ” බාලගිරි දෝෂය අතහරින්න. 

“නැහැ ” සහ ” බැහැ ” බොහෝ විට ඇත්තේ අපේ සිතුවිලි වලය. ඉතින් මේ වචන දෙකම අතහරින්න. ඒ වෙනුවට ” මට පුළුවන් ” බව පමණක් අදහන්න. ඔබව ජයග්‍රාහිකාව ක හෝ වීරවරියක කිරීමට තරම් ඒ වචන දෙක ප්‍රබල බව ආගමක් සේ විශ්වාස කරන්න. 

මහත, කෙට්ටු සැමට ආදරයෙනි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article