යෞවනත්වයට එළඹෙන දරුවෝ එහෙමත් නැතිනම් teenagersලා කියන අවධිය වැඩිහිටියෝ උන අපිත් පහුකරලා තියෙනවා. ඒත් අපිට අපේ දරුවෝ එක්ක ගණුදෙනු කරද්දි අපි ඒ වයස පහුකරපු හැටි අමතක වෙනවා.
#එකටෙක කියාගෙන ගියපු හැටි
#රහසින් කොදුරමින් ඇනුම්පදයක් කියපු හැටි
#රවපු හැටි
#කට ඇදකරපු හැටි
#හැමඑකටම ඇඟිලි ගහනව මෙයාලා කියල හිතපු හැටි
#අම්මලා ආදරේ නෑ.. අහවල් කෙනාගේ අම්මලා නම් ඒ අතින් හරිම ග්‍රේට් කියලා හිතපු හැටි
හරි මේ මොකක් හරි අපි අපේ යෞවන කාලයේදී කරලා හෝ හිතලා හෝ තියෙනවා. ඒකට හේතුව වැඩිහිටි අපේ දෙමාපියන්ගෙත්, යෞවනෝදය ලබපු ඒ කාලේ අපෙත් සිතුවිලි ක්‍රියාකරන ආකාරය.ඉතින් ඇයි අපි මේක හෙමින් හෙමින් ටීනේජර් කෙනෙක් වෙන්න පුංචි අඩි තිය තියා යන අපේ දරුවන් සම්බන්ධයෙන් කල්පනා නොකරන්නේ. එයාලත් ඒවගේමයි. ශාරීරික හා මානසික වෙනස්වීම් වලට මේ කාලයේ මූණ දෙනවා.
යෞවන කාලයේ මොකක් හරි ගැටලුවක් ඇවිල්ලා, වැඩිහිටි අපත් සමඟ එයාලගේ අදහස් ගැටෙන තැනකට ආවම මේ අය සුලබව කරන දෙයක් තමයි, වැඩිහිටි අපිට තරහ යන, අපහාසවෙන හෝ අගෞරව වෙන විදිහට හැසිරෙන එක. දඩබඩාං ගාල දොරවල් වහන, පිඟන් හඩ නැගෙන්න එහෙට මෙහෙට තල්ලු කරන එක වගේම එයාලගේ වචනෙන්ම කියනවා නම් ” Don’t care” එකේ ඉදීම වගේ දේවල්. ඇත්තටම අපිරිමිත ආදරයෙන් එයාලගේ පුංචි හැඩුමකට පවා කළබල උන අපි, එයාළගේ මේ වගේ හැසිරීමකදි කැළඹෙන එක සාධාරණයි. හැබැයි මේ කැළබීම අතරේ අපිට පොඩි සුබදායි සංඥාවකුත් ලැබෙනවා.
ඒ තමයි අපේ දරුවෝ දැන් හෙමින් ස්වාධීන වෙන්න උත්සහ දරන බව සහ එයාල තනිව තීරණ ගන්න ආරම්භ කර ඇතිබව. අපි මඟපෙන්වුවත් කවදා හෝ ඔවුන් ස්වාධීන වියයුතුයිනේ. ඉතින් මේ පාර කැපෙන්නේ ඒකට. හැබැයි දරුවො මේ විදිහට හැසිරෙන එක ” හනේ ශෝක් හරි තාම පොඩියිනේ ” කියලා හරි නොසලකා හැරලා අපේ පාලනයෙන් තොර වෙන්න දෙන්න ගියොත්, දරුවා ස්වාධීන වෙන එක වෙනුවට බොහොම දඩබ්බරයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි බුද්ධිමත්ව හොද සන්නිවේදනයක් හරහා හරවත් සංවාදයක් දරුවා එක්ක පවත්වන් යන බවට දරුවාට මේ අවස්තාවේදී තහවුරු කරන්න ඕන. ඒ කියන්නේ දරුවාගේ අවශ්‍යතාවය හා හැඟීම් අපි වටහා ගත් බවත් දරුවාට තේරුම් කරන ගමන් එයාව සාමාන්‍යකරණය කරගන්න එක තියෙන්නේ අපේ අතේ.
මේක කරන්නේ කොහොමද?
- ඕනවට වඩා කළබල වෙලා ප්‍රතිචාර දක්වන්න එපා ( Do not overreact )
යොවුන් වියට පා තබලා ඉන්න දරුවාට, ඔබ ළවා යමක් කරගන්න ඕන උනාම එහෙමත් නැත්තම් එයා කැමති දේකට ඔබව අවනතකරගන්න අවශ්‍ය වුනාම කළහකාරි හෝ ඔබට අපහාසාත්මක වෙන විදිහට හැසිරෙන්න පුලුවන්. ඔවුන් මේවා බොහෝ විට කරන්නේ හිතාමතා. ඔබව රිදවන්න සහ ඔබේ අවධානය ගන්න කියන කාරණා දෙකටම බව ඔබ තේරුම් ගන්න ඕන. සමහර විට ඔබ කැමතිම මල් ගහේ අත්තක් කඩලා බිම දාන්න එහෙමත් නැත්තම් ඔබේ පරණම සිහිවටනයක් බිඳ දමනවා වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට මුලින් කළ යුත්තේ ඔබ පාලනය වෙන එකයි. පහරදීම්, පරුශ වචනයෙන් බැනවැදීම් ඔබ කරන්න පටන් ගත්තොත් ඔබත් නොමේරුනු යෞවන දරුවාත් අතර කිසිම වෙනසක් නැති වෙනවා. ඒ නිසා සන්සුන්ව දරුවාට ආදරයෙන් කතා කරන්න. ඔබ හොඳම වර්ගයේ ඇහුම්කන්දෙන්නෙක් බවට සපත කරවන්න.
- ලෝකේ ඉන්න හැම මනුස්සයම වැරදි බවට දොස් කියන්න එපා ( Do not bad-mouth other people )
සමාජයේ ඉන්න කොයිකවුරු උනත් මිනිස්සු. ඉතින් අරය මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා දරුවන් ඉස්සරහදී ඔබ විවේචනය කිරීමෙන් වැලකෙන්න ඕන. මොකද ඔය විවේචනයම පාරාවළල්ලක් වෙලා ඔබේ දරුවාම ඔබට එවනවා. ” අනේ ඔයා එනවද මට උගන්නන” කියලා දරුවෝ එකටඑක කියාගෙන එන්න එක හේතුවක් මේක. ඔබ අනෙක් අයට ගෞරව කරන්නෙ කොහොමද කියන එක ඔබේ දරුවා බලාගෙන ඉන්නවා, ඒක කවදාවත් අමතක කරන්න එපා.
- හැමවෙලේම දරුවා හරියි හෝ හොඳයි කියන්නත් එපා ( Do not take your child’s side)
” මේ ටීචර් ගොඩක් වැඩ දෙනවා අම්මේ මට ඉස්කෝලේ යන්න බෑ ” කියන දවසක “අනේ ඔව් මේ ටීචර්ට පිස්සු මෙහෙම ළමයි මරව මරව හෝර්ම්වර්ක් දෙන්න වගේ දේවල් ” ඔබ දරුවා ඉදිරිපිට කියන්න එපා. ඒ ඔබ කරන්නෙ දරුවාට වෙනකෙනෙක්ට අගෞරව වෙන විදිහට කතා කරන්න අනියමින් අනුබල දීම. ඒ වෙනුවට ඔබ පුද්ගලිකව ගුරුවරයා හමුවෙලා කතා කරන්න. එහෙමත් නැති නම් “පුතාට පුලුවන් තරම් කරන්නකො. මමත් දන්නෙ නැති දේවල් කියලා දෙන්නම්” එහෙමත් නැතිනම් ” අදට පුතා කරන්නකෝ අපි හෙට ටීචර්ට කියමුකො පොඩ්ඩක් වැඩ අඩුකරන්න කියලා හොඳද” වගේ වචන වලින් දරුවා සනසවන්න. මොකද නපුරේ බීජ අපි විසින් එයාලගේ මනසේ පැල නොකල යුතුයි. ගෞරවය ලැබෙන්නෙ ගෞරවය දෙන්නාට පමණයි. දරුවාට අනාගතයේදි ඔහුට හෝ ඇයට එකඟ වෙන්නෙ නැති , දරුවා අකමැති ඕනෑතරම් වැඩිහිටියන් හා සමකාලීනයන් මුණ ගැසේවි. ඔබ මේ පාඩම දරුවාට උගන්නලා තිබ්බොත් දරුවා ඒ අයව හොඳින් කළමනාකරණය කර ගනීවී.
- දරුවාගේ හොඳ ගතිගුණ අගය කරන්න පසුබට වෙන්න එපා ( Do not forget to notice their good behavior )
දරුවන්ට විතරක් නෙමෙයිනේ නිතරම අපේ වැරදිම කවුරුහරි කියනවා නම් අපිට තරහා යනවා. ඔබ හැමවෙලාවෙම දරුවාගේ වැරදි සහ එයා පැරදුන තැන් ගැන විතරක් කතා කරනවා නම් කෝ ඉතින් දරුවට ජයග්‍රහණය කරන්න අවස්තාවක්? වැරදි තැනකදිත් ඉවසීමෙන් තේරුම් කරන ගමන් හොඳ නිතර පසසන්න පුරුදු වෙමු. පැසසුම් ලැබීමෙන් දරුවන් හොඳ හැසිරීම් වඩ වඩාත් වර්ධනය කරගන්න එක රහසක් නෙමෙයිනේ.
- දරුවාට බල කරලා ගෞරවය ලබා ගන්න එපා ( Do not demand respect )
හැම යෞවනත්වයට පත්වෙන දරුවෙක්ටම එන පොදු හැඟීම ” අනේ අම්මලට තේරෙන්නෙ නෑ මේවා” කියන එකයි. අනෙක් අතට ” මම අම්මා ඔයා මට උඩින් යන්න එපා ” වගේ අපිත් කියනවා නම් මේ ඝට්ටනය අපිට සමනය කරන්න බැරි තරම් අවුල් සහගත වෙනවා.
දරුවෙක් ඔබට ස්වයංක්‍රීයව ගෞරව කරන්නේ නැහැ. ගෞරවය කියන්නේ හැඟීමක් ඒක දරුවන් තුළම ඇතිවෙන්න ඕන. ඔබ අම්මා හෝ තාත්තා වූ පමණින්ම දරුවෝ තුළ ගෞරව ඇති වෙන්නෙ නැහැ. දරුවො කියන්නේ දරුවන්ට. ඔබෙන්, මගෙන්, වැඩිහිටි ලෝකයෙන් ඉගන ගන්නා පිරිසකට. ඉතින් අපේ හැසිරීම් සහ කළමණාකරණයට වඩා දරුවෙක්ට බලපෑමක් කල හැකි අන් යමක් මේ ලෝකයේ නැහැ.
යෞවනත්වයට ඔබ පත් වූ කාලය ඔබට අමතක නම් දැන් සිහියට නඟා ගන්න. අම්මේ, තාත්තේ ඔබේ දරුවා සෙමින් යෞවනත්වයට පත්වෙමින් සිටියි.
දෙමාපියන්ට ආදරයෙනි.