විශ්‍රාම වැටුප් ගන්න බැංකුවට ගියාම එහෙම නැත්නම් මාසිකව පැවැත්වෙන චිකිත්සාගාරයට ගියාම අපේ වැඩිහිටියන්ට පරණ මිතුරුන් මුණ ගැහෙනවා. දැන් මොකද කරන්නේ..මේ විදිහට සුහද කතා බහ ඇති වුනාම ”අපි දැන් LLB කරනවා. ඉතින් ඔබ හිතතන්නේ අවුරුදු හැටක් වෙලත් මේ අයට මොන විභාගද කියල වුනත් ඔවුන් මේ කෙටි විදිහට දෙන පිලිතුරට අනුව වර්තමානයේදී මේ දෙමව්පියන් ගේ කාර්යය වන්නේ ”ළමයින්ගේ ළමයින් බලා ගැනීමයි..”
මේ පිලිතුර ඉදිරියේ විවිධ අදහස් ගොඩ නැගෙන්න පුලුවනි..
අනේ තවමත් නිදහසක් නැද්ද? එහෙම අහද්දී අපේ මුනුපුරෝ බලා ගැනීම මොන තරම් සතුටක්ද..? ඔබේ පිලිතුර ඒ විදිහට ලැබෙන්න පුලුවනි.
අනේ ඉතින් අපි පුංචි පැටව් රැකබලා ගන්න එපායැ. නැත්නම් කවුද ඉතින් මේ නොදරුවෝ රකින්නේ..සැබැවින්ම වැඩිහිටි දෙමව්පියන් විදිහට ඔබේ පිලිතුර බොහොම ගාම්භීරයි.
වැඩිහිටියන් සමග සිටින දරුවන්ට වාසි බොහොමයි..
වැඩිහිටි දෙමව්පියෙක් නිවසේ සිටිනවා කියන්නේ ඉතාම ලොකු හයියක්. ඒ දරුවන් රැක බලා ගැනීමේ මෙහෙකාරයා යන අදහසින් නම් නොවෙයි.වැඩිහිටියන් සමග කාලය ගෙවන දරුවන්ට ලැබෙන වාසි මුල් කර ගෙන මේ වෙන විට විවිධ අධ්‍යනයන් පවා සිදු වී තිබෙනවා. එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් මේ සංසිද්ධිය ඒ කියන්නේ වැඩිහිටි මව්පියන් සමග වැඩෙන මුනුපුරන්ගේ පෞරෂය මුල් කර ගෙන අධ්‍යනයන් සිදු වී තිබෙනවා. ඒ වෙනුවෙන් දරුවන් 1500 ක් සම්බන්ධ කර ගත්තා.
අධ්‍යනය අවසානයේදී පර්යේෂකයන්ට පෙනී ගියේ වැඩිහිටි දෙමව්පියන් ඇසුරේ වැඩෙන දරුවන්ගේ චිත්තවේගී සුරැකියාව ඉතා ඉහළ මට්ටමක පැවැති බවයි.ඒ වගේම මේ දරුවන් තුළ සහයෝගය, සමාජ සම්බන්ධතාවයන් වගේම තමාගේ වයසේ කණ්ඩායම් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වැනි සාර්ථක ලක්සණ බොහොමටක් දැක ගන්නට ලැබුන බැව් මෙම වාර්තාව මගින් ප්‍රකාශ කර තිබෙනවා.
අපේ අතීතය ගැන හිතමු..
අද නම් හැම පවුලක්ම අම්මා,තාත්තා සහ දරුවන්ට සීමා වුනත් අතීතයේදී නම් අත්තම්මා සහ සීයා මේ පවුලේම කොටස් කරුවන් බවට පත්ව සිටියා. ඒ නිසා දරුවන්ට රසවත් අත්දැකීම් ලැබුණා.
කථන්දර අහන්න..
හැන්දෑ වෙද්දී අත්තම්මා සහ සීයා තුරුලට වෙලා කථන්දර අහන්න දරුවන් බොහොම ප්‍රිය කළා.දැන් නම් අම්මලාට වුනත් කථන්දර කියා දෙන්න වෙලාවක් නැති බව ඇත්ත. ඒ නිසාම රූපවාහිනියේ ටෙලි නාට්‍ය සමග දරුවන් යොමු වීමේ ප්‍රවනතාවයත් ඇති වුනත් අතීතයේ වගේ වැඩිහිටි දෙමව්පියන් සමග එක්ව කථන්දර අහන්න අවස්ථාවක් තිබෙනවා නම් ඔවුන් එයින් ප්‍රයෝජන ගනීවි.
කථන්දර ඇහීමේ වාසිත් තිබෙනවාද..?
ඔව් අද දරුවන්ට පංතියක වුනත් අවධානය දැක්වීමේ ගැටලු තිබෙනවා.නමුත් කථන්දර අහන්න හුරු පුරුදුව සිටි දරුවන්ට සවන්දීමේ හැකියාව ඉතා හොඳින් ප්‍රගුණ වෙනවා. මේ කුසලතාවයන් උපයා ගන්න වෙන කිසිම අවස්ථාවක් දෙමව්පියන් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම වැඩිහිටියන් සමග එකට එකතු වෙලා කථන්දර අහන්න පුලුවන් පරිදරයක් අදත් තිබෙනවා නම් ඔබේ දරුවා වෙතින් හොඳ සවන් දෙනේනෙකුගේ ගති පැවැතුම් නිර්මානය වේවි.
නිර්මානශීලියි..
ඔබ මේ පුංචි කවිය අසා ඇති. ”මට මතකයි..මට මතකයි..සීයා අපේ තුම්- මිදුල පුරා කෝටුවකින් ගෝනෙකු ඇඳ දුන්..
අතීතයේදී වැඩිහිටි දෙමව්පියන් තමන්ගේ මුනුපුරු මිනිපිරියන් බොහෝ නිර්මානශීලී කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගත්තා. පුංචි අත්කම්.ගෙත්තම් වගේම කොස් කොළයකින් වුනත් තොප්පියක් හදන්න, පොල් පිති ගොනෙක් අරගෙන දක්කන්න..පොල් කටු පය ලා ගෙන ඇවිදින්න..මේ හැම දෙයක් වෙනුවෙන්ම පුර්ව මග පෙන්වීම ලැබුනේ වැඩිහිටියන්ගෙන්. ඒ නිසා දරුවන්ගේ නිර්මානශීලීත්වය වැඩිහිටි දෙමව්පියන්ගේ ආභාෂය නිසා තව දුරටත් වැඩි දියුනු වුනා.
සාරධර්ම කියා දීම
වැඩිහිටි දෙමව්පියන් විදිහට අත්තම්මා ,සීයා යන තනතුරට පත් වීමත් සමග ලෝකයේ හොඳ සහ නරක පිලිබඳව මනා අත්දැකීමක් ඔවුන් තුළ තිබෙනවා.තරුණ දෙමව්පියන්ට වඩා ජීවිතයේ පරිණත බව සමග ඇති වුන මේ නිවුන බව නිසා තමන්ගේ මුනුපුරු පරම්පරාවටත් අර්ථයෙන් සහ ධර්මයෙන් ලබා දෙන අනුහාසනාවන් නිසාම ඔවුන්ගේ ජීවිතය බාල කාලයේ පටන්ම හැඩ ගසා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ගුණදහම් වගාව නිසාම මතු දවසේ බිහිවෙන්නේ නිවුන සිත් ඇති වැඩිහිටියක් . ඒ තරම් ආශිර්වාදයක් සමාජයට වෙන කිසිදු තැනකින් උපයා ගැනීමට නොහැකියි.
දැන් බලමු මුනුපුරන් සමග කාලය ගෙවන වැඩිහිටියන්ට ලැබෙන වාසි මොනවාද…?
පුද්ගලයෙකුගේ ජීවිතයේදී මුනුපුරන් දකින වයස එළැඹෙන විට අවම වශයෙන් පණහ දශකයට ඔවුන් පැමිණ සිටිනවා. මේ වයසත් සමග කාන්තාවන්ගේ ආර්තවහරණය හෙවත් ඔසප් චක්‍රයේ අවසාන වීම සිදු වීම සාමාන්‍යයි. ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද මේ අධ්‍යනයට ආර්තවහරණයට පත් කාන්තාවන් 186 දෙනෙක් සම්බන්ධ කර ගත්තා.
ආර්තවහරණය සමග කාන්තාවන්ගේ සිරුරේ ඇති වෙන හෝර්මෝන අසමතුලිතතාවය නිසා මානසික සෞඛ්‍යත් නොදැනීම පිරිහෙනවා. ජීවිතයේ ඇති හුදෙකලා බව දරා ගැනීමට පවා අපහසුයි. පවුල් බැඳීම් ලිහී යෑම නිසා ඇති වෙන මේ කාංසාව සහ වෙනත් මානසික ව්‍යාකූලතාවයන්ට ඉතා හොඳ පිලිතුරක් මේ අධ්‍යනය මගින් ලබා දෙනවා.
මේ පර්යේෂකයන් හදුනා ගත් අන්දමට ආර්තවහරණයට පත් කාන්තාවන් අවම වශයෙන් සතියකට වරක්වත් තමන්ගේ මුනුපුරන් සමග කාලය ගෙවනවා නම් මේ වැඩිහිටියන් යහපත් මානසික සුවතාවයක් ඇති වැඩිහිටියන් බවට පත් වෙන බවයි.
ඒ වගේම ව්‍යායාම කරන්න වෙලාවක් නැති වුනත් මේ දරුවන් සමග කාලය ගෙවන විට ඔවුන් නොදැනීම ක්‍රියාශීලි චරිත බවට පත් වෙනවා. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් නිවසේ වුනත් එහා මෙහා ඇවිදිම, ඔවුන් සමග කඩපිලට,පල්ලියට,පන්සලට යෑම පුංචි පැටව් වෙනුවෙන් ආහාරයක් පිළියෙල කිරීම වැනි යම් යම් ක්‍රියාකාරකම් ඇති වෙනවා.
එහෙමනම් වැඩිහිටි දෙමව්පියන් සමග ඔබේ දරුවන් වැඩෙනවා කියන්නේ හරියට එකම කාසියක දෙපැත්තක් වගෙයි. ඒ වාසිය දරුවන්ට වගේම වියපත් දෙමව්පියන්ටත් අත් වෙන බැව් දැන් ඔබටත් පැහැදිලි වේවි….