ඔටිසම් දරුවෙකුගේ චාලක හැකියා වර්ධනයට සුදුසු ව්‍යායාම ගැන දැනුවත්ද?

ඔටිසම් යන වචනය ඇසෙන විට අපේ මතකයට නැගෙන්නේ හැසිරීමේ, සංවේදනයේ, සමාජ සම්බන්ධතාවල සහ සිතිවිලිවල අසාමාන්‍යතා ඇති රෝග තත්ත්වයකි. නමුත් මේ රෝගය හා සබැඳුන ශාරීරික ක‍්‍රියාකාරකම් වල අසාමාන්‍යතාද දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් ඔටිසම් තත්ත්වයේ සිටින දරුවන්ගේ ප‍්‍රධාන චාලක කුසලාවයන් ලෙස සැලෙකන වාඩි වීම, දණගෑම සහ තනිව ඇවිදීම යන ක‍්‍රියාකාරකම් නියමිත කාල රාමුවට අනුකූලව සිදු කරනු ලැබුවත් සම වයසේ දරුවන් සමග සැසඳීමේදී එම ක‍්‍රියාකාරකම්වල ප‍්‍රවීණත්වය අඩු බවක් දක්නට ලැබිය හැකිය. මෙම මූලික ක‍්‍රියාකාරකම් පසුකාලීනව දරුවන් අත්කර ගන්නා දිවීම, උඩ පැනීම සහ තනි කකුලෙන් සිට ගැනීම වැනි ක‍්‍රියාකාරකම්වල මූලික පදනම වන අතරම මූලික ක්‍රියාකාරකම්ව යම් පසුබෑමක් පැවතීම පසුකාලීනව උසස් ශාරීරික ක‍්‍රියාකාරකම්වල (පාපන්දු, අත් පන්දු, Skipping, බයිසිකල් හෝ ට‍්‍රයිසිකල් පැදීම) නිපුණතාවයට බාධා ඇති විය හැකිය. මෙය දරුවාට සම වයසේ අන් දරුවන් හා මුසු වීමට බාධා ඇති කරන බැවින් දරුවාගේ සමස්ථ වර්ධනයට ද අහිතකර ලෙස බලපෑ හැකිය.

දරුවකු පහත ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් ඒ පිළිබඳව වැඩිදුර අවධානය යොමු කිරීම වැදගත් වේ.

  • මූලික ශාරීරික ක‍්‍රියාකාරකම් වල ප‍්‍රමාද වීම

උදා: වාඩි වීම, දණ ගෑම, ඇවිදීම

  • පඩි පෙළක් නැගීමට සහ බැසීමට ඇති අපහසුතා. (දරුවා උස ස්ථානවලට ඇති අකමැත්ත නොවේ)
  • බෝලයක් ක‍්‍රමානුකූලව විසි කිරීම, ඇල්ලීම සහ පාදයෙන් පාලනය කිරීම අපහසු වීම.
  • උඩ පැනීම, තනි කකුලෙන් සිට ගැනීම, තනි කකුලෙන් පැන පැන යාම සහ Skipping පැනීමට අපහසු වීම.
  • සෙල්ලම් පිටියක ඇති ක‍්‍රීඩාවල නිරත වීමට ශාරීරිකව ඇතිවන අපහසුතා.
  • නව ශාරීරික ක‍්‍රියාකාරකමක් ඉගෙන ගැනීමට ඇති අපහසුතාව.
  • දිගු වේලාවක් එකම ඉරියව්වක වාඩිවී සිටීම.
  • අහිතකර වැරදි ඉරියව් හෝ අසාමාන්‍යය ඉරියව්.
  • නිතරම සමබරතාව නැතිව වැටෙන ස්වභාවය.
  • ඇඟිලි තුඩු වලින් ඇවිදීම.

ඔටිසම් දරුවන්ගේ ඉහත සඳහන් දුර්වලතා ඇති වීමට මේ කරුණු හේතු සාධක විය හැකිය.

  • මාංශ පේශීවල තානය අඩුවීම. (Law muscle tone)
  • ශාරීරික ක‍්‍රියාකාරකම් සංවිධානය කර ගැනීමේ දුර්වලතා.
  • මාංශ පේශීවල ශක්තිමත්භාවය අඩුවීම.
  • වැරදි ඉරියව්වල දීර්ඝ කාලයක් ශරීරය පවත්වා ගැනීම.
  • මාංශ පේශීවල හෝ සන්ධිවල ඇති තද ස්වභාවය.
  • සමබරතාවය රඳවාගැනීමට ඉගෙන ගත යුතු ශාරීරික ප‍්‍රතිචාරවල අඩු නිපුණත්වය.

ඔටිසම් දරුවන්ගේ මානසික සංකූලතා සමග මෙවැනි ශාරීරික ක‍්‍රියාකාරකම්වල ගැටලු මතු වූ විට ඔවුන් සමාජගත වීමේදී ඇති වන ප‍්‍රශ්නකාරී තත්ත්වය තවදුරටත් වැඩිවිය හැක. මේ සඳහා ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය ලෙස පළමුව ඔබේ දරුවාට ශාරීරික ගැටලුවක් ඇත්දැයි හඳුනාගැනීමට උත්සහ කරන්න. එසේ නම් සුදුසුකම්ලත් භෞතචිකිත්සක නිළධාරියකු හමුවී නිසි උපදෙස් ලබාගන්න. දරුවන්ගේ ප‍්‍රශ්න විවිධ වන බැවින් තනිව උපදෙස් ලබාගැනීම සුදුසුම පියවර වේ.

පොදුවේ ගත් කළ පහත සඳහන් ක‍්‍රියාකාරකම් ක්‍රීඩා ලෙස සැලසුම් කර දරුවා යොමු කිරීම මගින් සමබරතාවය, මාංශ පේශීවල ඇති ශක්තිමත්භාවය සහ සමායෝජනය වැනි ගැටලු අවමකර ගැනීමට හැකි වේ.

වයස අවුරුදු 1 – 2 අතර කුඩා දරුවන් සඳහා 

  • ඔංචිලි පැදීම
  • පොළව මත යම් කිසි දුර සීමාවක් ලකුණු කර එම දුර,
    • තරගයට දණ ගෑමට සැලැස්වීම
    • දණ බිම නොතබා අත්ල හා පාද තබමින් ගමන් (Bear walking)

ඇවිදීමට හැකි දරුවන්ට

  • පොළව මත සමාන්තර රේඛා දෙකක් සලකුණු කර ඒ මත ඇවිදීමට සැලැස්වීම

වයස අවුරුදු 2 – 4 අතර දරුවන් සඳහා

  • තනි ඉරක් මත ඇවිදීමට සැලැස්වීම (මෙය විවිධ රූප යොදා ඒ මත පාද තැබීමට සැලැස්වීම මගින් ද කළ හැක)
  • ඉහත ක‍්‍රියාකාරකමට දක්‍ෂ දරුවන්ට අඟල් 5 ක පමණ ලීයක් මත ඇවිදීමට සැලැස්විය හැකිය.
  • හාවකු මෙන් පැනීමට යොමු කිරීම (මෙය දරුවාට අනුකරණය කළ හැකි ආකාරයෙන් කර පෙන්විය යුතුය)
  • ඉබ්බකු මෙන් ඇවිදීමට සැලැස්වීම
  • ඉලක්කයට බෝලයක් යොමු කිරීම
  • දරුවා සමග බෝලයක් පාස් කිරීම සහ ඇල්ලීම

වයස අවුරුදු 4 ට වැඩි දරුවන් සඳහා

ඉහත ක‍්‍රියාකාරකම් වල දක්‍ෂතා ඇති දරුවන් වෙනුවෙන්,

  • උඩ පැනීම (Trampoline) වැනි උපකරණයක් භාවිතයෙන් හෝ කීප දෙනෙක් එකතුව අනුකරණය කිරීමට සැලැස්වීමෙන්
  • තනි කකුලෙන් පැනීමට සැලැස්වීම
  • අතින් හෝ පාදයෙන් බෝලයක් පාස් කිරීමට සැලැස්වීම (Football වැනි)

අවුරුදු 7 ට වැඩි දරුවන්ට

  • Skipping පැනීමට සැලැස්වීම
  • පොදුවේ ගත් කළ පහසුකම් ඇත්නම් පිහිනීම වැනි ක‍්‍රීඩා වලට දරුවා යොමු කිරීම වඩා යෝග්‍ය වේ.

ඉහත සඳහන් ක‍්‍රියාකාරකම්වලට දරුවා යොමු වීමේ වයස් සීමාව ඔටිසම් රෝග තත්ත්වය අනුව වෙනස් විය හැකිය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ක‍්‍රමානුකූලව දරුවා ක‍්‍රියාශීලී දරුවකු බවට පත් කිරීමයි. මෙහිදී වඩාත් ඉවසීමෙන් හා සංයමයෙන් දරුවා ඒ සඳහා යොමු කිරීම වැදගත් වේ.

මෙම ක‍්‍රීඩා සඳහා යොමු කිරීමේදී ගැටලු ඇත්නම් සුදුසුකම් ලත් භෞතචිකිත්සක නිළධාරියෙකු හමු වී උපදෙස් ලබාගැනීම සුදුසුය.

 

ලිපිය සකස් කළේ කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞතචිකිත්සක නිළධාරී කසුනි චන්දිමා (BSc, Dp PT, B.PT) මහත්මිය විසිනි.

 

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here