- Advertisement -

ගැබිනි සමයේ මවගේ අපහසුතා වෙනුවෙන් භෞතචිකිත්සාවෙන් සහනයක්

-

සෑම ගැබිනි මවකගේම පැතුම වේදනාවෙන් තොර සාර්ථක ප්‍රසූතියක්. ඒ වගේම නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු පැටියෙක්. 

ප‍්‍රසවය හරියාකාරව සිදුවීමට බලපාන කරුණු 

- Advertisement -
  • ගර්භාෂයේ ඇති වන ශක්තිමත් සංකෝචනය
  • දරුවාගේ පිහිටීම හා ප‍්‍රමාණය
  • මවගේ ශ්‍රෝණී මේඛලාව හා ඒ අවට පිහිටි පටක වල තත්ත්වය 

එබැවින් ශ්‍රෝණී මේඛලාව අවට පේශී ශක්තිමත් කරන ව්‍යායාම හා මනස සංයමයට පත් කරන ව්‍යායාම කිරීම මගින් සංකූලතාවයකින් තොරව දරුවා බිහි කළ හැක. බොහෝදුරට නියම අන්දමින් ගර්භණී කාලය තුළ එයට අදාල වෛද්‍ය විශේෂඥවරුන්ගේ සායනවලට ගොස් එම වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපදින කාන්තාවන්ට ප‍්‍රසවය ගැටලුකාරී නොවන අතරම සංකූලතාවයකින් තොරව නිම කළ හැක. 

පෙර සඳහන් කළ පරිදිම සායනවලදී වෛද්‍යවරුන් ලබා දෙන වෛද්‍ය උපදෙස් මෙන්ම භෞතචිකිත්සක උපදෙස්ද ප්‍රසූතියේදී ඉතා වැදගත් වේ. ශ්‍රෝණී මේඛලාව අවට ඇති පේශීන් සංකෝචනය හා ඉහිල් කිරීම් වැනි ස්ථිති (Static exercises) ව්‍යායාම මගින් එම පටක ශක්තිමත් කළ හැක. බොහෝ මව්වරුන් තුළ ප‍්‍රසවය ගැන ඇති අනිසි බිය නිසා ඇති වන මානසික පීඩනය දරුවා බිහි කිරීමේ ක‍්‍රියාවලිය ගැන නිසි අවබෝධයක් ලබාගැනීමෙන් පසු පහව යන අතරම ගැබිනි මව මානසිකවද සන්සුන් වේ.

කොන්දේ කැක්කුම

තවද ගැබිනි සමයේදී කොන්දේ කැක්කුම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම ශරීරයේ බර වැඩිවන නිසා පේශී කණ්ඩරා, බන්ධනී ඇදීමට ලක්වන බැවින් නොයෙකුත් වේදනා ඇති විය හැක. තාප ප‍්‍රතිකාර මගින් මෙම වේදනා අඩු කරගත හැක. එමෙන්ම ස්ථිති ව්‍යායාම මගින් කොඳු ඇට පෙළ අවට පේශීන් ශක්තිමත් කිරීමෙන් මෙම වේදනා අඩු කරගත හැක. 

කොඳු ඇට පෙළ අවට පේශීන් ශක්තිමත් කිරීම සඳහා සරල ව්‍යායාමයක් ලෙස,

  • දණහිස නොනවා උඩුබැලි අතට හාන්සි වී පය අඟල් 4 ක් පමණ ඉහළට ඔසවා තත්ත්පර 20 ක් පමණ දරා සිට පහතට දමන්න.
  • මාරුවෙන් මාරුවට එක් පයකට 10 බැගින් දිනකට දෙවරක් පමණ සිදු කරන්න.

උදෑසන අවදි වී ප‍්‍රථමයෙන් විලුඹ බිම තබන විට ඇති වන වේදනාව 

හෝමෝන වෙනස්කම් මත විලුඹ ආවරණය වන ප්ලාන්ටර් ෆැෂියා නම් වන ව්‍යුහය ආසාධනය වීම එයට හේතු වේ. 

මේ සඳහා

  • මද රස්නය ඇති වතුර පිරි බේසමකට දෙපා දමාගෙන විනාඩි 10 ක් පමණ සිටින්න.
  • එසේ නොවුනහොත් භෞතචිකිත්සක අංශයට යොමු වී අල්ට‍්‍රා සවුන්ඩ් ප‍්‍රතිකාරය ලබාගෙන සම්පූර්ණයෙන් සුව කරගන්න. 
  • විශාල අපහසුතාවයකින් පෙළේ නම් Cushion heel pad නමින් හැඳින්වෙන ජෙල් අඩංගු ආවරණයක් සපත්තු වලට පැළඳ වේදනාව අවම කරගත හැකිය.

අතේ ඇඟිලි හිරිවැටීම (කාපල් ටනල් සින්ඩ්‍රෝමය)

කාපල් ටනල් සින්ඩ්‍රෝටයද ගැබිනි කාන්තාවන් අතර දක්නට ලැබෙන තත්ත්වයකි. මේ තත්ත්වය බොහෝ දුරට දරු ප‍්‍රසූතියෙන් පසු ඉබේම නැතිව යයි. විශාල අපහසුතාවයකින් පෙළේ නම් මේ සඳහා විද්‍යුත් උත්තේජනය ලබාදෙමින් භෞතචිකිත්සකවරු රෝගියාට සහනය ලබාදේ. 

පාද ඉදිමුම හා පාදයේ නහර ගැට ගැසීම

මෙය අඩු කරගැනීමට නිදා ගැනීමේදී පාද කොට්ට මත, හෘදයට වඩා උසින් පිහිටන පරිදි තබා ගන්න. එම ඉරියව්වේම තබාගෙන පතුල ඉහළට පහළට චලනය කරන ව්‍යායාමයක නිරත වී පාද එලෙසම තබා නිදන්න. බොහෝ දුරට එවිට උදෑසන වන විට ඉදිමුම නැතිවී යයි. 

කැස්ස, කිවිසීම ඇති වන විට නොදැනීම මුත‍්‍රා ස්වල්පයක් පිට වීම

ගැබිනි සමයේදී දැකිය හැකි මේ තත්ත්වය ඇතැම් කාන්තාවන්ට දරු ප‍්‍රසූතියෙන් පසුවද තිබිය හැකිය. මෙහිදී සිදුවන්නේ ලිංගික අවයව ආශ‍්‍රිත ප‍්‍රදේශවල මාංශ පේශී දුර්වල වීමයි. මේ තත්ත්වය ශ්‍රෝණී පත්ලේ පේශී ශක්තිමත් කිරීම මගින් නැති කරගත හැක. ඔබට මෙවැනි රෝග තත්ත්ව ඇත්නම් තමන්ගේ වෛද්‍යවරයා හරහා භෞතචිකිත්සක අංශය වෙත යොමු වෙන්න.

භෞතචිකිත්සක උපදෙස් අනුව ගැබිනි මවගේ තත්ත්වය මත තව තවත් ව්‍යායාම ක‍්‍රම වෙත යොමු විය හැකිය.

 

ලිපිය සකස් කළේ:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

භෞතචිකිත්සක අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article