- Advertisement -

නුඹ දුවක වුනත්…නුඹ පුතෙකු වුනත් මට රජපැටියෙක්..

-

දරුවන් කියන්නේ පවුලකට සම්පතක්.ඒ නිසා දරුවන් ගැන කිව්වාම අපට දුව, පුතා යැයි වෙනසක් නැහැ. කවුරුත් දරුවෝ. ඒත් අපේ සමාජයේ දරුවන් වෙනුවෙන් බර තැබීමේ සංකල්පයන් අතීතයේ පටන්ම සමාජගත වී තිබෙනවා. නමුත් මල් වගේ පුංචි දරුපැටවුන් ගැන ඒ විදිහට ලංසු තැබීම සාධාරනද…?

දරුවන් මුල් කර ගෙන අපේ ඇති පිලිගැනීම්..

- Advertisement -

පවුලක කොල්ලෙක් නැත්නම් හයියක් නැහැ.ඇත්තු වගේ පුත්තු පවුලක වටිනාකම ගොඩ නගනවා. ඒ වගේම තමයි දුවක් නැති ගෙදරක් එළිය නැහැ.ඒ නිසා රුව ඇති දුවයි..කට ඇති පුතයි ඉන්නවා නම් ඒ පවුල වාසනාවන්තයි.

ඉතින් මේ විදිහට නොලැබෙනවානම්..

දරුවන්ගේ ලිංග භේදයන් තීරණය වෙන්නේ මව සහ පියාගේ වර්ණදේහ අනුවයි.ස්ත්‍රි ඩිම්බයක ඇත්තේ X වර්ගයේ වර්ණදේහ යුගලයක්. ඒ කියන්නේ XX විදිහටයි. පිරිමියෙකුගේ X සහ Y යනුවෙන් වර්ණදේහ යුගලක් ඇති අතර සංසේචනය සිදු වෙන විට එකතු වෙන වර්ණදේහ අනුව දරුවාගේ ලිංග භේදය තීරණය වෙනවා. ඒ අනුව අම්මාගේ X වර්ගයේ වර්ණදේහය පියාගේ Y වර්ණදේහය අනුව සම්බන්ධ වුනොත් පුතෙකුත්, දෙදෙනාගේම X වර්ගයේ වර්නදේහ සම්බන්ධ වුනොත් දුවකත් උපත ලබනවා.

පුත්තුන්ට ඇයි වැඩි වටිනාකම්..

පිරිමි දරුවන් යනු පරම්පරාව ගෙන යන වාහකයන්ය යන පිලිගැනීම නිසා ඔවුන් මුල් කර ගෙන වැඩි වටිනාකම් ගොඩ නැගී තිබෙනවා. එය අතීතයේ රජපෙළපත පවත්වා ගැනීමට පුතෙකුගේ අවශ්‍යතාවය වගේ මිනුමක්. මේ කතාව සාධාරණ කිරීමට වෙන්නේ ජීව විද්‍යාත්මක පැත්තෙන් බව ඇත්ත. පිරිමි දරුවන්ගේ සම්මාදම දරුවෙකුගේ නිර්මානයට අවශ්‍යයි.. නමුත් මුලින් සඳහන් කළ ජීවවිද්‍යාත්මක සංසිද්ධියට අනුව කිසිම විටෙක  XY වර්ණදේහ හමු නොවුනොත් ඇත්තටම පුතෙක් යනු සිහිනයක් වෙන්න පුලුවනි.

දුවලාම හිටියොත් පවුලට බරක්ලු..

ගැහැණු දරුවන් මුල් කර ගෙන සමාජගත බලපෑම කොතරම්ද කියනවා නම් ඉන්දියාව වැනි සමාජයන්හි ගැහැණු දරු කලල විනාශ කිරීමට තරම් තත්වය ඉතාම සාහසිකයි.විශේෂයෙන් දායාද පිලිබඳ ප්‍රශ්න නිසා මේ තත්වය ඇති වුනත් ගැහැණු දරුවා වුනත් හොදින් හදා වඩා ගෙන ලෝකයට බරක් නැතුව සිටින ලෙස හැඩ ගැස්වූ විට දියණියත් බරක් වීමට කිසිම හේතුවක් නැහැ.

හාපුරා කියල ලැබෙන දරු පැටියා …

අපේ අම්මලා ප්‍රථම දරු උපතට සූදානම් වෙන්නේ බොහොම උනන්දුවෙන්.හාපුරා කියල ලැබෙන දරු පැටියා දුවක වුනත් පුතෙකු වුනත් බොහොම සතුටින් බාර ගැනීමට ඔවුන් සූදානම්.

පවුලක් වුනොත් දරුවන් දෙන්නෙක්වත් එපායැ..

ඔව් එක් දරු සංකල්පය ගැන නවතින්නේ නැතුව දෙවැනි දරුවා වෙනුවෙන් සූදානම් වීමේදී කුලුදුලේ ලැබුනේ දුවක නම් දෙවනුව පුතෙක්ද, පුතෙක් සිටිනවා නම් මේ වතාවේ දුවක් ලැබෙන්න යැයි ප්‍රාර්ථනාව හැම දෙමව්පියෙකුටම සාධාරණයි.ඇත්තටම අපි හිතන පතන දේ ඒ අන්දමින්ම සිදු වෙනවා නම් මෙච්චර ගැටලුවක් තිබෙනවායැ.ප්‍රාර්ථනා නොකළ අන්දමින් දෙවැනියාත් පුතෙකු හෝ දුවක වුනොත් එතැනදීම යම් කඩා වැටීමක් ඇති වෙනවා.

කමක් නෑ…තවත් වතාවක්..

දරුවන් දෙදෙනෙකු සිටියත් තුන්වැනියටවත් තමා අපේක්ෂා කරන දුව හෝ පුතා ලබා ගැනීමේ උත්සාහය ආරම්භ කරනවා.බාරහාර වැනි විවිධ මානසික සෙත් ශාන්ති මගින් පවා ආරක්ෂාව ආශිර්වාදය ලබා ගෙන දරුවා ගැන බලාපොරොත්තු දෑස් දල්වාගෙන හිටියත් තුන්වැනියත් පුතෙකු හෝ දුවක වුනොත් දැඩි සේ කම්පාවට පත්වෙන දෙමව්පියන් අපේ සමාජයේ සිටිනවා. සමහර අම්මලා සුතිකාගාරයේදී පටන්ම තමාගේ අකමැත්ත පෙන්වමින් හඩන්න පටන් ගන්නවා.නමුත් කිසිදු විටෙක එය සිදු විය යුතු නැහැ. මේ ඔබේම ලෙයින් මසින් උපන් දුව හෝ පුතා බැවින් ආදරයෙන් පිලිගැනීම විනා හඩා දොඩා වැලපීම කිසිසේත්ම ඵලදායක නොවේ.

අනුන්ගේ කතා අපට කිසිසේත්ම වැඩක් නැත.

දුව ,පුතා පිළිබඳ ප්‍රහ්නය බොහෝ විට දෙමව්පියන්ට එතරම් ගැටළුවක් නැතැත් එයින් කම්පා වෙන්නේ වෙනත් පුද්ගලයන්ය.

අනේ ඉතිං දුවක් නැතුව වයසට ගියාම කවුද ඉතින් තෙල් බේත් ටිකවත් ගාන්නේ…

අඩුම ගානේ මිනියට කර ගහන්නවත් පුතෙක් එපායැ..

ඔබේ අනාගතය ගැන ඔබට නැති කම්පාවක් ඇත්තේ ඔවුන්ටය. මේ අන්දමින් අනේ අපොයි කියනවාටත් වඩා දරුණු ලෙසින් පසර දෙන අවස්ථාවන්ද නැතුවා නොවේ.

අයියෝ…තවම බැරි වුනානේ කොල්ලෙක් /කෙල්ලක් හදන්න..

පවුලක ඇති මේ අඩුපාඩුව දෙස බලමින් එය සදය ලෙසින් උපහාසයට පත් කරන නෑ හිත  මිතුරන් නිසා ඉතා දැඩි ලෙසින් කම්පාවට පත් වෙන දෙමව්පියන් සිටිති. ඒවා සෘජු ලෙසින් එල්ල වෙන්නේ තම බිරිද හෝ සැමියා වෙතය.තවත් විටෙක සැමියාගේ නෑදෑ පාර්ශවයන්ගේ දෝෂ දර්ශනයන්ද ඉවසා ගත නොහැකි තරම් දරුණු විය හැක.

පුතාගෙන් පස්සේ අපේ පරම්පරාව ගෙනියන්න එකෙක් නැහැ. කෝ ඉතින් කෙල්ලෝ මිසක අපේ ලේලිට බැරි වුනානේ කොල්ලෙක් හදන්න.

මෙවැනි සියුම් අවලාද නිසා පවුල් සංස්ථාවන් පවා කඩා ඉහිරෙන අවස්ථාවන් අපේ සමාජයෙන් අඩුවක් නැතුව අසන්නට ලැබේ.

නමුත් ඔබ මෙසේ හිතන්න..

ඔබේ පවුලට යම් ලෙසකින් දුවක නැත්නම් ඔබේ පුතුන් ඉතා යහපත්ව ගුණධර්මයන්ගෙන් පෝෂණය කොට හදා වඩා ගන්න.කවදා හෝ දිනක ඔවුන්ගේ සහකාරියන් ඔබේ නිවස ආලෝකවත් කරාවි. මලක් නැති මිදුලක් තුළ දැන් යස අගේට මල් පිපේවි.ඇය ඔබේ කුසෙන් වැදූ දියණිය නොවුනත් ඇය ඔබේ පුතුගේ සහකාරියයි.ඔබ අද ඇයට ආදරයෙන් සංග්‍රහ කළ විට අනාගතයේදී ඇය ඔබේ දු තනතුරට පත් වේවි.

ඔබට පුතෙකු අද නැති වුනත් දුක් නොවන්න.ඔබේ දූ කුමාරිය අනාගතයේදී පවුලට ඇතෙකු සේ හයියක් ඇති පුතෙකුගේ ආශ්‍රය ලබා දෙනු ඇත. ඔහු දුවගේ සහකරු පමණක් නොව ඔබේ පවුලේ ශක්තිය බවට පත් වෙනු ඇත.

ඒ නිසා තුන්වැනියත් පුතෙකු ,දුවක වුනත් ඔබ නොතැවෙන්න.ඔහු හෝ ඇය ඔබට රජපැටියෙකි.මේ රජපැටියා මතු දිනකදී ඔබේ නිවසට කුමාරයෙක් හෝ කුමාරියෙක් කැදවා ගෙන එනු ඇත.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article