අපේ ගෙදරට ගෝනිබිල්ලන් එන්නේ නෑ

පුංචි පැටවු බියගන්වන්න දෙමව්පියන්ටත් ආයුධයක් එපායැ. ඉතින් හැම වෙලාවේම සැර වැර කරන්නත් බැරි හින්දා ඔවුන් ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම භාවිතා කරනවා.ඉතිං මේ වගේ උපායන් ඔබ අතරත් ඇති.

  • ගෝනිබිල්ලට දෙනවා.
  • පොළිසියේ අන්කල් මේ ළමයා අරගෙන යන්න..
  • ආන්න…මකුලුවා… එන්න..එන්න.. මේ බබා හරිම නෝටියි..

ඉතින් මේ වගේ පුංචි පුංචි උපායන් මගින් ඔබ දරුවා බය ගන්වනවා ඇති.

ඔබ මේ වගේ උපායන් අනුගමනය කරන්නේ ඇයි.

  • පැටියා බත් නොකන විට
  • නින්දා ගන්නේ නැති වුනාම
  • ඔබේ වැඩකටයුතුවලදී දරුවා කරදර කරන විට
  • දරුවා ඔබට අවශය අන්දමින් පාලනය කර ගන්න..

ඉතින් මේ උපායන් ඔබට සාර්ථකද…?

අපොයි ඔව්..පැටියා බත් නොකා කලබල කරද්දී ආන්න..මකුලුවා මෙහාට එන්නේ..බබා බත් කැවේ නැත්තං අරගෙන යයි..

නිදාගන්න ගිහින් දරුවා එයාගේ ලෝකයේ..අම්මට දහසක් වැඩ..ඉතින් පැටියා නිදි නොකර යන්නත් බැහැ.

ඉක්මනට නිදාගන්න. අන්න ගෝනිබිල්ලා ඇවිත් ගේට්ටුව ලග ..නිදා ගන්නේ නැති ළමයි ඔයාගේ මල්ලට දාගන්නවලු..අපේ පැටියා නිදාගන්නවා..ගෝනි බිල්ලා යන්න..

දැන් අම්මාගේ වැඩපිලිවෙල හරියටම හරි..

ඔව් මකුලුවාට බයෙන් බයෙන් පුංචි පැටියා ”හ්ම් ” නැතුව බත් පිඟානම ඉවර කරන්නැති.ගෝනිබිල්ලට බයෙන් වහ ගත්තු පුංචි ඇස් දෙක නින්දක් යන තෙක්ම ආයේනම් අරින්නේ නැතුව නැති.ඉතින් අම්මා සතුටු වේවි..ඇයි පැටියාගේ කරදර අවස්ථාවන් යාන්තම් ගෝනිබිල්ලටයි..මකුලුවාටයි පිංසිද්දවෙන්න අවසාන වුනානේ..

ඒත් පුංචි හිතේ ඇති වෙන බය,කම්පනය ගැන ඔබ හිතුවාද..?

දරුවන්ගේ ලෝකයේ ඉන්න වගේම ඔහු දකින සුන්දරම චරිත විදිහට ඉන්නේ තමන්ගේ දෙමව්පියෝ, එහෙම නැත්නම් එක වහලක් යට ජීවත්වෙන ඤාතීන්. ඉතින් මේ අයගේ ආදරය, ආරක්ෂාව සහ රැකවරනය නිසා දරුවා හිතින් බොහොම ශක්තිමත්.එය සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. මොනතරම් වැඩිහිටි වුනත් අපිත් අපට ශක්තියක් සිටින අය සමග ගණුදෙනු කරන්නේ සාමාන්‍ය සමාජයේදී කටයුතු කරන විදිහිට නොවෙයි. ඉතින් අපේ පුංචි අයත් එහෙමයි.

දවල්ට කරදර නැහැ..අපිත් එක්ක තමා යුද්ධය..

ඔබටත් දරුවාගේ මේ හැසිරීම හොදින්ම පුරුදු ඇති. ඔබ රැකියාවට යද්දී දරුවා තබා යන්නේ සේවිකාවක් සමග නම් ,දරුවාගේ කටයුතු දවල් කාලය පුරාම ඇයට කරදරයක් නැතුව සිදු කිරීමට ඉඩ දෙනව ඇති.ඒත් ඔබ නිවසට පැමිනි තැන පටන් දරුවාගේ යුද්ධය පටන් ගන්නවා.ඒ ඇයි දන්නවාද.. දැන් දරුවාගේ හිතේ ශක්තිය..විශ්වාසය තිබෙනවා.මගේ අම්මා..තාත්තා..ගෙදර ඇවිත්..

දෙමව්පියන් විදිහට ඉවසමු..

දැන් දරුවා දවල්ට නැති විදිහට දගකරාවි..බත් කන්න බැහැම කියලා කරදර කරාවි..නින්දක් ගැන හිතන්නේම නැතුව සෙල්ලම් කරාවි.ඒ සියල්ල ඔහුගේ රැකවරනය හෙවත් අම්මා,තාත්තා තමා ළග නිසයි.

ඉතින් රැකවරනය නැති කරන ගෝනිබිල්ලෙක් ඇයි..?

මේ විදිහට බොහොම සතුටින් සිටින දරුවාගේ සුන්දර ළමා ලෝකය ගෝනිබිල්ලෙකුගේ නපුරු දර්ශනයකින් විනාශ කරන්න එපා.ගෝනිබිල්ලා ඔබත් දැක නැති වුනත් මේ අත්දැකීම පරම්පරාවෙන් ඔබගේ ළමාකාලයේදීත් වැඩිහිටියන් මවපු දර්ශනයක්.නමුත් මේ නපුරු දර්ශනය නිසා දරුවා බියට පත් වෙනවා.ඔහු සිහිනෙනුත් ගෝනිබිල්ලා ගැන බියෙන් පසුවෙනවා.ඒ නිසා දරුවාගේ නින්ද වුනත් සුවදායක නැහැ.සිහිනෙන් පවා බිය වී ඇහැරේවි.

තැතිගන්නවා..

ඉතින් ඔබ විසින් මවන මේ අසුන්දර දර්ශන නිසා දරුවා නිතරම බියෙන් පසුවෙනවා.කෙටිකාලීනව ඔබේ කටයුතු පහසු වුනත් දරුවාගේ හිතේ ඔබ මවන බිය සමග ජීවත්වෙන දරුවාට හිතේ ඇති වෙන මේ සංකල්ප නිසා ළමා ලෝකයේ නිදහස නොදැනීම ඇහිරී යනවා. සෙල්ලමක් කරන තැනදි මකුලුවෙක් දුටුවොත් ඔවුන්ගේ සෙල්ලම් ලෝකයම සම්පූර්නයෙන්ම බිඳ වැටෙනවා.

බිය ජීවිතය සමග ඉදිරියට යනවා..

දරුවන් බිය කිරීමට ඔබ යොදා ගන්නා මෙවැනි ආයුධ නිසා දරුවන්ගේ හිතේ ඇති වෙන බිය දවසින් දෙකින් හෝ ළමා වයසත් සමග අවසාන වෙන්නේ නැහැ.මේ දරුවන් වැඩිවියට පත් වුනත් මකුළුවා..පොළිස් නිළධාරීන් දුටු විට නොදැනීම බියට පත් වෙන මානසින තත්වයක් ඇති වෙනවා.එවැනි බිය ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයට පවා ඉතාම හිරිහැදායක අන්දමින් බලපානවා. ඒ නිසා ඔබගේ පහසුව වෙනුවෙන් දරුවාගේ හිතේ ගොඩ නගන මේ බියකරු සිතුවම් දරුවාගේ අනාගතයට ඉතාම අහිතකරයි.

කොහොමද..අපි දරුවන් හසුරුවන්නේ..

දරුවන්ගේ හිරිහර සහ අනවශ්‍ය කලබල ඉදිරියේ මෙවැනි බියජනක තත්වයන් හිතේ මවනවාට වඩා විකල්ප අනුගමනය කරන්න පුලුවනි.ආහාර නොගන්නා දරුවෙකුට ඔහුගේ හිත වෙනතකට යොමු කරන කතාන්දරයක් කියා දෙන්න කිසිම අපහසුවක් නැහැ. බත් ටික හොඳින් අනලා පුංචි කුරුළු පැටවුන්ගේ ලස්සන කතාවක් කියමින් බත් කට කට දරුවාට දෙන්න පුලුවනි.අතීතයේදී අම්මා බත් කවන විට

හබුං කටයි-බත් දෙකටයි

මගේ හොඳ පුතු _ඔක්කොම කයි 

කීවා මිසක දරුවා රැගෙන යන්න ඇනකොන්ඩා/ඩයිනෝසර්ට ආරාධනා කළේ නැත.නිදා ගන්න ගිය විටත් ලස්සන කතාන්දර කියමින් හෝ නැලවිලි ගී ගයමින් දරුවා නිදි කලා මිසක ඔහුගේ හිත බියගැන්වූයේ නැත.

හැන්දෑවෙන කොට මල්ලක්  අරගෙන දූ ගෙනියන්නට බිල්ලෙක් එන බැව් අම්මාගේ මුවින් එදා කියැවුනේ නැත.ඔවුන්ගේ මියුරු නැලවිලි ගී රිද්මයට දරුවා සුවසේ නිදා ගත් අතර සුවසේ අවදි විය. ඔහු සිහිනෙන් දුටුවේ නපුරු මුහුනු නොව අම්මා විසින් මවන ලද සුරංගන සිහිනයි.

එහෙමනම්..අම්මා..තාත්තා ලෙසින් ඔබ අතිශයින් රාජකාරි බහුලය.ඒ අතරට මැදිහත් වෙමින් ඔබට කරදර කරන දරුවාගෙන් අස්වැසිල්ලක් ලැබීමත් අවශ්‍යය.කොටු පාර දෙන්න තරම් වදක්ද නැත.පලවා හරින්නත් නොහැක.නමුත් ඔබ විසින් දරුවාගේ හිතට ඇති කරන බිය නැමැති මේ සංකල්පයෙන් ඔහුට ඇති වෙන මානසික ගැටුම දරුවාගේ ජීවිතය පිටුපසින් ඇදෙන බියකරු සෙවනැල්ලක් බවට පත් විය හැක.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here