- Advertisement -

පොඩ්ඩාට දත් බුරුසුවක්

-

වෙළඳපොල මවන විසිතුරු අතර නිරන්තරව අතරමං වන අපි ඇස රවටන බොහෝ දේ මිළට ගෙන සැනසුනත් දත්බුරුසුවක් මිළට ගැනීමේදී අපි ඒ ගැන දෙවරක් නොව කිහිප පැත්තකින් සිතීම අවශ්‍යයි. දත් බුරුසුවක් නිෂ්පාදනය වෙනුවෙන් ශ්‍රි ලංකා ප්‍රමිති පිරිවිතර තිබෙනවා. කොහොම වුනත් නිසි ප්‍රමිතියකින් යුක්ත දත් බුරුසුවක් භාවිතා නොකලොත් දන්ත සෞඛ්‍යය වෙනුවෙන් අපේ බලාපොරාත්තු දත් මැදීමෙන් පමණක් ඉටු කරගැනීමට නොහැකියි. මේ නිසා පොඩ්ඩාට දත්බුරුසුවක් මිළට ගැනීමේදි අපේ අවධානය යොමු විය යුතු අංග කිපක් තිබෙනවා.

දත් බුරුසුවකින් දත් මදින්නේ දරුවෙකුගේ කිරි දත් මතුවුනාට පසුවද ?

- Advertisement -

දරුවෙකුගේ පළමු දත මතුවූ දැන පටන් දත්මැදීම අවශ්‍යයි.කිරි බැඳීමෙන් දතට ඇති වෙන හානිය වලක්වා ගැනීමට වගේම ආහාර වෙනුවෙන් හුරුව ලද පසු මෙම ආහාර කැබලි දත් අතර රෑඳීමෙන් සිදු වෙන දිරායෑමට විසඳුමක් ලෙසින් ප්‍රමිතියෙන් යුක්ත දත් බුරුසුවක් භාවිතා කළ යුතුයි.ඇඟිල්ලට දමන දත් බුරුසුව පිලිබඳව වෛද්‍ය නිර්දේශයක් දැන් නැහැ.ඒ වෙනුවට ළමා දත්බුරුසු භාවිතා කල හැකියි. ලෝකයේ බොහෝ රටවල දරුවන් වෙනුවෙන් වූ ළමා දත්බුරුසු තිබුනත් ශ්‍රි ලංකාවේ මෙම ළමා දත්බුරුසු එතරම් සුලබ නැහැ.

දරුවන්ට වගේම වැඩිහිටි දැන් අනිවාර්යෙන්ම දත්බුරුසු පාවිච්චි කරනවා. ඒත්…අපි තෝරා ගත යුත්තේ කුමන ආකාරයේ දත් බුරුසුවක්ද ?

කුඩා දරුවන්ට  ( age appropriate ) අවශ්‍ය කුඩා හිසක් ඇති දත් බුරුසුවක්. වැඩිහිටි දත් බුරුසුවක් කුඩා දරුවන්ට භාවිතා කළොත් දත් නිසි විදිහට පිරිසිදු වෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඔවුන්ගේ මුඛයේ මෘදු පටක වලටත් හානි සිද්ධ වෙනවා. 

දෙමව්පියන් දරුවන් වෙනුවෙන් විවිධ මාදිලියේ දත්බුරුසු හොයන්නේ දත්මැදීම නිවසේ යුද්ධයක් නිසාද….?

දරුවන්ට දත්මැදීම අමිහිරි කටයුත්තක් වෙන්නේ දෙමව්පියන්ගේ වරද නිසයි. දත්මැදීම දවසේ සාමාන්‍ය කටයුත්තක් විදිහට පත්වුනොත් කිසිම යුද්ධයක් නැහැ. දෙමව්පියන් දරුවන්ගේ දත්මැදීම ආරම්භ කරන්නේ ඔවුන්ගේ බොහෝ දත් මෝදු වුනාට පසුවයි. ඒ නිසා දරුවන්ට දත්මැදීම ආගන්තුක අත්දැකීමක් බවට පත්වෙනවා. එහෙත් අපි දරුවන් වැසිකිලියට හුරු කරනවා වගේම දත්මැදීමත් සාමාන්‍ය කටයුත්තක් බවට පත් කරන්න පුලුවන්.

විද්‍යුත් දත්බුරුසුව හා අතින් හසුරුවන දත් බුරුසුවක වෙනසක් තිබෙනවාද…?

බැටරි හෝ විදුලියෙන්  ක්‍රියාකරන දත්බුරුසුවකින් දත් මැදීමේ කාර්යය අපේ මෙහෙයවීමක් නොමැතිව සිද්ධ වෙනවා. තමන්ගේ කටයුතු ඉටු කර ගැනීමට අපහසු තැනැත්තෙක් වෙනුවෙන් විද්්‍යුත් දත්බුරුසුව ගැලපුනත් සාමාන්‍ය අයට අතින් හසුරුවන දත්බුරුසුවකින් මේ කටයුත්ත සිදු කර ගැනීම අපහසුවක් නැහැ.මෙම දත්බුරුසු දෙකෙන්ම එක්ම කාර්යය ඉටු වෙනවා.

දත් බුරුසුවක් තෝරා ගැනීමේදී අපේ අවධානය යොමු යුත්තේ ….?

දත් බුරුසුවක් තෝරා ගැනීමේදි සැලකිය යුතු කරුණු කීපයක් තිබෙනවා. දත්බුරුසුවක කාර්ය විය යුත්තේ දත්වලට හෝ විදුරුමසට හානියක් නොවන සේ දත් මතුපිට හා දාරයේ රැඳෙන බැක්ටීරියා පථ හා ආහාර කැබලි කාර්යක්ෂම විදිහට ඉවත් කිරීමයි. මේ කාර්ය ඉෂ්ට කර ගැනීමට නම් අපි තෝරා ගන්නා දත් බුරුසුවේ පැවැතිය යුතු ගුණාංග තිබෙනවා.

දත්බුරුසුවේ හැඩය

■ හිසේ ප්‍රමානය

■ කෙඳිවල ස්වභාවය

■ මිට එහි දිග හා හැඩය

දත් මැදීමේදී දතක මැදිය යුතු පැති තුනක් තිබෙනවා. එනම් පිටත ,ඇතුලත හා හපන පැත්ත යනුවෙන්.

මේ කාර්යන් කිරීමේදි දත් බුරුසුවේ හිස කුඩා වීමේ වාසියක් තිබෙනවා. කුඩා හිස සහිත දත් බුරුසුව දතේ හැම පැත්තක්ම මදින්න හැකියාව තිබෙනවා. ඒ වගේම දන්ත විකලාංග නිසා කම්බි යොදා සකස් කිරීම කරන අවස්ථාවන්හිදී කම්බි අතරින් දතේ රෑඳුන කොටස් ඉවත් කිරීමට නිර්දේශ කරන්නේ  inter dental brushes දත්බුරුසුවක්. ඒ වගේම dental floss කෙදි යනුවෙන් හැඳින්වෙන වැක්ස් නූලක් මගින් දත් අතර බැඳි ඇති කුණු සහ මැලියම් ඉවත් කිරිමේ පහසුව තිබෙනවා.  ඒ වගේම හිස කෙළවර රවුම් හැඩයෙන් යුක්ත වුනොත් මුඛය තුවාල නොවන විදිහට දත් බුරුසුව හසුරුවන්න පුලුවන්.

ඒ වගේම කෙඳි සවි කරන ලද දත් බුරුසුවේ හිස කොටස වැඩිහිටියන් සහ දරුවන් වෙනුවෙන් වෙනස් වෙනවා..දත් බුරුසුවක් නිතරම දත් එකක් හෝ දෙකක් මැදීමට හැකි පළලකින් යුක්ත වෙන්න අවශ්‍යයි. දත්බුරුසුවේ හිස පළල් වුනොත් බුරුසුව පැතිරෙන පරාසය විශාල නිසා දත් හොඳින් මැදීමක් සිද්ධ වෙන්නේ නැහැ.

 ඒ අතරම මෙම හිස කොටස වසා තැබීමේ ආවරණයක් තිබීමද අවශ්‍යයි. ඔබේ නානකාමරයේ තබා ඇති බුරුසුව විවිධ කෘමිසතුන්ට නිරාවරනය විය හැකි නිසා නිතරම දත්බුරුසුව වෙනුවෙන් ආවරණයක් අවශයි. එහෙත් මෙම ආවරණයට වාතය ඇතුළු නොවුනොත් ඒ තුළ බැක්ටීරියා වගා විය හැකි නිසා වාතය ඇතුළු වීමට සිදුරක් තිබීමත් අවශ්‍යයි.

කෙඳි 

දත් බුරුසුවක කෙඳි විවිධ ප්‍රභේදයන්ගෙන් යුක්තයි. දාඪ , මධ්‍ය සහ මෘදු ( soft ) ප්‍රභේද කීපයක් තිබුනත් අපි නිතරම තෝරා ගත යුතු වෙන්නේ මෘදු කෙඳිවලින් යුක්ත දත් බුරුසුවක්. මෙම කෙඳි සමතලව පිහිටීම ගැටළුවක් නැහැ.දත් කහට ඉවත් කිරීම වෙනුවෙන් බොහෝ දෙනා දෘඪ කෙඳි සහිත බුරුසුවක් වෙත යොමු වුනත් මෙම දෘඪ කෙඳි නිසා දතේ එනැමලයට හානි සිදු වෙනවා.

මෙම කෙඳි සමතලව පිහිටා තිබිම වගේම ඒවා නයිලෝන් වලින් නිපදවා තිබීමත් වැදගත්. මෙම කෙඳි අග රවුම් ස්වභාවයකින් යුක්ත වුනොත් එයින් විදුරුමසට හානි සිද්ධ වෙන්නේ නැහැ.

පවුලේ බැඳීම මොනතරම් ප්‍රබල වුනත් එකම දත් බුරුසුව පවුලේ අය අතර හුවමාරු විය යුතු නැහැ. අද පවතින කාර්ය බහුලතාවය නිසා පවුලේ අය අතර දත්බුරුසු නොදැනම මාරු වෙන්න පුළුවන්. මේ නිසා පවුලේ අය අතර පහසුවෙන් හඳුනාගත හැකි විදිහට විවිධ වර්ණයන් සහිත මිට සහිත දත් බුරුසු තෝරා ගත යුතුයි.

දත් බුරුසුමිට

දත් බුරුසුවක මිට අතට පහසු සේ නිපදවා තිබිම නිසා දත් මැදීම එතරම් වෙහෙසකර කටයුත්තක් වෙන්නේ නැහැ. මිට අල්ලා ගත හැකි දිගකින් වගේම පැතැලි මිටකින් යුක්ත විය යුතුයි. දත් මදින විට ලිස්සා  ( frim grip ) නොයන සේ පහසුවෙන් හසු කර ගත හැකි වීම අවශ්‍යයි. මේ නිසා දත්බුරුසුවේ මිටෙහි කිසියම් ඝර්ෂනයක් අවශ්‍යයි.ඒ වගේම දරුවාට දත් බුරුසුව අල්ලන විට එය අත්ලෙන් මිට (PALM GRIP ) මොලවා ගැනීමට නොව,පෑනක් අල්ලන ආකාරයෙන් බුරුසුවේ මිට  (PEN GRIP ) අල්ලා ගැනීමට පුරුදු කිරීමත් වැදගත්.එහෙමනම් දත් මදින්න ගියාම කෙලවරක් නැති කරදර කරන එබේ පැටියාගේ අතට දත් බුරුසුවක් දෙන්න ඕන ආකාරය දැන් අම්මලා දන්නවා ඇති.

මහරගම,මුඛ සෞඛ්‍ය වෛද්‍ය අංශයේ (ප්‍රජා දන්ත වෛද්‍ය )ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරි  එච්. එච්. එම්. ධනප්‍රියංකා  ( පශ්චාත් උපාධි පුහුණු ) සමග වූ සාකච්ඡාවක් ඇසුරින්

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article