- Advertisement -

ක‍්‍රීඩාවෙන් ඉදිරියට යන ඔබේ දරුවාට භෞත චිකිත්සක උපදෙස් අවශ්‍ය බව දැන සිටියාද

-

 පුංචි කාලේ ඉඳලම ඇතැම් දරුවෝ එක් එක් ක්‍රීඩාවන්ට දස්කම් පෙන්වනවා. එවන් දරුවෝ මතු දිනෙක ලොව ජය ගත් අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. කුඩා වියේ සිටම ලොවක් ජය ලබන්නට යන ගමනේදී එම දරුවාට පුහුණුකරුවෙකු සිටිනවා සේම භෞත චිකිත්සකවරයෙකු සිටීමද ඉතා වැදගත් වන්නේ ආබාධයන්ට ලක් නොවී බාධාවකින් තොරව තම ඉදිරි ගමන යා යුතු නිසාමය. ඕනෑම ක්‍රීඩකයෙකුට ආබාධවලට ලක් නොවී ක්‍රීඩා දිවිය ඉදිරිට රැගෙන යාමට නම් භෞතචිකිත්සාව ඉතා වැදගත් වේ.

උදාහරණයක් ලෙස ආසන්නතම සිදුවීමක් වන පසුගිය දිනවල ක්‍රීඩාලෝලී සැවොම ඉතා නොඉවසිලිමත්ව නැරඹූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවාලිය දැක්විය හැකියි. මේ වනවිටත් එය ඔබේ මතකයේ ඉහළින්ම ඇති බවට ද සැක නැත.  ඉතා උණුසුම්ව පැවති ඒ තරගවාලියේදී ප‍්‍රබල ක‍්‍රීඩකයන් රැසක් ආබාධවලට ලක්වීය. අවසන් පූර්ව තරගයේදී ප‍්‍රබල කලම්බූ කින්ස් පරදා ගෝල් ග්ලැඩියේටර්ස් ජයග‍්‍රහණය කර අවසන් සුදුසුකම් ලැබීය. මෙහිදී කලම්බු කින්ස් පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් සිව් දෙනෙක් ආබාධවලට පත්වීම ඔවුන් පසුබෑමට ලක්වීමට ප්‍රබල හේතුවක් වූ බවට සැකයක් නැත. 

- Advertisement -

කෙසේ වුවද විදේශ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් තරග පිටියේ බොහෝ කාලයක් රැඳී සිටියද ඔවුන්ගේ සමකාලීනයන් වන අපේ රටේ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ඉතා ඉක්මනින් ක්‍රීඩාවට සමු දී සිටීම කණගාටුදායක තත්ත්වයකි. උදාහරණයක් ලෙස අවසන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩකයන් රැසකට පෙරලා දිවයිනට පැමිණීමට සිදුවූයේ ආබාධවලට ලක්වෙමින්. එම තරගාවලියේදී වැඩියෙන්ම ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් සිටි කණ්ඩායම ශ්‍රී ලංකා කාණ්ඩායම විය.

දක්‍ෂ ක‍්‍රීඩකයෙකුට තම දක්‍ෂතාවයන් සමග බොහෝ කාලයක් ක‍්‍රීඩාවේ නිරත වීමට නම් සුදුසුකම් සපිරි පළපුරුදු භෞතචිකිත්සකවරයෙකුගේ මගපෙන්වීම අත්‍යවශ්‍ය බව අප කියන්නේ එබැවිනි. විද්‍යාත්මකව ක්‍රීඩක/ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සිදුවන්නේ භෞතචිකිත්සකවරයාගේ සහ පුහුණුකරුගේ එකඟතාවය මතයි. ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා ශෛලිය මේ දෙදෙනා අතින්ම නිරීක්‍ෂණය විය යුතුය.

 

ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හා සම්බන්ධව භෞතචිකිත්සකවරයාගේ කාර්යය භාරය

ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ සිරුරේ භෞතික තත්ත්වයන් නිරීක්‍ෂණය කිරීම

එහිදී පුහුණුකරුවාට ක්‍රීඩක/ක්‍රීඩිකාවගේ පෞද්ගලික වූ සුවිශේෂ ශක්තීන් හඳුන්වා දෙන අතරම  පුහුණුකරුවා ඒ ශක්තීන් ක්‍රීඩාවට ආදාල ලෙස යොදා ගැනීමට උපායශීලී වේ. දක්‍ෂ ක්‍රීඩක/ක්‍රීඩිකාවන්  බිහිවීමේ විද්‍යාත්මකව පදනම වන්නේ එයයි. 

ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ආවේණික ඉරියව් හා පවතින ඉරියව් වෙනස් කිරීම

මේ සඳහා භෞතචිකිත්සකවරයාට මැදිහත් වීමට සිදුවේ. ක‍්‍රීඩකයෙකුගේ දරාගැනීමේ ශක්තිය, වඩාත් වෙහෙස කළ යුතු ස්ථාන එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ. ඒ අනුව යම් ක්‍රීඩාවක නිරත වන ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ගේ ඉරියව්ව හා එම ඉරියව් තුළ වඩාත් ක්‍රියාකාරී පේශීන් පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව එම ඉරියව්වේ වලංගු අවලංගුතාවය තීරණය කිරීමට භෞතචිකිත්සකවරයාට හැකිය. 

එක් එක් ක්‍රීඩකාගේ පේශිවල ප‍්‍රමාණයන්, එය වර්ධනය කළ හැකි උපරිමයත් හඳුනා ගැනීම

පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම උස, බර, වයස වැනි කාරණා මතත් මේ තත්ත්වයේ සිදුවන වෙනස්කම් පිළිබඳ භෞතචිකිත්සකවරයාට ඇත්තේ මනා අවබෝධයකි. පේශීවල ශ්‍රේණිගත කිරීම් අනුව දුර්වල පේශී මුලදීම හඳුනාගෙන ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය භෞතික ව්‍යායාම ලබාදිය යුතුය. එම උපදෙස් අනුව ව්‍යායාමවල නිරත වීමෙන් ක‍්‍රීඩාවේදී අනතුරට ලක් නොවී දිගටම ක‍්‍රීඩා කටයුතුවල නිරත විය හැකිය. 

ක‍්‍රීඩකයන්ගේ අභ්‍යන්තර හෝ වෙනත් ආබාධ හඳුනාගැනීම

භෞතචිකිත්සකවරයෙක් ව්‍යුහ විද්‍යාව, කායික විද්‍යාව මනාව හදාරා ඇති බැවින් ක්‍රීඩකයන්ගේ අභ්‍යන්තර හෝ වෙනත් ආබාධ ඇත්නම් ඒ පිළිබඳව පුහුණුකරුට වඩා හොඳ අවබෝධයක් ලබා දීම වැදගත් වේ. සමහර ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේදී එක දිගට යොදා නොගන්නේ එවැනි හේතූ නිසා එක දිගට වෙහෙසට පත් නොකොට ආරක්‍ෂා කරගැනීමටය. 

මේ ආකාරයට ගත් කළ සියලු ක්‍රීඩාවල ජාතික කණ්ඩායම්වලටත් පාසල් මට්ටමේ ක්‍රීඩා කණ්ඩායම්වලටත් භෞතචිකිත්සකවරු යොදා ගන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවන අතරම අප රටේ සියලු ජාතික පාසල්වලටද භෞතචිකිත්සකවරයෙකු අනුයුක්ත කරන්නේ නම් කුඩා කාලයේ සිටම ජාතික තලයට එන ක්‍රීඩක/ක්‍රීඩිකාවන් විද්‍යාත්මකව බිහි කළ හැකි බව ද විශ්වාසයි. එමෙන්ම භෞතචිකිත්සකවරු ක්‍රීඩාවේදී මොළය හා සම්බන්ධ වෙන ස්නායු සමායෝජනය, සමබරතාවය, පීඩනය දරා ගැනීම, මනස සංයමයට පත් වෙන ව්‍යායාම වෙතද ක්‍රීඩක/ක්‍රීඩිකාවන් යොමු කරනු ඇත. 

පාසල් මට්ටම් ක‍්‍රීඩක/ක්‍රීඩිකාවන් මුල් කාලයේ සිටම 

  • ක්‍රීඩාව ඇරඹීමට පෙර ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාමත්
  • දිග ඇදුම් අභ්‍යාසත්
  • ක්‍රීඩාව අවසානයේදී ශරීරය සිසිල් කරන ව්‍යායාමත් කළ යුතු බව මතක තබාගන්න

ඔබ දැනටමත් ආබාධයකට ලක්වී ඇත්නම්, 

  • අයිස් තෙරපි
  • තාප ප‍්‍රතිකාර
  • අල්ට‍්‍රා සවුන්ඩ්
  • ඉන්ටර්ෆැරුන්ෂ්ල්
  • ටේපින් ක‍්‍රම
  • භෞතික ව්‍යායාම යන ක්‍රම අතරින් සුදුසු ක්‍රමයන්ට යොමු වී එවැනි ආබාධ සුවඅතට පත් කරගත හැක.

කෙසේ වුවද මේ වන විටත් ව්‍යාජ භෞතචිකිත්සකයන් විශාල ප‍්‍රමාණයක් ලංකාවේ ඇති නිසා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය විමසීම ඔබගේ අයිතියකි. ප‍්‍රතිකාර ගැනීමට පෙර ඔබගේ භෞතචිකිත්සකවරයා සුදුසුකම්ලත් අයෙක්දැයි සොයා බලන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ආචාර්ය ජාලිය උඩුවැල්ල

– භෞතචිකිත්සක අධිකාරී, රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article