කොවිඩ් 19 රෝග තත්වයට ගොදුරු වුන පුද්ගලයෙකු සුවය ලබා නිවසට පැමිණියාට පසුව වුනත් බොහෝ දෙනෙකු රෝගියා සමග ගණුදෙණු කරන්න බියක් දක්වනවා. අසල්වැසියන් වුනත් මේ නිවස සමග පවත්නා සමාජ සම්බන්ධතාවයෙන් දුරස් වෙනවා. කොවිඩ් රෝගියෙකු සුවය ලැබී නිවසට පැමිණීමත් සමග අපි ඔවුන් සමග ගණුදෙණු කළ යුත්තේ කෙසේද…, මේ ගැන අදහස් දක්වමින් මහනුවර මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා
කොවිඩ් 19 රෝගයට පුද්ගලයෙකු ආසාදිත වෙන්නේ ඔවුන්ගේ අඩුපාඩුවක් හෝ නො සැලකිලිමත්කමක් ලෙස නො සලකන්න. එය සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක් පමණයි.
දවස් දහහතරක පමණ ආයතනගත සුපරික්ෂාවකින් සහ පැය විසිහතරකින් පසු සිදු කළ ඍණාත්මක ප්‍රතිඵල සහිත පී.සී.ආර් පරික්ෂා දෙකකින් පසුව රෝගියා නිවසට පැමිණෙන්නේ තවදුරටත් වෛරසය පැතිරවිය හැකි රෝග වාහකෙයකු ලෙස නොව, ඔබ මා මෙන් ම නීරෝගී පුද්ගලයෙක් ලෙසයි. එනිසා කිසිවෙකුත් ඒ අයගේ පැමිණීම ගැන අනියත බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැහැ.
ඒත්… සෞඛ්‍ය නිර්දේශ අනුව තවදුරටත් සති දෙකක් නිවසට වී කාලය ගත කිරිමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත. ඒ කාලය තුළ නිවැසි සැම අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත්..
- අදාල රෝගියාට සෑම විට ම වෙනම කාමරයක් හා වැසිකිළියක් ලබා දෙන්න. එසේ නොමැති අවස්ථාවල, නිවසේ වැසිකිළිය භාවිතා කරන්න පුලුවනි. එහෙත් එය භාවිතා කළ සෑම අවස්ථාවක දී ම බ්ලිච් දියරය (1 ට 1000) භාවිතා කොට පිරිසිදු කරන්න. එහිදි සෑම මතුපිටක් ම එක හා සමානව පිරිසිදු කිරීමට අමතක නො කරන්න.
- සෑම විටකදි ම ,සෑම නේවාසිකයෙකු ම මුව ආවරණ පැළඳිම සිදු කරන්න. රෝගියා ශල්‍ය මුව ආවරණ භාවිතා කරන්නේ නම් වඩා සුදුසුය . නිවසේ සෙසු සාමාජිකයන් රෙදි වලින් තැනු මුව ආවරණ පැළඳිමට පුළුවනි.. එවැනි ආවරණයක් භාවිතා කළ හැකි උපරිම කාලය පැය අටකි. ඊට පෙර එය තෙත් වුවහොත්, ආරක්ෂිතව මාරු කරන්න.. ඒ සඳහා අවශ්‍ය භාජන වෙන් වෙන්ව තබා ගන්න. ඉවත් කළ වහා ම අලුත් මුව ආවරණයක් පළදින්න. මුව ආවරණ සෞඛ්‍ය උපදෙස් අනුව බැහැරලන්න.
- අවැසිම උපකරණ කිහිපයක් පමණක් කාමරය තුල තබා ගන්න. අනවශ්‍ය පරිදි භාණ්ඩ තබා ගැනීම පිරිසිදු කිරිමට බාධා ඇති කරයි.
- නිවසේ ඇති නිතර අතපත ගාන සෑම පෘෂ්ඨයක් ම මනාව මධ්‍යසාර අඩංගු විශබීජ නාශක දියරයකින් පිරිසිදු කරන්න.
- රෝගියාගේ ඇඳුම් වෙනම සෝදා වේලා ගන්න. සෑම විටක දී ම දැඩි අව්වේ ඇඳුම් වේලා ගන්නේ නම් ඉතා හොඳය. සෑම දිනක දී ම පිරිසිදු ඇඳුම් ඇඳීමට වග බලාගන්න.
- හැකි අවම පැළඳුම් භාවිතා කරන්න. ඔරලෝසු, කණ්නාඩි භාවිතෙන් පසු සැනිටයිසර් මඟින් පිරිසිදු කර ගන්න.
- නිවසේ ඇති ජනෙල් දොරවල් විවෘතව තබා ගන්න. හිරු එළිය ලැබෙන පරිදි විවෘතව තැබිමට හැකි නම් ඉතාම හොඳයි.
- නිවසේ බල්ලන් සහ බළලුන් සිටී නම්,මේ සති දෙකක කාලය තුල ඔවුන් ද වෙන්කර තැබීමට කටයුතු කරන්න.
- රෝගියාගේ කාමරයට හෝ රැඳි සිටින තැනට නිතර ගමන් කිරීම සිදු නො කරන්න. එසේ යාමට අවශ්‍ය නම්, නිවසේ සිටින තරුණ නිරෝගි අයකු විසින් එය සිදු කරන්න.
- හැකි සෑම විට ම සමබල ආහාරයක් ලබා ගන්න. ආහාර ගෙන යන බඳුන් වෙන වෙන ම තබා ගන්න. ඒවා වෙනම පිරිසිදු කර ගන්න. හොඳින් සබන් යොදා පිරිසිදු කර ගැනීම පමණක් සෑහේ. එහෙත් ඒවා වෙන ම තබා ගන්න. හොඳින් ඇවැසි පමණ ජලය භාවිතා කරන්න.යම් කිසි අසනීප තත්වයක් ඇතිවුහොත් වහා ම වෛද්‍යවරයෙක් අමතන්න. දිගු කාලීන රෝගයකින් පෙළෙන්නේ නම් කිසිදු අවස්ථාවක එම බෙහෙත් නැවැත්විය යුතු නොවේ.
- මේ කාල සිමාවේදී නිවසේ සිටින අනෙකුත් අය ද අවැසි ම කරුණකදි හැරුනු විට නිවසින් පිටතට නො යන්නේ නම් අගනේය.. නිවසින් පිටව යාමට ඇවැසි නම් එක් අයකු පමණක් යන්න.
- නිර්දේශිත කාලය නික්ම යන තෙක් ආසාදිත පුද්ගලයා සමග අවදානම් කාණ්ඩවලට අයත් අය නිරාවරණය විම හැකි පමණ අඩු කරන්න. ගර්භණි මවුන්,කුඩා දරුවන් දිගු කාලින බෙහෙත් ගන්නා රෝගින් සහ වැඩිහිටියන් මෙලෙස අවදානම් කාණ්ඩ ගණයට අයත් වෙනවා.
මෙම සියලුම උපදෙස් ලබා දෙනුයේ මෙම ආසාදිතයා මඟින් රෝගය බෝවිමක් සිදු වෙන නිසා නොව, රජයේ සුව අංශ මඟින් නිකුත් කර ඇති නිර්දේශ වලට අදාලව පමණකි. කිසිදු අවස්ථාවක අදාල රෝගියා මඟින් රෝගය බෝවේ යැයි නො සිතිය යුතුය.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
මහනුවර මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවවේදය සහ ආසාදන පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල මහතා