- Advertisement -

නිවසේ ප්‍රථමාධාර පෙට්ටියට අවශ්‍ය ඖෂධ වර්ග

-

පවුල, ඔබ සතු වටිනාම සම්පත බව අපි දනිමු. එනිසාම ඔබ ඒ වෙනුවෙන් අනේක විධ කැපකිරීම් කරන බවද අපි දනිමු. ඒ නිසාම එදිනෙදා ජීවිතයේදී ඔබගේ පවුලේ ආරක්ෂාවට වැදගත් වන කාරණයක් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණයි. නිවසේ සිදුවිය හැකි හදිසි අනතුරකදී වැදගත්වන ප්‍රථමාධාර සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද? ඒ වෙනුවෙන් අවශ්‍ය වන ද්‍රව්‍ය ඔබ සතුව පවතීද? මේ ඒ ගැනයි. 

ඔබේ නිවසේ ප්‍රථමාධාර පෙට්ටියක තිබිය යුතුම කළමනා කිහිපයකින් මෙසේ කතාව ආරම්භ කරමු. එදිනෙදා ජීවිතයේදී නිවසේ අයගේ සිදුවන කැපීම්, තදබල සිරීම් වැනි තුවාල බොහෝ හුරුපුරුදු ඒවාය. විශේෂයෙන්ම ඔබේ නිවසේ කුඩා දරුවන් සිටීනම් මෙය සුලබ අත්දැකීමක් වනවාට සැක නැත. එවැනි මොහොතක ඔබේ ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු දේ ගැන අනිවාර්යෙන්ම ඔබට දැනුවත් බවක් තිබිය යුතුය.

- Advertisement -

ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු දේ

  • ගෝස් 

දිග, පළල අඟල් 1 X 2, අඟල් 3 X 4, අඟල් 4 X 5 වැනි ප්‍රමාණවලින් 

  • වෙළුම් පටි සහ ක්රේප් බැන්ඩේඡ්

ඔබේ ශරීරයේ විවිධ ප්‍රමාණවලින් යුතු ස්ථාන වෙලීමට අවශ්‍ය වියහැකි නිසා අඟල් 1, 2, 3, 4, 5, 7 වැනි පළලින් යුතුව 

  • උණ කටුවක්
  • අත්වැසුම්
  • විවිධ ප්‍රමාණයේ පැලැස්තර 
  • පුළුන්
  • රෙදි මීටරයක් දෙකට නවා සාදාගත් ත්‍රිකෝණාකාර වෙළුම් පටි දෙකක්
  • ප්‍රමාණ කිහිපයක ඉටි බෑග් – හදිසියේම ඔබේ දරුවෙකුගේ වමනය කිරීමකදී එහි සාම්පලයක් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ විටක භාවිතයට ගැනීමට 
  • විදුලි පන්දමක් – උගුර වැනි ස්ථානයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන ලෙස 
  • කුඩා සටහන් පොතක් හා පෑනක් නිවසේ කුඩා දරුවන් අසනීප වන විටක උණ තත්ත්වයන්, මුත්‍රා ප්‍රමාණ, පානය කළ ජලය ප්‍රමාණය වැනි දෑ සටහන් කිරීමට 
  • කොට්න් බඩ් – ඇසට යමක් ගිය විට ප්‍රවේශමෙන් එය ඉවත් කර ගැනීමට (කන සුද්ද කිරීමට නොවන බව වගකීමෙන් යුතුව වටහා ගන්න)
  • පතුරු ලෙස භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය කිහිපයක් (අස්ථි බිඳීමකදී රෝහල වෙත ගෙන යාමට පෙර ප්‍රථමාධාරයක් ලෙස එම ස්ථානයට පතුරු තබා බැඳීමට) 
  • මොට්ට තුඩක් සහිත කතුරක් (තුවාලයක් පිරිසිදු කිරීමකට)
  • බෙහෙත් දැමීමට භාවිත කළහැකි අඬුවක්
  • ඇණුන කටු ඉවත් කිරීම යොදා ගත හැකි අඬුවක්

නිවසේ ප්‍රථමාධාර පෙට්ටියට අවශ්‍ය ඖෂධ වර්ග

වෛදවයෙකු විසින් අප වෙත හෝ දරුවන්ට නියම කරන සෑම ඖෂධ වර්ගයක්ම නිවසේ ප්‍රථමාධාර පෙට්ටියේ තබාගත නොහැකි වුවත් වේදනා නාෂක වර්ග වැනි යම් යම් සුළු ඖෂධ අපහට නිවසේ ප්‍රථමාධාර පෙට්ටියේ තබාගත හැකියි. නමුත් ඒවා ද වැඩිහිටි අයෙකු හෝ නිවසේ තබා භාවිත කිරීමට වෛද්‍ය උපදෙස් අනුව මාත්‍රාව පිළිබඳවත් කල් ඉකුත්වීම් දිනය සම්බන්ධවත් අවබෝධයක් ඇතිව ඖෂධ වර්ග තෝරාගත යුතුය. 

  • ්‍රතිජීවක ඖෂධ (වෛද්‍ය උපදෙස් මත)
  • වේදනා නාශක (වැඩිහිටි/ළමා)
  • උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි එදිනෙදා ජීවිතයේ අපට අවශ්‍ය ඖෂධ
  • සිරප් වර්ග
  • තුවාල සෝදන ද්‍රාවණ 

මේ වනවිටත් ඔබ නිවසේ ප්‍රථමාධාර පෙට්ටියක් ඇත්නම් අඩුපාඩු සම්පූර්ණ කරගන්නට ඔබට හැකියි. ඉතාම වැදගත් වන්නේ ඔබේ ප්‍රථමාධාර පෙට්ටිය දූවිලි නොයන, වතුර කාන්දු නොවන, නොබිඳෙන එකක් වීමයි. එමෙන්ම එය යතුරු දමා වසා තැබිය හැකි විය යුතුයි. 

කුඩා දරුවන්ට විවර කළ නොහැකි වනසේ තැබීම වඩාත් උචිත වන අතරම පෙට්ටියේ පිටතින් එහි අඩංගු බෙහෙත් පිළිබඳ හා ඒවා ගබඩා කර ඇති ස්ථාන පිළිබඳ දැනගත හැකි වන අයුරින් ලැයිස්තුවක් අලවා තැබීම පහසුවක් වනු ඇත. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය                         හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
 පළාත් මහා රෝහල, කුරුණෑගල

 

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article