”අපිට කොරෝනා නැහැ.. ඔව්.. අපිටත් නැහැ..” ඒත් ඒක නිවැරදි කළොත් අපිට තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ… මෙන්න මේ අදහස බොහොමයක් දෙනා තුළ නැහැ. කොරෝනාව මේ සා හිස ඔසවන්න ඒකත් හේතු වෙන්න ඇති. සාමාන්‍ය ජීවිතයේ තමන් ගැන අධි තක්සේරුවෙන් කටයුතු කරන ඇතැම් පුද්ගලයන්ගේ ඒ අදහස කොරෝනාත් එක්ක බද්ධ වුණාම ඉස්මතු වෙන්නේ ”අපිට ඕවා හැදෙන්නේ නෑ..” කියන ආඩම්බරකාර සිතුවිල්ලක්. මේ විදියට හිතන එක්කෙනක් දෙන්නෙක්ට රටේ කී දෙනෙක්ට නම් අවාසනාව කැන්දන් එන්න බැරි නැද්ද? ඉතිං කොරෝනා කාලේ අලුත්ම විදියකට අපේ බැඳීම් වෙනස් කරගන්නවා විනා උදම් ඇනීම හෝ තරහ මරහ වීම හෝ හොඳ නැහැ. ඉතිං අපි උත්සාහ කරමු අපේ බැඳීම් අලුත් විදියට හිතලා අලුත් කරගන්න. මේ ඒ වෙනුවෙන් පුංචි අදහස් ටිකක් විතරයි ඔන්න.
අනේ ඒ මිනිස්සු මොනවා නොහිතයිද? එහෙම එන්න එපා කියන්න පුළුවන්ද?
ඔබ කොරෝනාවට කොච්චර බය වුණත් නෑ හිතවත්කම් නැති වෙනවාට ඊටත් වඩා බයයි. අන්න ඒකයි, අසල්වැසියෝ, නෑ හිතවතුන් නිවසට එන එක නවත්තගන්න බැරි. ඔබ ජීවත් වෙන්නේ තට්ටු නිවාස/කුලී නිවාස හෝ නිතර වැඩි පිරිසක් මුණ ගැහෙන ස්ථානයක නම් ඔබේ ආරක්ෂාව සලස ගන්න බැරි ලොකුම හේතුව අනෙක් නිවාසවල දරුවෝ වැඩිහිටියෝ වෙනදා පුරුද්දට අදටත් ඔබේ නිවසට එන එක වෙන්න පුළුවන්. ”අනේ අපි ටිකක් මේ දවස්වල එහෙ මෙහෙ නොයා ඉන්න එක නේද හොඳ” කියලා ඔබ නොකියා කිව්වත් ඇතැම් විට ඔවුන් වටහා නොගන්නවා වෙන්න පුළුවන්. එහෙම අයට කෙලින්ම කියන්න වෙනවා. ඒත් හිත නරක් කරන්න බැරිකමට කරබා ගෙන ඉන්නවා. ඉතිං ඔබට ඔබේ ආරක්ෂාව සලසගන්න බැරිව ලතවෙනවා ඇති. ”කට්ටිත් එක්කම කොරෝනා හදාගන්න හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ” කියලා ඔබට හිතුණු වාරත් ඕනේ තරම් ඇති.
එහෙමත් නැත්නම් ඔබ අසල්වැසි නිවෙස්වලට නිතර යන අයෙක් විය හැකියි. හිතවත්කම මත ඔබේ පැමිණීම නතර කරන ලෙස ඒ නිවැසියන්ට පැවසීමට නොහැකිව ලතවෙනවා විය හැකියි. දැන් ඔබට වැටහෙනවා ඇති රට තුළ පවතින මේ වතාවරණය හමුවේ අපි අපිට මෙන්ම අන්‍යයන්ටත් හිරිහැරයක් නොවන සේ හැසිරිය යුතු බව. අපි සැවොම මතක තියාගත යුතු වැදගත්ම දේ වෙන්නේ කොරෝනාව අවසන් වූ දවසක අපි කාටත් වෙනදාටත් වඩා ළංව හමුවීමට විනෝද වීමට අවස්ථාව උදා වෙන බවයි. හැකි තරම් එවැනි අයට ඒ ගැන අවබෝධ කරවන්න උත්සාහ කරන්න. තනි තනිව ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට සැලකිලිමත් වෙන්න. ඔබේම ආරක්ෂාව වෙනුවෙන් ඔබේ මේ කැපවීම අපේ මුළු රටම වෙනුවෙන් ඔබ ඉටුකරන මෙහෙයක් බව මතක තබාගන්න.
අනේ මේ පොළේ ගිහිං එන ගමන්… මෙතනින් යද්දී නොදැක්කා වගේ යන්න හිතුණේ නෑ….
නිවසින් පිටතට ගොස් පැමිණි පසු සියලු ඇඳුම් ඉවත් කර නා පිරිසිදු වී නිවස තුළට යාමට හැකි නම් ඉතා උචිත බව වෛද්‍යවරු පුන පුනා පවසන අවස්ථාවක පොළට/වෙළඳ සැලට හෝ රෝහලට ගොස් එන අතරමග නෑ හිතවතුන්ගේ නිවෙස් වෙත පිවිසීම කොතරම් දුරට සාධාරණීයද යන්න ගැටලුවක්. ඔබ නිරාවරණය වූ පිරිස අතර කොරෝනා ආසාධිතයෙකු සිටියහොත් ඔබට පමණක් නොව ඔබ ගොඩවැදුණු නිවසේ පිරිසට ද අපහසුතාවයට පත් වීමට සිදුවනු නිසැකය. ඉස්සර පුරුදු විදියට ජීවිත ගමන යන්න අපහසු බව මුලින්ම කිව්වේ අන්න ඒ නිසයි. මේ කාලයේ අපි පුරුදු වෙන්න ඕනේ තනිව ජීවත් වීමට මිස තවත් කෙනෙකු හෝ අපිවම හෝ අපහසුතාවයට පත්කරවීමට නොවේ.
අම්මා තාත්තා බලන්නවත් කාලෙකින් ගියේ නැහැ
ඇත්ත… නගරයේ ඉඳලා ගමට යනවා කියන එක මේ කාලයේ අවදානමක්. අම්මා තාත්තා දකින්න ආසාවක් නැතිකම නෙවෙයි. ජීවිතයේ සැඳෑසමය ගත කරන ඔවුන්ට දුකක් කරදරයක් දෙන්න තියෙන අකමැත්ත. දෙමාපියන් බලාගන්න අනෙක් සහෝදර සහෝදරියෝ තව කෙනෙක්ට එන්න බැරි වුණා කියලා මේ වගේ වෙලාවක උරණ වෙන එක නම් නරකයි. මොකද ඒ පැමිණීම දෙමාපියන්ට වගේම නිවසේ සිටින අනෙක් අයටත් යම් අවදානමක් වෙන්න බැරි නැති නිසා.
පුංචි දරුවෝ වෛරක්කාරයෝ කරන්න එපා
එකට එක්කාසු වෙලා සෙල්ලම් කරපු පුංචි දරුවන්ට වෙන් වෙන්න වෙලා තමයි. ඒත් ඒ කාගෙත් හොඳට මිසක් තරහකට නෙවෙයි. ඒත් සමහර වැඩිහිටියෝ මේ තත්ත්වයත් එක්ක දරුවන්ගේ හිත් හදන්න නෙවෙයි, වෛරය පුරවන්න උත්සාහ කිරීම නම් බොහොම නරකයි. ”දැක්කද ඔයාලා මහ ලොකුවට ගියාට මේ අපිට නැති ලෙඩක් ගැන හිත හිත බය වෙලා ඔයාලව කොන් කරන හැටි” මේ කොරෝනාවත් එක්ක අලුත් විදියට දරුවන්ට හිතන්න පුරුදු කරනවා මිසක් සදාකාලිකව වෙන්කරන තරමට දරුණු වෙන්න හොඳ නැහැ. පුංචි වුණත් ඒ දරුවන්ට වයසට අනුව අවබෝධ කරවිය යුත්තේ මේ රෝගය සීග්‍රයෙන් පැතිරෙන ආකාර හා අපි, අපේ ගෙදරටම වෙලා ඉන්න එක අපිටමයි හොඳ බවයි.
ආයෙ යන්නේ නෑ ඔය පැත්ත පලාතේ.. අපිටත් කොරෝනා කියලද කොහේ හිතේ
එක් නිවසකින් එක් අයෙකු හෝ රැකියාව වෙනුවෙන් හෝ නිවසින් පිටත්ව යනවා ඇති. සමහර විට ඔවුන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරනවාත් ඇති. ඉතිං එවැනිනෙක් කොරෝනාව ගෙදරට අරන් එන්න බැරිකමක් නැහැ. ඒත් ”අපිට කොරෝනා නෑ අපිට කොරෝනා නෑ” කියමින්, කොරෝනාවෙන් ආරක්ෂා වීමට උත්සාහ දරන පිරිසට බාධාවක් වන අයුරින් හැසිරෙනවාට වඩා ”අනේ අපි එළියට යනවා” යන්නේ එන්නේ බස් එකේනේ ඉතිං කොහොවත් යන්නේ නෑ.. කාටවත් ගෙදරට එන්න දෙන්නෙත් නෑ” කියන්න අදිමදි කරන්න එපා. මේ වෙලාවේ හැටියට ඒක තේරුම් ගන්න කෙනෙක් ඔබ එක්ක තරහා වෙන්නේ නෑ. මේ වෙලාවේ හැටියට ඒක තේරුම් ගන්න බැරි කෙනෙක් තරහා වෙනවා නම් ඒ වගේ දෙයක්වත් නොතේරෙන කෙනෙක් අවශ්‍යත් නැහැ.
මේ පෑන් කේක ටිකක් හැදුවා… නොදී කන්න මොකද්ද වගේ
කෑම බෙදා හදා ගැනීම අපේ රටේ පුරුද්දක් තමයි. පෑන් කේක් එකක් හැදුවත් උඩ ගෙදරට එහෙමත් නැත්නම් යට ගෙදරට නොදී කන පුරුද්දක් අපේ බොහොම දෙනෙක්ට නැහැ. බෙදාහදා ගැනීම කොච්චර හොද පුරුද්දක්ද? ඒත් නිවසින් පිටතට යන ඔබ, කොරෝනා වෛරස ආසාදිතයන් හමු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති රැකියාවක නිරත අයෙක් වන්නේ නම් වඩා වටින්නේ ඔබ අන්‍යයන් සමග මුහුවීම හැකිතාක් සීමා කිරීමයි. කොරෝනා එලවලාම අපි කෑම බීම බෙදන් හදන් කමු නේද?
ඈත ඉඳන් අත වනන්න අමතක කරන්න එපා
ලංකාවේ අපේ මිනිස්සු අතර තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. දුකකදී කරදරයකදී වුණත් මිනිස්සු එකතු වෙන්නේ ඒ මනුස්සකම නිසා. කන්න නැති කෙනොට කන්න ටිකක් දෙන්න අපේ රටේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැහැ. ඒත් මේ කොරෝනා එක්ක බොහොම සමගියෙන් ජීවිතේ බෙදාහදා ගත්ත අයගේ හිත් හරියට නොහොඳ නෝකක්ඩු වෙලා. ඒ එක්කෝ එයාලව බලන්න එන්නෙවත් නෑ කියලා හිතලා. නැත්නම් එයාලා බලන්න එන්න හැදුවම ඒකට හොඳ ප්‍රතිචාරයක් නොදක්වපු නිසා. ඒත් මේ කාලේ නම් හමු වීම් ඕනෙම නැති තරම්. අන්න ඒ නිසා අපි යන එන ගමනෙදි ඇස ගැටුනම ඈත ඉඳන් අතවනමු. දුරකතනයෙන් සැප දුක් විමසමු. ඩේටා තියෙනවා නම් වීඩියෝ කෝල් එකක් අරගෙන මීටරයේ දුරට වඩා ළඟින් ටිකක් කතා බහ කරමු.
අලුත ඉපදුන නොදරුවෙක් බලන්න යන්න කලබල වෙන්න එපා
සමහරු ඉන්නවා දරුවෙක් ලැබුණම මුලින්ම යන්න ඕනේ කියලා හිතන. කොරෝනා තිබ්බත් නැතත් ඒක එහෙමමයි. අනේ අලුත ඉපදුන බබත් අපහසුතා ගොඩක් එක්ක ඉන්න අම්මත් ගැන දෙතුන් වතාවක් හිතන්න. දරුවෙක් ඉපදුණු ගමන් බලන්න දුවන්න එපා, මේ දවස්වල කොහොමත්. ඔබ මොන විෂබීජ අරන් යනවද කියලා දන්නේ නෑනේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. දරුවෙක් ලැබුණා බලන්නවත් ආවේ නෑ කියලා කා එක්කවත් තරහා වෙන්නත් එපා. මොකද මේ දවස්වල කවුරු කවුරුත් නොඑන තරමට තමා වඩා හොඳ.
මේ, අපි හැමෝම කොරෝනා අවදානමෙන් ගැලවෙන්න උත්සාහ කළ යුතු කාලයක්. ඒ ගැන නොහිත ඒකෙන් බේරෙන්න ලේසි නෑ. ඉතිං අපි ගැන වගේම අනිත් අය ගැනත් හිතලා හිතලා කල්පනාවෙන් වැඩකරන එක තමා හොඳම. එතකොට මේ රෝගය පාලනය කරන්න නොදැනුවත්වම අපි සහය වෙනවා කියන ආඩම්බරය අපි තුළම ගොඩනැගේවි.