දඬුවමක් දෙන්න තරම් වයසකුත් නැත්නම් …මොකද කරන්නේ..?

පුංචි දරුවන්ගෙන් වැරදි වැඩ කිරීම බොහොම සාධාරණයි. ඒ ඇයි කිව්වොත්  හොඳ සහ නරක අතර වෙනස පුංචි දරුවන්ට තේරෙන්නේ නැහැ.ඒත් අම්මා,තාත්තා හරි වැරැද්ද අතර වෙනස හොදින්ම දන්නවානේ. ඒ නිසා පුංචි දරුවා වැරැද්දක් කලොත් ඔබ මොකද කරන්නේ…?

දරුවාගේ වැරැද්ද ඔබ සාධාරණ කරන්නේ කොහොමද…?

  • තව ඉතින් හයක් හතරක් තේරෙන්නේ නැහැනේ..ලොකු වෙද්දී හරි යාවි.
  • සමහර  විට මේ තත්වයත් ඇත්ත. දරුවාට යමක් කමක් තේරෙන විට වැරැදි ගැන වැටහීමක් ලැබෙනවා. ඒ නිසා දරුවා විසින්ම වැරැද්ද තේරුම් ගන්නත් පුලුවනි.

හැබැයි මේ සිතුවිල්ල එතරම්ම සාධාරණ නැහැ…

ඔබ මේ විදිහට හිතුවත් සමහර අවස්ථාවලදී දරුවා කරන වැරැදි ඔවුන් සමගම වැඩෙන්න පුලුවනි.ඒ නිසා වැරැද්ද දුටු විට නම් එය අනාගතයට කල් තැබීම එතරම් සුදුසු නැහැ. මේ ගැන අද බොහෝ උදවියගේ පාපොච්චාරනයන්ගෙන් පවා සඳහන් වෙනවා. ඇතැම් බන්ධනාගාරගත පුද්ගලයන් පවා සඳහන් කරන්නේ ඔවුන් බාල කාලයේ පටන්ම මේ වැරැදි ක්‍රියාවන් සමග ජීවත් වුන බවයි. නමුත් කවුරුන් හෝ වැඩිහිටියන් විසින් අතීතයේදී ඔවුන්ගේ වැරැදි හැසිරීම වැරැදි බැව් පෙන්වා ඔවුන් ඒ වැරැදි ක්‍රියාවෙන් මුදවා ගත්තා නම් අදටත් ඔවුන්ද සාමාන්‍ය පුද්ගලයන් මෙන් ජීවත් වෙනු ඇති. ඒ නිසා වරදකට දඬුවම් කිරීමට වයස ගැටළුවක් නැහැ. වරදට අද ලැබෙන දඬුවම ඔබෙන් නොලැබුනොත් ඔබේ දරුවා හෙට සමාජයෙන් දඬුවම් ලබනු ඇති.

දරුවා කරන ක්‍රියාව වරදක් නම්, එයට දඬුවමක් දෙන්න තරම් වයසකුත්නැත්නම් …මොකද කරන්නේ..?

ඒත් වරදක් නම් නිශ්ශබ්ද වෙන්න එපා. දරුවා පුංචි නම් පුංචි දඬුවම් දෙන්න..ඔහු කැමැති රූපවාහිනී වැඩසටහනක් නරඹන්න ඇති අවස්ථාව අදට තහනම් කරන්න.එහෙම නැත්නම් සිහින් කෝටුවකින් පහරක් දෙන්න. තමා කරන ලද්දේ වරදක් බැව් දැනගැනීමට එය හොදටම අදට ප්‍රමාණවත් වේවි.

හැබැයි එතැනින් ඔබ නවතින්න එපා..

සමහර විට දෙමව්පියන් විසින් ලබා දුන් දඬුවම නිසා දරුවා වැරැදි ක්‍රියාවෙන් මිදෙන්න පුලුවනි. ඒත් සහතික වෙන්න බැහැ. පුංචි අය වුනත් විශ්වාස කිරීම එතරම් පහසු නැහැ. ඒ නිසා දරුවා විසින් කළ වැරැදි කටයුත්තට දඬුවමක් දුන් තැන පටන් ඔබ ඒ ගැන පසු විපරමෙන් සිටින්න.ඔවුන් නැවතත් ඒ වැරැදි ක්‍රියාවම සිදු කරන්නේදැයි විමසිල්ලෙන් සිටීම ඉතාම වැදගත්.

දරුවන්ට බය වෙන්නත් එපා..

එක් එක් දෙමව්පියන්ගේ පෞරෂයත් වෙනස්. ඒ නිසා ඇතැම් අම්මලා දරුවන්ට යම් බියක් දක්වනවා. එය බියක් කියන්නත් බැහැ.සමහර විට අනුකම්පාවක් වගේ හැගීමක්. ඒ නිසාම දරුවා වරදක් කළත් ඊට ගැලපෙන දඬුවමක් ලබා දෙන්නත් බයයි.ඒත් මේ කතාව අමතක කරන්න එපා. හැදි නොගා හදන හොද්දයි..ගුටි නොගහා හදන දරුවයි.. දෙකම ඉක්මනින් නරක අතට හැරෙනවානේ. හැබැයි ..මෙතැන කියන්නේ රජකාලේ දඬුවම් ගැන නම් නොවෙයි.වරදට සහ දරුවාගේ වයසට ,මනසට ගැලපෙන දඬුවමක් ලබා දීම වැදගත්.

හැබැයි නිකරුනේ දඬුවම් කරන්නත් එපා..

ඔබ දරුවෙකුට අනවශ්‍ය අන්දමින් සැර පරුෂ වීම හෝ සුලු දෙයටත් දඬුවම් කිරීම කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය කට වහරට කියන්නා සේ කම්මලේ සිටින බල්ලා හෙණ හඬටත් බිය නැති වෙන්නා සේ…නිතරම සිදු කරන දඬුවම් නිසා දරුවාට වරදක් වෙුනවෙන් දඬුවම් ලබා දෙන විට එහි කිසිදු විශේෂයක් නැත.ඒ නිසා දඩුවම් ලබා දෙන විට වරදේ බරපතල බව ගැනත් සීමාවන් අවශ්‍ය වේ.

දරුවාගේ වරදක් කිව්වොත් ඒ අය සමග අමනාප වෙන්න එපා..

ඔබේ දරුවා ගැන ඔබ දකින කෝණයට වඩා පිටස්තරයන් දකින්නේ වෙනස් අන්දමකින්.සමහර විට දරුවාගේ පංතියේ මිතුරෙකුගේ මවක් එබේ දරුවා ගැන පැමිණිල්ලක් කළොත් පසුදා සිට ඒ අම්මාගේ මුහුණවත් නොබල සිටින්න එපා. ඒ වෙනුවට වරදක් ගැන පැමිනිල්ල කළ කාන්තාවට ”ස්තුතියි ” කියන්න.

අනේ අපේ පුතාට ඉරිසියාවට කියන දේවල් යැයි…නිශ්ශබ්ද වෙන්නත් එපා.

ඒ වගේම ඔබේ ආවේගයට නිවසට පැමිණි විටම ආවේශ වී දරුවාට දඬුවම් කරන්නත් එපා.සමහර විට දරුවා ගැන සිදු කරන ලද පැමිණිල්ල මුසාවක් වෙන්නත් පුලුවනි. ඒ වුනත් නොසලකා සිටින්නත් එපා.දරුවා ඉදිරියේ පැමිනිල්ල කළ මව ගැන විවේචනය කරන්නත් එපා. මේ පැමිනිල්ල ඇත්තක්දැයි ඔබම නිරීක්ෂනය කරන්න.වරද තහවුරු වුන විට දඬුවම ගැන හිතන්න.

දරුවාට අල්ලස් දෙන්න එපා..

ඔබේ පහසුවට බොහෝ අවස්ථාවන්හිදී දරුවා වෙනුවෙන් ඔබ අල්ලස් දෙන්නත් පුරුදු වෙලා සිටින්න හැකියි.ඔයා ඇත්ත කිව්වොත්..මං ටෙනිස් බෝලයක් අරගෙන දෙනවා. ඇත්තම කියන්න..නමුත් මේ අන්දමින් බෝනස් හෝ අල්ලස් දීම නම් නුසුදුසුයි. එවිට සිදු වෙන්නේ දරුවා නිතරම වරද නිවරැදි කර ගැනීමේදී අල්ලසක් බලාපොරොත්තුවෙන් සිටිනවා.ඒ නිසා වරද ඔබ නිතරම වරදක් සේ දකින්න. එය අල්ලසින් පිරිසිදු කරන්න එපා.

දරුවා ඉදිරියේ ඔබ වැරදි වැඩ කරන්නත් එපා..

ඔබ දරුවා වැරැද්දෙන්  මුදවා ගන්න නම් මුලින්ම ඔබ නිවරැදි වෙන්න.දරුවාට බොරු කියන්න එපා යැයි ඔබ කියනවා නම් ඊට මුලින්ම ඔබ දරුවා ඉදිරියේ බොරු කීමෙන් වැලකී සිටීම ඉතාම වැදගත්.ඔබ දරුවා සමග එක්ව ඇතැම් අවස්ථාවලදී බොරු කියනු ඇති.

නිවසට යාචකයෙක් පැමිණි විට ගෙදර කවුරුවත් නැහැයි කියන පනිවිඩය යවන්නේ දරුවා අතය…ඔබට අනවශ්‍ය දුරකථන ඇමතුමක් ලැබුන විට අම්මා කෝ ඇහුවොත් ගෙදර නැතැයි යන පනිවිඩය ඇමතුම් කරන්නාට කියන්නට දරුවාට උපදෙස් දෙන්නේ ඔබය.මේ ආදර්ශ නිසාම දරුවාටත් බොරුව ගැන ඇති බිය නොදැනීම හිතෙන් දුරස් වෙනු ඇත.

පමණට වඩා වර්ණනා කරන්නත් එපා..

සාමාන්‍යයෙන් මුරුංඟා අත්තේ ඉහලින් තැබූ විට අත්ත කැඩී වැටෙන්නා  සේ ඔබේ දරුවා ගැන පමණට වඩා සිදු කරන වර්ණනාවන් නිසාම ඔවුන් වැරැදි කටයුතු වෙත නොබියව යොමු වීමට ඉඩ තිබෙනවා.ඒ නිසා දරුවා ගැන අනවශ්‍ය අන්දමින් වර්ණනා කිරීමත් එතරම් ගැලපෙන කාර්යක් නොවන බැව් දෙමව්පියන් වශයෙන් ඔබ මතක තබා ගන්න.

එහෙමනම්..දරුවා වරදක් කළ විට නොසලකා සිටිනවාට වඩා වරදට අදාල දඩුවමක් ලබා දීමෙන් ඔවුන් සුමගට යොමු කිරීමට තිබෙන අවස්ථාව මග හැරීමෙන් අනාගතයේදී දරුවාගේ වැරැදි වෙනුවෙන් දෙමව්පියන්ට පසුතැවිලි වීමට සිදු වේ.

 

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here