ගිනි පෙලෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කනාමැදිරියාටත් බයයි කියනවා කොවිඞ් වසංගතය ඉදිරියේ අපට ආහාරපාන.ගමන් බිමන්, යන හැම දෙයක් ගැනම යම් සැකයක් තිබෙනවා. ඒ නිසා මේ කාලයේදී අපේ ආහාර ගැන සුරක්ෂිතතාවය ඇති කර ගන්නේ කොහොමද…? මේ ගැන අදහස් ඉදිරිපත් කරන්නේ පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා
කොවිඞ් කියන්නේ ආහාරයෙන් බෝවන රෝගයක් නොවේ. ඒ වගේම ආහාර මත ගුණනය වීමක් සිදු වෙන්නෙත් නැහැ. ඒ වුනත් ශීත ආහාර මත මේ වෛරසය දිගු කාලයක් ජීවත් වෙන්න පුලුවනි.ඒ වගේම වායුසමීකරණය කරන ලද කාමරවල වෛරසයේ ස්ථායිතාවය ඉහළ මට්ටමක පවතිනවා.
දැන් කාලයේ වැඩි දෙනෙක් ආහාර මිලට ගන්නේ වායුසමීකරණය කරන ලද වෙළඳසැල්වලින්…එවිට අවදානමක් තිබෙනවාද…?
ශීතකරණ හෝ වායුසමීකරණය කරන ලද වෙළඳසැල්වල සීතල ප්‍රදර්ශනකුටිවල ගබඩා කර ඇති ආහාර මත වෛරසයේ අධික මාත්‍රාවක් තිබෙන්න පුලුවනි. ඒ වගේම බොහෝ ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශවල වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල්වල ශීත කළ ආහාර සහ ශීත කල ආහාර පැකේජ් මත වෛරසය පැවතීමේ හැකියාවක් තිබෙනවා.
මේ අවදානමෙන් අප ආරක්ෂා වෙන්නේ කොහොමද…?
ආහාර මගින් හෙවත් ශීත කරන ලද ආහාර මගින් අපට වෛරසයේ සම්ප්‍රේෂනය වලක්වා ගැනීමට නම් පියවර කීපයක් ගත හැකියි. ඒවා සාමාන්‍යයෙන් ඉතා සරල සහ පහසුවෙන් අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කර ගැනීමට පුලුවනි.
ඔබ ආහාර මිලදී ගැනීමේදී අදාල වෙළඳ ආයතනයේ සෞඛ්‍යාරක්ෂිත බව ගැන තහවුරු වීම අවශ්‍යයි. විශේෂයෙන් මස්,කිරි, යෝගට් , අයිස්ක්‍රිම් මිළට ගන්නවා නම් නිසා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන වෙළඳසැල් වෙතින් පමණක් මිළට ගැනීම වැදගත්.
ඒ වගේම ඔබ නිවසට මෙම ආහාර ද්‍රව්‍ය ගෙන ආ පසුව සැනින් ඒවායේ දැවටුම් සහ ඇසුරුම් ගලවා නිසි පරිදි බැහැර කරන්න.
සාමාන්‍යයෙන් අසුරා ඇති භාජන නම් විෂබීජහරණය කිරීමට පුලුවනි. ඒ වෙනුවෙන් ඔබට ක්ලොරොක්ස්,පවර් බ්ලීච් වැනි ගෘහස්ත බ්ලීච් භාවිතා කරන්න පුලුවනි.ඊට පෙරාතුව මේ ඇසුරුම් පිටත ප්‍රදේශය නල ජලයෙන් සෝදන්න. අත්වැසුම් පළඳා ගන්න. දැන් බ්ලීච් ද්‍රාවනයෙන් තේ හැන්දක් : මිලි ලීටර් 5 ක් ) ජලය මිලි ලීටර් 250 කට එකතු කරන්න.දැන් ස්පොන්ජියක් තෙමා මේ ද්‍රාවණය ආහාරයට ඇතුළු නොවන සේ බහාලුම් පිටත පිරිසිදු කරන්න. මිනිත්තු පහකින් පසුව වතුරෙන් සෝදා ශීතකරණයේ ගබඩා කරන්න. පිරිසිදු කරන අවස්ථාවලදීත් ඔබේ මුහුණ,නහය ආදී ස්ථාන ස්පර්ශ නොකිරීමත් වැදගත්.
ආහාර හොඳින් පිසින්න..
කොවිඞ් 19 වසංගත කාලයේදී වඩාත් සුදුසු වෙන්නේ හොඳින් පිසින ලද ආහාරයි. තාපයේදී වෛරසය පහසුවෙන් විනාශ වෙනවා. ඒ නිසා මේ කාලයේදී මස්.මාලු ආහාරයට ගැනීමේදී හොඳින් පිස ගන්න. අඩක් පිසින ලද මස්.මාලු ආහාරයට ගැනීමෙන් ඈත් වෙන්න.
අමුවෙන් මාලු ආහාරයට ගැනීම..?
අමුවෙන් මාලු ආහාරයට ගැනීම චීනය සහ කොරියාව වැනි රටවල සිදු වුනත් ඒවා සෞඛ්‍යාරක්ෂිත ලෙස සකස් කර තිබෙන නිසා ඒ රටවල්වලදී අමුවෙන් මාලු ආහාරයට ගැනීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේ නැහැ.නමුත් නොපිසූ මාළු ආහාරයට ගැනීම අපේ සංස්කෘතියේ ආහාරපුරුද්දක් නොවෙයි.අපේ කොරෝනා පොකුරක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් පටන් ගත්තා.ඒ නිසා මේ වෛරසය මත්ස්‍යයන් සමග දූෂනය වී තිබෙන නිසා අමුවෙන් හෝ බාගෙට පිස මස් සහ මාලු ආහාරයට නොගත යුතුයි.
පිසින ලද සීත කළ ආහාර..
ඔබ ආපනශාලාවකින් පිසින ලද ආහරයක් මිලට ගන්නවා නම් නිවසට ගෙන ගොස් පරිභෝජනයට පෙරාතුව රත් කර ගන්න.බටහිර රටවල නම් සලාද, සැන්ඞ්විච්, පැස්ටා ආදිය ශීත කැබිනෙට්ටුවල ගබඩා කර තිබුනත් අපේ රටේ මෙවැනි ආහාර බහුලව දකින්න නැහැ. ඒ වගේම වන සතුන් වෙත කොවිඞ් 19 වෛරසයේ සම්ප්‍රේෂනය වීමේ අවදානමක් තිබෙන නිසා සම්ප්‍රදායික නොවන ඉබ්බා, ඉගුවානා,වවුලන් වැනි සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙන් ඉවත් වෙන්න.
විටමින් D අඩංගු ආහාර ගැනීමෙන් COVID -19 අපට ආරක්ෂාවක් ලැබෙනවාද…?
විටමින් D ඌනතාවය ඇති අයට COVID 19 රෝගය පහසුවෙන් වැලඳෙන බව විවිධ අධ්‍යනයන් මගින් සොයා ගෙන තිබුනත් විටමින් D ඌනතාවය සහ COVID -19 රෝගය අතර පවත්නා සම්බන්ධතාවය ගැන තවම නිශ්චිත තහවුරු වීමක් නැහැ. විටමින් D මගින් ශ්වසන රෝගවලින් ආරක්ෂාවක් ලැබෙන බැව් තහවුරු වී තිබෙනවා. විටමින් D ප්‍රතිශක්තිය වැඩි කරන බැව් අප දන්නා කරුණක්. ඒ නිසා කොවිඞ් වසංගතයටමත් සීමා නොවී විටමින් D මට්ටම යහපත් පරිදි පවත්වා ගැනීම වැදගත්.
අපි විටමින් D ලබා ගන්නේ කොහොමද..?
සාමාන්‍යයෙන් ආහාර නොමැතිව අපට අවශ්‍ය විටමින් D හිරු එළියෙන් ලබා ගන්න පුලුවනි. වැඩිහිටියෙකුට දිනකට විටමින් D මයික්‍රොග්‍රෑම් 20 සිට 25 ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.අපේ සිරුරේ ඇති කොලස්ටරෝල් මගින් හිරුඑළිය පවතින විට විටමින් D ජනනය කරනවා.වඩාත් නිවරැදිව කියනවා නම් අක්මාව තුළ ඇති කොලස්ටරෝල් 7 ඩි හයිඞ්රෝ කොලස්ටරෝල් බවට පරිවර්තනය වෙනවා. එයින් පසුව එය විටමින් D -3(කොලකාල්සිෆෙරෝල් ) පරිවර්තනය වීම සූර්යාලෝකයේ පාරජම්බුලකිරණ ( UV ) මගින් සිදු වෙනවා.
ඒ නිසා අප උදෑසන හිරු එලියට නිරාවරනය වුනොත් විටමින් D නොමිලයේම ලබා ගන්න පුලුවනි.නමුත් කොවිඞ් සමග බොහෝ දෙනා නිවෙස්වලට සීමා වීම නිසා හිරු එලියට නිරාවරනය වීමත් සීමා වී තිබෙනවා. ලෝක ජනගහනයෙන් 50% ක් පමණ පිරිසකට ප්‍රමාණවත් පරිදි සූර්යාලෝකය නොලැබෙන බැව් බැව් ගණන් බලා තිබෙනවා.
ආහාර මගින් විටමින් D ලබා ගැනීමට නම්….
විටමින් අඩංගු ආහර අතරට ගැනෙන සැමන්, බලයා, කෙලවල්ලා, බිත්තර කහමදය, කිරි සහ මාගරින් වැනි ආහාර මගින් ඔබට අවශ්‍ය විටමින් D ලබා ගත හැකියි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා