“ ඔටිසම් තත්වය” සහිත දරුවෙකුගේ සන්නිවේදන කුසලතා දියුණු කිරීමට “කථන චිකිත්සාව” වැදගත් වන්නේ ඇයි?

“ඔටිසම් තත්වය” යනු ස්නායු සංවර්ධය හා සම්බන්ධ ගැටළුවක් (Neurodevelopmental) ලෙස සරලව ම හදුන්වා දිය හැකිය. මෙහි දී, දරුවාගේ සන්නිවේදනයේ හා අන්තර් පුද්ගල සම්බන්ධතා වල ගැටළු ඇති කරයි. 

මිට අමතරව තවත් බොහෝ ලක්ෂණ මේ හා බැඳී පවතී. එනම්, ඇසට ඇස නොබැලීම, එකම ක්‍රියාකාරකමක් හෝ යම් චර්යාවක් නැවත නැවත සිදු කිරීම, නොගැලපෙන ලෙස සෙල්ලම් කිරීම, සමාජනුයෝජනයේ ගැටළු, යම් දෙයක් හෝ ක්‍රියාකාරකමක් සදහා අවධානය දීමේ ගැටළු හා සංවේදන ගැටළු ඉන් ප්‍රධාන වේ. නමුත් මෙම ලක්ෂණ විවිධාකාරයෙන් දරුවන් තුල පෙන්නුම් කරන අතර ඔටිසම් තත්වය සහිත දරුවන් ද එකිනෙකට වෙනස් වූ ආවේණික ලක්ෂණ පෙන්නුම් කරති.

ඔටිසම් තත්වය සහිත දරුවකු ගේ කතාව, භාෂාව හා සන්නිවේදනයේ ඇතිවන ගැටළු ලෙස,

  • සම්පුර්ණයෙන් ම වාචිකව කතා නොකිරීම, ශබ්ද, තනි වචන හෝ කෙටි වැකි කතා කිරීම 
  • ඇතැම් විට වචන වල මුල ශබ්දය පමණක් උච්චාරණය කිරීම
  • සිංදුවක් කියන ලෙස යම් කිසි තාලයකට කතා කිරීම 
  • වෙනත් භාෂාව වචන මෙන් කතා කිරීම
  • ඇසෙන දේ ඒ අයුරින් ම නැවත ප්‍රකාශ කිරීම
  • කතාවට මුල පිරිම අඩු වීම
  • කතා කරන විට ඇසට ඇස නොබැලීම 
  • නිර්මාණාත්මක ව භාෂාව හසුරු වීම අපහසු වීම ඉන් සුලබ සන්නිවේදනය හා සම්බන්ධ ගැටළු ලෙස හදුන්වා දිය හැකිය.

මෙවන් දරුවන්ගේ ඇතිවන සන්නිවේදන ගැටළු අවම කර ගැනීමටත්, සන්නිවේදන කුසලතා දියුණු කර ගැනීමටත් කථන හා භාෂා චිකිත්සාව (Speech and Language Therapy) වෙත යොමු වීම ඉතාමත් වැදගත්ය. එමගින්, 

  • දරුවාගේ සන්නිවේදනය (වාචික/ අවාචික) දියුණු  සදහා කටයුතු කිරීම
  • දරුවා ගේ භාෂාව සංවර්ධනය සදහා අවශ්‍ය වන්නා වූ පුර්ව භාෂා සංවර්ධන කුසලතා සංවර්ධනය කිරීම
  • දරුවා ගේ වාග්මාලාව දියුණු කිරීම 
  • දරුවා සදහා ම සුවිශේෂී වූ සන්නිවේදන ක්‍රම හදුන්වා දීම හා ඒවා භාවිතයට දරුවා පුහුණු කිරීම
  • දරුවාගේ සමාජීය කුසලතා හා play skills සංවර්ධනය කිරීම ආදී වැදගත් වූ සේවයක් මේ හරහා ලබා ගැනීමට ඔබට හැකියාව පවති. 

ඔටිසම් තත්වය සහිත දරුවෙකු කථන චිකිත්සාව ආරම්භ කල යුතු හොදම වයස කුමක්ද යන්න බොහෝ දෙමවුපියන් ට ඇතිවන ගැටළුවකි. සාමාන්‍යයෙන් ඔටිසම් තත්වය අවුරුදු 03 ට පෙර හදුනා ගැනීමට හැකියාව පවතින අතර මෙම දරුවන් බොහෝ විට මාස 18 පමණ වන විට කථන හා භාෂා ප්‍රමාදයක් පෙන්නුම් කිරීම සුලබ කරුණකි. ඒ අනුව, හදුනා ගත් විගස හැකි ඉක්මනින් කථන චිකිත්සාව වෙත යොමු වීම ඉතාමත් වැදගත් වේ. එමගින්, දරුවා නිවැරදි තක්සේරුවකට ලක් කරන අතර එම ප්‍රතිපල මත දරුවා සදහා සුවිශේෂී වූ කථන චිකිත්සක ප්‍රතිකාර ලබා දීම ආරම්භ කල හැකිය. මුල් කාලයේදීම තහවුරු කරගැනීම හා ක්‍රියාකිරීම (Early Intervention) තුලින් දරුවාගේ සාධනීය වර්ධනයක් කරා ලගා වීමට හැකියව පවතී.

කථන හා භාෂා චිකිත්සකවරුන් (Speech and Language Therapist) විසින් ඔටිසම් තත්වය සහිත දරුවන් සදහා විවිධ වූ  කථන චිකිත්සක ක්‍රම උපයෝගී කර ගනිමින් කටයුතු කරති. මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. මෙහිදී සිදුවන්නේ දරුවා තක්සේරුවකට ලක් කර ලබා ගත් ප්‍රතිපල මත සිට ලග කරගත හැකි කෙටි කාලීන හා දිගු කාලීන අරමුණු පදනම් කරගත් සැලැස්මක් අනුව චිකිත්සක ක්‍රම උපයෝගී කරගනිමින් කටයුතු කිරීමයි.

ඔටිසම් තත්වය සදහා ලබා දෙන කථන චිකිත්සාව පරියේෂණ මඟින් තරවුරු වූ විවිධ ක්‍රමවේද (Approaches) මත පදනම් වුවකි. ඒ අතර, මුලික භාෂා උත්තේජනය (Early Language Stimulation), පින්තුර  හා පින්තුර පොත් ඇසුරු කරගත් ක්‍රමවේද (AAC) / (PECS), හැසිරීම් තක්සේරුකරණය තුලින් සිදු කරන ක්රමවේද (ABA) ආදීය  ප්‍රධාන ව පවතී. ඒ අනුව, ඔබටත් ඔටිසම් තත්වය සහිත දරුවකු සිටි නම් දරුවාගේ කථනය, භාෂාව හා සන්නිවේදනය දියුණු කර ගැනීම උදෙසා කථන චිකිත්සක ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත් වේ.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here