දරු පිළිසිඳ ගැනීමකට බාධා කරන කාන්තා පාර්ශවයේ ගැටලු

නොතේරෙන පුංචි වයසේ ඉඳලම බෝනික්කෙක් තුරුළු කරන් නලවන්න හුරතල් කරන්න පුංචි ගැහැනු දරුවන් ආසා කරන්නේ මව්පදවියට ස්වභාවයෙන්ම ඔවුන් වරම් ලබන නිසා වෙන්න ඇති. ඒත් වැඩිවිය පැමිණි ගැහැනු දරුවෙක් නිසි වයසේදී විවාහ දිවියට එළැඹිලා දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරද්දී ඒ හීනය දවසින් දවස දිග් ගැහෙද්දී ඒ දේ නම් දරාගන්න අමාරුයි. ඒ සඳහා හේතු වන කරුණු රුසක් තිබුණත් අද වන විට වෛද්‍ය විද්‍යාව දියුණුවෙන් දියුණුවට පත්ව ඇති නිසාම බොහොමයක් ගැටලු නිරාකරණය කරගැනීමේ වාසනාව හිමි වී තිබීම වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක්. කෙසේ වුවත් දරු පිළිසිඳ ගැනීමකට බාධා වෙන කරුණු ඒ කියන්නේ කාන්තාවක් මද සරුභාවයට පත් වීමට හේතු පිළිබඳව අපි දැනුවත් වෙමු. 

මද සරුභාවය යනු ගැබ් ගැනීම ප‍්‍රමාද වීමයි. මෙහිදී ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව තිබුණත් ඒ සඳහා දීර්ඝ කාලක් ගත විය හැකියිත. එසේම වඳභාවය/ නිසරු භාවය (Sterile) යනු වසරක් පමණ උත්සහ කළද ස්වභාවික ලෙස ගැබ් නොගැනීමයි. පර්යේෂණවලට අනුව බොහෝ විවාහක යුවල් අනාරක්‍ෂිත ලිංගික එක්වීමකදී මාස 12 ක් (වසරක්) ඇතුළත ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාවක් පවතිනවා.

මද සරුභාවයට හේතූ

බොහෝ හේතූ වඳ භාවය/නිසරු භාවය සඳහා හේතු වන හේතුම වේ. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි තත්ත්වයන්ද තිබිය හැක. ගැබ් නොගැනීම සඳහා  කාන්තාවගේ පමණක් නොව ඇතැම් විට පිරිමියාගේ හේතූ ද බලපෑ හැක.  මේ ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ කාන්තා පාර්ශවයට ඇති විය හැකි හේතු පිළිබඳවයි.

  1. ඩිම්බ මෝචනයේ ගැටලු

මෙය කාන්තාවන් සඳහා බහුලව බලපානු ලබන සුලබ ගැටලුවකි. ඩිම්බ මෝචනය නොවන විට සංසේචනය සඳහා ඩිම්බයක් නිදහස් නොවේ. මේ සඳහා හේතූ ගණනාවක් පවතී.

  • Polycystic Ovary Syndrome (PCOS) – මෙහිදී ඩිම්බ මෝචනය වැළැක්වීම හෝ අක‍්‍රමවත් ඩිම්බ මෝචනයක් සිදුවේ.
  • Diminish Ovarian Reserve (POR) – මෙහිදී කාන්තාවගේ ඩිම්බ ප‍්‍රමාණය අඩු කරන අතර මෙයට වෛද්‍යමය හේතූ, වයස හෝ ඩිම්බ කෝෂ ශල්‍යකර්ම හේතු වේ.
  • Premature Ovarian Insufficiency (POI) – ආර්තවාභාවය සාමාන්‍ය වයසට වඩා කලින් සිදුවීමය. මෙයට වෛද්‍යමය හේතු, පිළිකා තත්ත්ව සඳහා සිදුකෙරෙන ප‍්‍රතිකාර හේතුවෙන් ඩිම්බ මෝචනය ඇණ හිටිය හැක. 
  • හයිපොතැලමසේ හා පිටියුටරි ග‍්‍රන්ථියේ තත්ත්ව – සාමාන්‍ය ඩිම්බකෝෂ ක‍්‍රියාකාරීත්වයන් පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය කිරීමේ හැකියාවට බාධා ඇතිවීම සිදු වේ.
  • පැලෝපීය නාල අවහිරතා – පැලෝපීය නාල අවහිර වීම මගින් ඩිම්බයක් හා ශුක‍්‍රාණුවක් හමුවීම වළක්වයි. මෙයට පහත කරුණු හේතු වේ. 
  • Endometriosis
  • පෙර කරන ශල්‍යකර්ම වල කැළැල් පටක තිබීම. උදා: Ectopic pregnancy
  • ගොනෝරියාව, ක්ලැමීඩියා වැනි ලිංගිකව සම්පේ‍්‍රෂිත රෝග ඉතිහාසයක් තිබීම
  1. ගර්භාෂ අසාමාන්‍යතා

ගර්භාෂයේ ආබාධ හෝ අසාමාන්‍යතා ගර්භණීභාවය ඇති වීමට බාධා කරයි. මෙම ගැටලු උපතේ සිට  ඇතිවන හා පසුව ඇති වන ලෙස ආකාර 2 කි.

  • Septate uterus – කුඩා ආවාරයක්/පටියක් මගින් ගර්භාෂය කොටස් 2 කට බෙදීමයි.
  • Bicornuate Uterus – එක් කුහරයක් වෙනුවට කුහර 2 ක් තිබීමයි. ඒවා හෘදයක හැඩය ගනී.
  • Double Uterus – ගර්භාෂය කුඩා කුහර දෙකක් ලෙස පැවතීම හා ඒවාට වෙන වෙනම විවෘත වීම් පැවතීම.
  • Fibroids – ගර්භාෂය මත හෝ ඇතුළත අසාමාන්‍ය වර්ධනයන් ඇතිවීම.

මදසරුභාවයට හේතු වන අවදානම් සාධක 

  • වයස කාන්තාවන් අවුරුදු 35 ට වැඩිවීම
  • බර වැඩිවීම හා අඩුවීම
  • මත්ද්‍රව්‍ය (මර්ජුවානා), දුම්කොළ භාවිතය
  • අධික ලෙස මත්පැන් පානය
  • අධික ලෙස ශාරීරික හා මානසික ආතතිය
  • විකිරණවලට නිරාවරණය
  • සමහර ඖෂධ
  • පාරිසරික විෂවලට නිරාවරණය. උදා: ලෙඩ්, කෘමිනාශක

මදසරුභාවය හා සම්බන්ධ තත්ත්වය හඳුනා ගැනීම

මේ සඳහා සුදුසුකම්ලත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍යය.

  • කාන්තාවගේ ලිංගික ඉතිහාසය
  • ශාරීරික පරීක්‍ෂණ
  •  ශ්‍රෝණි පරීක්‍ෂණ     

සිදුකරන පරීක්ෂණ

  • TVS Scan ලිංගික ප‍්‍රජනක පද්ධතිය ස්කෑනින් පරීක්‍ෂාව
  • රුධිර පරීක්‍ෂණ – හොමෝන මට්ටම පරීක්‍ෂාව (ඩිම්බ මෝචනයට අදාලව)
  • Hysterosalpingography (HSG)පැලෝපීය නාල හා ගර්භාෂයේ තත්ත්ව පරීක්‍ෂාව
  • Ovarian reserve test – මෙමගින් ඩිම්බවල ප‍්‍රමාණය හා ගුණාත්මකභාවය පරීක්‍ෂා කරයි.

මදසරුභාවය සඳහා ප‍්‍රතිකාර

ස්ත‍්‍රීන්ගේ සරුභාවය ඇති කිරීම සඳහා විවිධ වූ ප‍්‍රතිකාර ඇත. ඉන් එකක් හෝ නැතිනම් කිහිපයක් සම්බන්ධකර ප‍්‍රතිකාර ලබාදේ. 

  • සරුභාවය ඇති කිරීමේ ඖෂධ ප‍්‍රතිකාර
  • ගර්භාෂ ගත ගැටලුවලට ශල්‍ය ප‍්‍රතිකාර
  • IUI මගින් ශුකාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීම
  • Assisted Reproductive Technique (ARI) – ශුකාණු හෝ ඩිම්බවල සරුභාවය ඇති කිරීම සඳහා ලබාදෙන ප‍්‍රතිකාර හා පිළිවෙත
  • IVF – වඩා සුලභ ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ශුකාණු හා ඩිම්බ පිටතදී සංසේචනය කර කළලය ගර්භාෂය තුල තැන්පත් කරයි. 

විවාහ වී වසරක් යනතුරු පවුල් සැලසුම් ක‍්‍රමයන් අනුගමනය නොකර ගර්භණීභාවයට පත් නොවීම ප‍්‍රාථමික මදසරුභාවය ලෙස හැඳින්විය හැකි අතරම අඩුතරමින් එක් දරුවෙකු සිටී නම් ඉන්පසුව දරුවන් නොමැති වීම එසේත් නැතිනම් ප‍්‍රමාදවීම ද්වීතියික මදසරුභාවය ලෙස හඳුන්වයි. කෙසේ වුවද මෙවැනි තත්ත්වයන් සඟවා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර වෙත ‍යොමු නොවීම දරුවෙකු පිළිබඳ ඔබේ සිහිනය තව තවත් දුරට රැගෙන යන අතරම නිසි කාලය තුළ සුදුදුකම් සපිරි පළපුරුදු වෛද්‍යවරයෙකු හමු වීම වඩා වැදගත් බව සිහි තබාගන්න. 

 

කුරුණෑගල, පළාත් මහ රෝහලේ නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය)  ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here