- Advertisement -

දරුවා නෙළුම් මලක්..එහි හැම පෙත්තක්ම විවෘත විය යුතුයි.

-

රවින්ද්‍රනාත් තාගෝර් දරුවන් ගැන අපුරු සටහනක් තබා තිබෙනවා. එනම්…දරුවා නෙළුම් මලක්..එහි හැම පෙත්තක්ම විවෘත විය යුතුයි. සැබැවින්ම මලක් සේ සුන්දර දරුවෙකුගේ සුන්දරත්වය තව තවත් ඔප් නැංවීමට මලේ සුවඳ ලෝකයට වහනය විය යුතුය. ඒත් මේ සුන්දර නෙළුම්මලේ පෙති විහිදවීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්ය දෙමව්පියන්ගෙන් ලබා දීමේ වගකීම සැබැවින්ම ඔවුන් දරණවාද..?එසේ නම් දරුවෙකු සුවඳ දෙමින් පිපෙන්නට රුකුල් දෙන ගුණදහම් මොනවාද…?

පරාර්ථකාමී වීම.

- Advertisement -

දරුවෙකුගේ පරාර්ථකාමි බව ඔවුන්ගේ ගුණ සුවඳ අලංකාර කරන යහ ගුණයකි. අද දරුවාගේ පරාර්ථකාමී ගති ගුණ මෝදු කලොත් ඔවුන් හෙට දිනයේ බෙහෙවින් සංවේදී චරිත ලෙසින් සමාජගත වෙනු ඇත.දෙමව්පියන් විදිහට ඔබ පරාර්ථකාමී ගති ගුණ දරුවාට ආරෝපනය  කිරීම මෙතැනදී ඉතා වැදගත්..

  • ඔයාගේ පොත කාටවත් දෙන්න එපා…
  • අනිත් අයට කියලා දෙනවා එහෙම නොවෙයි.
  • එතකොට ඔයාට තමයි ලකුණු අඩු වෙන්නේ..

මෙවැනි සංකල්පවලින් දරුවන්ගේ හිත පුරවන දෙමව්පියන්ද අද නැතුවා නොවේ. ඒ වෙනුවට 

  • ඔයාගේ පොත් අනිත් අයටත් දෙන්න..බෙදා හදා ගන්න..ඕවා දුන්නාම අකුරු අඩු වෙන්නේ නැහැ…

යන සංකල්පය දරුවාට දායාදා කරනවා නම් මොනතරම් අගෙයිද..?

රසඥතාවය..

සාහිත්‍යයෙන් වැඩැක් නෑ ගණිතය, විද්‍යාව ,ඉංග්‍රිසි තමයි වැදගත්.කවි, සින්දු අහල කාටද හරි ගියේ..මේ විදිහට දරුවාගේ සාහිත රසය හෙවත් වින්දනාත්මක රස වින්දනය උපන්ගෙයිම නැති කරන්න එපා. හිත නිවුන සංවේදී  සොදුරු මිනිසෙකු ලෙසින් හෙට දවසේ දරුවා  සමාජයේ පුරුකක් පවට පත් වීමට අද දවසේ ඔබ විසින් දරුවන්ට රසඥතාවය පුරුදු කළ යුතුය.එවිට හෙට දවසට පිවිසෙන්නේ  සැබෑම සුන්දර මිනිසෙක් බැව් අමතක කරන්න එපා.

ගරු කරන්න..

ඔබ ගරුත්වය ලබන්නට නම් ඔබ සෙසු අයට ගරු කළ යුතුය.එය නියතයක්. ඒ නිසා දරුවාටත් සමාජයේ ජීවත්වෙන විට අනිත් අයට ගරු කිරීමේ වැදගත්කම කියා දෙන්න.සෑම පුද්ගලයෙක්ම වටිනා බැව් කියා දෙන්න.ඔවුන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය කියා දෙන්න. බොහෝ දෙමව්පියන් දරුවන්ට ගරු කිරීම වෙනුවෙන් යම් යම් සීමාවන් පෙන්වා දෙනු ඇත.

  • රුවන්ගේ අත්තම්මා ඉස්සර අපේ අත්තම්මාගේ ගෙදර වැඩ කලා..

මේ පරම්පරා තුනකටත් පෙර සිදු වීමකි. එය මුල් කර ගෙන අද දවසේ රුවන්ගේ මව්පියන් සහ එම පවුල් මුල් කර ගෙන ඔබ මවන අවතක්සේරුව දරුවෙකුගේ සිතට එතරම් සුබදායක නොවේ.ඔබ විසින් පෙන්වන මග ඔස්සේ යන දරුවාද පුද්ගලයන් දෙස පාට පාට කණ්නාඩිවලින් බැලීම එතරම් සුබවාදී නැත එයින් දරුවා වැඩිහිටිය්ට ගරු කිරීම ගැන පාඩම ඔබෙන් ඉගෙන ගන්නේ නැත.

මානසිකව සමබර වීම

දරුවෙකුගේ කායික රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම එතරම් අපහසු නැත.ඔවුන් සියලු හාරිරික රෝග ගැන දෙමව්පියන්ට පැමිණිලි කරනු ඇත.එහෙත් මානසික රෝග ගැන එවැනි විවෘත කතා බහ සිදු වෙන්නේම නැත.  විටෙක තමා පීඩා විදින්නේ මානසික ගැටුමකින් බැව් දරුවා පවා නොදන්නවා විය හැක.

දරුවෙකුගේ මානසික සමබරතාවය පවත්වා ගැනීම ඉතාම වැදගත්.මානසික සමබරතාවය නොමැති නිසා අද දරුවන් පත්වෙන අවාසනාවන්ත ඉරණම් ගැන ඔබ ටත් නිතරම ඇසෙනවා ඇති.මේ වෙනස ගැන සිතන්න..

සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් අටකට ඒ සාමාර්ථ ලබා ගත්තද, අහිමි වුන එක් ඒ සාමාර්ථයන් නිසා දරුවෙක් සියදිවි හානි කර ගනිද්දී…තවත් දරුවෙක් විෂයන් පහක් එකදු සම්මානයක් හෝ නොමැති ප්‍රතිඵලයක් ලබා ගෙන මම තවත් වතාවක් විභාගයට පෙනී සිටිනවා යන ශක්තිමත් තිරණය ගැනීමට සූදානම්ව සිටින්නේ ඇයි..

උසස් ප්‍රතිඵලයක් නොලද නමුත් මේ දරුවා මානසිකව සමබරතාවයෙන් යුක්තව සිටින නිසා ජීවිතයේ අභියෝග ඉදිරියේ ඔහු ශක්තිමත්ය.ඒ නිසා දරුවන්ගේ මානසික සමබරතාවය ගැන දෙමව්පියන්ගේ අවදානය දැක්වීම ඉතාම වැදගත් වේ. අධ්‍යාපන තරඟය නිසා අද බොහෝ දරුවන් මානසිකව බිද වැටෙන තත්වයට පත් වුනත් එවැනි අවාසනාවන්ත තත්වයකට ඔබේ දරුවා පත් නොවන්නටත් වග බලා ගැනීම ඉතාම වැදගත්.

චිත්තවේග පාලනය..

දරුවන්ගේ චිත්තවේගත් අප හිතන තරම් පහසු නැත විටෙක ආවේගශීලිය. තවත් විටෙක ප්‍රචණ්ඩය.තවත් තැනකදී බෙහෙවින් දොම්නසට පත්ව සිටින ස්වභාවයකි. මෙවැනි චිත්තවේග හොදින්ම හදුනන්නේ දෙමව්පියන්ය.ඒ නිසා මෙවැනි චිත්තවේග ඉදිරියේ ඒවා පාලනය කර ගෙන ජීවිතයට මුහුණ දෙන පාඩම දරුවා උගත යුත්තේ දෙමව්පියන්ගෙන්ය. යම් ලෙසකින් ඔබට දරුවා වෙනුවෙන් මේ පාඩම අද කියා දෙන්නට නොහැකි වුනොත් හෙට දවසේ ඔවුන් චිත්තවේගපාලනය කර ගත නොහැකි ව ජීවිතයේ විවිධ දුෂ්කරතාවයන්ට පත් වෙනු ඇත.

නිර්මානශීලිත්වයට අවස්ථාව දෙන්න..

දරුවන්ගේ නිර්මානශීලිත්වය ඔබ සෙමෙන් හදුනා ගත යුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ නිදා සිටින යෝධයෙකි. මේ යෝධයා සෙමෙන් අවදි කර ගත යුතුය. අවදි වෙන්නට  නොදී සිටියොත් එම හැකියාවන් නිදිගතවම සිටිනු ඇත.අවදි වෙන හැකියාවන් ඔබ ඇගයීමක් නොකළ විට නොදැනීම අහෝසි වෙනු ඇත.දරුවාගේ නිර්මානහීලිත්වය යනු ඔබ විසින් අපේක්ෂා කරන ආකෘතිය නොවේ. ඒ නිසා දරුවාගේ නිර්මානහීලිත්වය අවදි කර ගැනීමට ඔවුන්ට අවසර දෙන්න.ඔබට ඇත්තේ දරුවාට ධෛර්ය ලබා දීම පමණි.

පරිකල්පය

ජීවිතය දෙස සුන්දරව බැලීමට නම් පරිකල්පන හැකියාවෙන් දරුවා පොහොසත් විය යුතුය.ඒ නිසා බාල කාලයේ පටන්ම දරුවාට අලුත් විදිහට සිතන්න ඉඩ දෙන්න. ඉර,හද,වලාකුලු..ගංගා ඇල දොළ ගලන රිද්මය..මලක සුවද මෙලෙක .සතා සිවුපාවාගේ හැසිරීම ගැන කියා දෙන්න. ඒ ගැන ඔවුන් සමග කතා කරන්න.දරුවාගේ අදහස් ඔබබ සමග හුවමාරු කරන්න.දරුවා සමග විවෘත සංවාදයක් ගොඩ නගන්න.සිංහල සාහිත්‍ය පෝෂණය කළ යුගයේ මහා ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විටෙක සදහන් කළේ..

මගේ ප්‍රබන්ධ සාහිත්‍ය පෝෂණයට හේතු වූයේ කොග්ගල ගමේ සුන්දර පරිසරය බවයි.පුද්ගලයෙකුගේ පරිකල්පය දියුනු වීමට පරිසරයෙන් ලැබෙන දායකත්වය ගැන කථා කිරීමට තවත් වචන අවශ්‍ය නැත. වික්‍රමසිංහ ශූරින්ගේ මේ ප්‍රකාශය හොදින්ම සෑහේ..

එසේනම්..ඔබ අත ඇති නෙළුම් පොහොට්ටුවේ සෑම පෙත්තක්ම හෙට විකසිත විය යුතුය.එය විකසිත විය යුත්තේ ලෝකයට සුවඳ විහිදුවමින්ය. දරුවන් මල් මෙන් සුවදය යන්න වචනයට පමණක් සීමා විය යුතු නැත.එය දරුවන්ගේ ක්‍රියාවෙන්ම සත්‍යක් විය යුතුය. 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article