අත්තම්මලා දරුවන්ගේ පැත්ත ගන්නේ ඇයි…?

අපේ දෙමව්පියෝ අපි පුංචි කාලයේදී අපට සැර වැර කළත් දැන් අපේ දරුවන්ට සැර වැර කරද්දී ඔවුන් ඒ ගැන වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇයි ඔය නොදරුවන්ට කෑ ගහන්නේ…ඔයාලත් පුංචි කාලයේ ඔහොම තමයි කිව්වත් එදා නම් අපේ වැරදි ඔවුන් ඉවසුවේ නැහැ.ඉතින් එහෙම පරම්පරාව අද මුණුපුරු  පරම්පරාව ගැන බොහොම සංවේදීව කතා කරනවා. මේ වගේ වෙලාවට දෙමව්පියන්ගේ හිත රිදෙන විදිහට කතා කරන දරුවනුත් ඉන්නවා. 

  • ඔව්..ඔව් අපිට තෙල් ගාලා හැදුවේ.. එහෙම කියන්න කට ඉස්සර වුනත් වැඩිහිටි දෙමව්පියන්ට ඒ විදිහට ප්‍රකාශ කිරීම කොහෙත්ම සුදුසු නැහැ.

අපේ වැඩිහිටි දෙමව්පියන් මුනුපුරන්ගේ වැරදි ඉදිරියේ මේ විදිහට සංවේදී වෙන්නේ ඇයි…?

දැන් ඔවුන් අවස්ථාව හඳුනනවා…

ඔව්..දැන් කාලයේ දෙමව්පියන් බොහොම කාර්ය බහුලයි. ඒ නිසා දරුවන්ගේ පුංචි වරදක් පවා  දුටු තැනදී වහා කිපෙනවා.නමුත් පරිණත දෙමව්පියන් දැන් අවස්ථාව හොදට අඳුනනවා. උදාහරණයක් විදිහට මෙහෙම කියමු.

ඔබ ආදරයෙන් ආරක්ෂා කළ මල් පෝච්චියක් හය හතර නොතේරෙන පොඩ්ඩා අතින් බිඳුනොත්…සැබැවින්ම ඔබ ආවේශ වෙනවා. නමුත් මෙවැනි අවස්ථාවකදී වැඩිහිටි දෙමව්පියන් මේ විදිහට ඔබට උපදෙස් දේවි..

දැන් ඔය නොදරුවාට තලන්න එපා. ඔය කැඩුන දේ ආයේ හදන්න බැහැ. පොඩි එකා දැනගෙන කළ වැරැද්දකුත් නොවෙයි.. පරිස්සමින් වැඩ කරන හැටි කියලා දෙන්න…මේ විදිහට අවස්ථාව බොහොම හොදින් වටහා ගැනීමේ හැකියාව වැඩිහිටියන්ට තිබෙන නිසා ඔවුන්ගේ කියමන් බොහොම සාධාරණයි නේද…?

අවබෝධය..

සාමාන්‍යයෙන්  ඔබේ  වැඩිහිටියන් නිතරම මේ විදිහට කියනවා අසා ඇති. අපේ කෙස් පැහුනේ  ගියේ නියඟට නොවෙයි..ඇත්ත . කාලය සමග වයස ගෙවී යද්දී ඒ තුලින් ජීවිතයට ගැන අවබෝධයක් ලබා ගන්නවා. එය ඉතා වටිනා දෙයක්. මේ අවබෝධය නිසාම නිවරැද්ද සහ වැරැද්ද අතර වෙනස හොඳාකාර තේරුම් ගන්න වැඩිහිටියන් දන්නවා. ඒ නිසාම සමහර විට මේ වැඩිහිටියන් විසින්ම මේ වගේ කිව්වොත්…?

  • පොඩි දුවගේ හැසිරීම නම් මට ඒ තරම් හිතට ඇල්ලුවේ නැහැ…දැන් ඉස්සර වගේ නොවෙයි…

මේ අන්දමින් දරුවන්ගේ හැසිරීම ගැනත් යම් යම් ඉගි ඔවුන්ගෙන් ලැබෙන්න පුලුවනි. ජීවිතය ගැන ලබා ගත් අවබෝධයෙන් කියන මෙවැනි තොරතුරු ගැන නොසලකා ඉන්නත් එපා. ඒ තොරතුරු තුලින් ඔබට නොමග යන දරුවා ගේ ජීවිතය සුමගට යොමු කරන්න පුලුවනි.

පෞරුෂය

පුද්ගලයාගේ පෞරෂය යනු උසට සරිලන මහත නොවේ.පුද්ගලයෙකු ජීවිතයේ විවිධ හැලහැප්පීම් ඉදිරියේ ගනුදෙනු කරන ආකරයෙන් ඔවුන්ගේ පෞරෂය ගැන තේරුම් ගත හැකියි. වැඩිහිටි දෙමව්පියන් තුළ විවිධ පෞරෂ ගති ලක්ෂණ තිබෙනවා. ඉවසීම, එඩිතරබව, ගැටලු ඉදිරියේ උපකේෂා සහගත බව ඔවුන් ජීවිතයේ ලබා ගත් පෞරෂ ලක්ෂෂයි. ඒ නිසා ඔබේ දරුවන් සමග කටයුතු කරද්දී වැඩිහිටියන්ගේ පෞරෂයෙන් ඔබට ප්‍රයෝජන ගන්න පුලුවනි.

  • කලබල වෙන්න එපා.. අපි බලමු ඔය කියන තරම් දෙයක් මෙතැන වෙලා තියෙනවාද..? නිකං බොරුවට දරුවාට තලන්න එපා. මුලින්ම හොයලා බලන්න..

ඔබේ ආවේග ඉදිරියේ වැඩිහිටියන් විසින් ලබා දෙන උපදෙස් බොහෝ විට දරුවන් සම්බන්ධ ගැටලු විසදීමේදී ප්‍රයෝජනවත් වෙන්න පුලුවනි.

අත්දැකීම්

අපි හැම කෙනෙක්ම අත්දැකීම් ලබා ගන්නේ ජීවිතයෙන්. ජීවිතය තරම් අත්දැකීම් ලබා ගැනීමට තෝතැන්නක් තවත් නැහැ.රැකියාවකදී වුනත් අපේ ජීවිතයේ රැකියාව වෙනුවෙන් ගෙවෙන කාලය අනුව අපට ලැබෙන අත්දැකීම් සමග අපි ශක්තිමත් වෙනවා. ඒ නිසා ගැටළුවක් එලැමුන විට එය විසදා ගැනීමට අපි ලබා ගත් අත්දැකීම් බොහෝ සේ ප්‍රයෝජනවත් වේවි.

පොඩි පැටියෙකුට ලෙඩක් හැදුනත් අත්තම්මලාට ඒ ගැන අත්දැකීම් තියෙනවා..

  • ඉඟුරු කෑල්ලක් මිරිකලා ඉස්ම ටිකක් දෙන්න..ඔය අමාරුවට හොඳයි…එහෙම නැත්නම් දරුවාගේ ඇඳුම් ඉර බහින්න කලින් ගෙට ගන්න.. රෙදි හෝදන කොට පොඩි කරන්න එපා..දරුවා ඇඹරෙන්නේ ඒකයි..

මනස්ගාත යැයි කියමින් ඒවා ප්‍රතික්ෂෙප කරන්න එපා.අත්දැකීම් ඔවුන් සොයා ගත්තේ ජීවිතයෙන්. අද විද්‍යුත් මාධ්‍ය ඉදිරියේ ඔබ අන්තර්ජාලය පීරමින් සොයන තොරතුරු වැඩිහිටියන් අත්දැකීමෙන්ම උපයා ගෙන තිබෙන්න පුලුවනි.

වයස

ඔබ ගැන හිතන්න…වයස අවුරුදු විස්සකදී ඔබ දැන සිටියාට වඩා බොහෝ දේ දැන් ඔබ දන්නවා ඇති. විටෙක ඇඳුමක් නිසි පරිදි ඇඳගන්නවත් නොහැකිව සිටි ඔබ දැන් මෝස්තර පවා නිර්මානය කරන්න හැකියාව ඇති අයෙක්. ඒ නිසා යම් පුද්ගලයෙකු ඇඳගෙන සිටින ඇදුම ඔබට දැන් මනසින් නිර්මානය කරන්න පුලුවන් තරම් ඔබ දියුණුයි.

වැඩිහිටියන්ද එහෙමයි.දරුවෙකු හඬන විට දැන් කිරි වෙලාව…කිරි ටිකක් දෙන්න..ඇත්තටම දරුවාගේ හැඬීම නවතී. සැබැවන්ම දරුවා හඬා ඇත්තේ බඩගින්නටයි.

බලන්න තෙමාගෙන ඇති…අත්තම්මා දුටු දේ ඇත්තය. පැටියාගේ සිරුර මුත්‍රාවලින් තෙතබරිතව ඇත. මෙවැනි කරුණු කාරනාවන් අතැඹුලක් සේ දකින්නට ඔවුන්ගේ වයස සමග ජීවිතයේ ලැබූ දැණුම ඉතාම වැදගත්. ඒවා ළමාරක්ෂණය පිළිබදව විශ්වකෝෂයකිවත් උපයා ගැනීමට නොහැකි තරම් ප්‍රබලය.

එහෙමනම් අපි වැඩිහිටි දෙමව්පියන්ට සවන් දිය යුකුද..?

බොහෝ දෙමව්පියන්ගේ චෝදනාවක් තිබෙනවා. අම්මා තාත්තා නිසා අපේ දරුවන් අපට ඕනෑ විදිහට හදා ගන්න නැහැ. මෙතැනදී දරුවන් හැදිම තුළ ආධිපත්‍යක් අවශ්‍ය නැත ඔබේ පවුල තුළ අත්තම්මා,සීයාද ජීවත්වෙනවා නම් මුනුපුරන්ගේ ජීවිතයේ ආලෝකය ඔවුන්ටත් අයිතිය. ඔවුන්ද එහි කොටස්කරුවන්ය.ඒ නිසා අම්මා,තාත්තා වගේම අත්තම්මා සහ සීයාටත් දරුවන් නිසි මග යවා ඇකි දැඩි කිරීමේ යම්  දායකත්වයක් ලබා දීමට අවසර දිය යුතුය.

මේ අම්මලාගේ කාලයෙ නොවෙයි…

ඔබේ වැඩිහිටි දෙමව්පියන් යස් අදහසක් ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ අතීත අත්දැකීම් පාදක කර ගෙනයි.

අම්මලාගේ කාලයේ වගේ නොවෙයි..දැන් වෙනස්. ඒ විදිහට දැන් ළමයි හදන්න බැහැ.මේ අන්දමින් සෘජු නිශේධනයන් ලබා දිම එතරම් සුදුසු නැහැ.සැබවින්ම අත්තම්මා හෝ සීයා කියන දෙය අදට නොගැලපෙන්නට ඉඩ ඇති. ඒත් ඒ බව ඔවුන්ගේ හිත රිදෙන්න අන්දමින් හෝ මානසිකව මේ දෙමව්පියන් කඩා වැටෙන සේ ප්‍රකාශ කරන්න එපා.ඒ නිසා වැඩිහිටි දෙමව්පියන්ගේ අත්දැකීම් සම්බාරයෙන් මනාව ප්‍රයෝජන ගනිමින් ඔබේ දරුවා රටට ලෝකයට වැඩදායක දරුවෙකු ලෙසින් තිලින කිරීමේ පසුබිම ඔබේ නිවසේම තිබෙනවා. එහෙමනම් වැඩිහිටි දෙමව්පියන්ගේ අදහස්  වෙතින් ප්‍රයෝජන ගනිමින් ඔවුන් සමග සහජීවනයෙන් කටයුතු කරන්න.

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here