- Advertisement -

පවුලක් තුළ ඵලදායී අන්දමින් අදහස් සන්නිවේදනය වැදගත් ඇයි..?

-

පවුලක් කියන්නේ අපේ සමාජයේ පුංචිම සමාජ ඒකකයක්.එක වහලක් යට ජීවත්වෙමින් එකම ආහාර අනුභව කරමින් ජීවිතයේ බැඳීම් සමග ගෙවන පවුලක් තුළ අදහස් සන්නිවේදනය ඉතාම වැදගත්. අද අපි හැමදෙනාගේම ජීවන රටාව කාර්ය බහුල බව ඇත්ත. දැන් එය විලාසිතාවක් තරමටම පොදු තත්වයකට ඇවිත්. හැම දෙනාම කියන්නේ ” අනේ වැඩ..වැඩ…හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ..” ඒ වුනත් පවුලක් තුළ ඵලදායී විදිහට අදහස් සන්නිවේදන වීම නම් ඉතාම වැදගත්.එහෙමනම් අපි පවුලක් තුළ ඵලදායී සන්නිවේදනයක් ගොඩ නගා ගන්නේ කොහොමද…?

ඵලදායී සන්නිවේදනය  කියන්නේ තොරතෝංචියක් නැති කතා බහ නොවේ..

- Advertisement -

ඵලදායී සන්නිවේදනයකදී පවුල තුළ ඉතා හොදින් අදහස් ගලා යෑමක් සිදු වීම වැදගත්. අපි මෙහෙම කියමු…දරුවන් කතා කරද්දී ඒ වෙනුවෙන් සාවධාන ඇහුම්කන් දෙන්නෙක් නොමැති නම්..ඒ වගේම දෙමව්පියන් කතා කරද්දී දරුවන් ජංගම දුරකථනය සමග ගනුදෙණු කරමින් ඕනෑවට එපාවට ඒවාට ”හ්ම්” කියනවා නම් එතැන ඵලදායී සන්නිවේදනක් ගොඩ නැගෙන්නේ නැහැ.එහෙමනම් මේ පුංචිම තැනුම් ඒකකය අතර අදහස් බෙදා ගැනීම සිදු විය යුත්තේ කොහොමද..?

අදහස්වලට සවන් දෙන්න…

ඔබට තවත් අයෙකුට ඇහුම්කන් දීමට විශේෂ වේලාවක් අවශ්‍ය නැහැ.උයන පිහන අතරවාරයේ වුනත් දරුවාට ඇහුම්කන් දෙන්න,ඒ වගේම වෙනත් වැඩක නිරත වෙමින් වුව දෙමව්පියන්ට ඇහුම් කන් දෙන්න අපහසුවක් නැහැ.ඒ නිසා නිතරම දරුවා යමක් කියනවා නම් ඒ වෙනුවෙන් අවධානයෙන් ඇහුම්කන් දෙන්න. ඔවුන් කියන නිසාවෙන්ම ඒ උදාසීනව ඇහුම්කන් දෙන බවක් ඇගවීමෙන් ප්‍රයෝජනයක් නැහැ.

සුහදවෙන්න

ඵලදායී සන්නිවේදනයක් සඳහා සුහදතාවය ඉතා වැදගත්.ඔබ ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට දරුවා බියක් දක්වනවා නම් සැබැවින්ම එවැනි දෙමව්පියන් සහ දරුවන් අතර සුහදතාවයක් නැහැ.එතැන ඇත්තේ ඒකපාර්ශවීය හෙවත් දෙමව්පියන්ගේ අණසක පමණක් සන්නිවේදනය වෙන පවුල් පසුබිමක්. නමුත් නිතරම හොදින් අදහස් සන්නිවේදනය වීමට නම් සුහදතාවය ඉතාම වැදගත්.

අදහස් පැහැදිලිව කියන්න..

ඵලදායී සන්නිවේදනයකදී අදහස් පැහැදිලිව ඉදිරිපත් කිරීම ඉතාම වැදගත්. ඔබ යමක් එපා කියනවා නම් එය එපා කියන්නට හේතු කියා දෙන්න. ගින්දරට අත දාන්න එපා කිව්වාට දරුවාට වැටහීමක් නොමැති නිසා ඔහු ගින්දරට අත දාන්න බියක් දක්වන්නේ නැහැ. ඒ නිසා ඵලදායී ලෙසින් අදහස් සන්නිවේදනය වීමට නම් යම් දෙයක් එපා කියන්නට පසුබිම් වෙන හේතුඵල සාධකයත් කියා දීම ඉතාම වැදගත්.

අදහස් හසුරුවා ගන්න..

ඵලදායී සන්නිවේදනය නිතරම සුබවාදීත් නැහැ. සන්නිවේදනයෙන් යම් විසංවාදී අදහස් වුනත් දෙපාත්තට ගමන් කිරීමට පුලුවනි. දරුවෙකුට අවවාද කිරීමේදී ඔබේ ආවේගත් සමග එය සන්නිවේදනය  විය හැකි නිසා නිතරම ඔබේ අදහස් හසුරුවා ගන්න.

  • පුංචි වුනත් පවුලක් තුළ ඵලදායී අන්දමින් අදහස් සන්නිවේදනය වීමෙන් ලැබෙන වාසි බොහොමයක් තිබෙනවා…

අන්තර් පුද්ගල සම්බන්ධතාවය

අන්තර් පුද්ගල සම්බන්ධතාවය ගොඩ නැගෙන්නට නම් සන්නිවේදනය ඉතා වැදගත්.අතීතයේදී ගමක වුනත් ලිද ළග ඕපාදූප මණ්ඩපය නිසා අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් ගොඩ නැගුනා. ඕපාදූප තෝරා බේරා ගෙන කටයුතු කිරීමෙන් අන්තර් පුද්ගල සම්බන්ධතාවය ශක්තිමත්ව පවත්වා ගත හැකියි.පවුලක වුනත් අන්තර් පුද්ගල සන්නිවේදන යහපත් නම් අනිවාර්යෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතාවයත් ශක්තිමත්. 

සහකම්පනය..

ඔබේ පවුලේ ඉතා හොදින් අදහස් සන්නිවේදනය වෙනවා නම් එතැන හොඳ සහකම්පනයක් ගොඩ නැගෙනවා.ඒ නිසා විශේෂයෙන් නව යොවුන් දරුවන්ගේ ගැටළුවලදී දෙමව්පියන් විසින් දක්වන සහකම්පනය හෙවත් දරුවාගේ ගැටළුවට දෙමව්පියන්ගේ ක්‍රියාකාරි සවන්දීම නිසා ඇති වෙන සහකම්පනය පවුලේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඉතාම වැදගත්.

හිතේ සැහැල්ලුව

ඵලදායී අන්දමින් අදහස් සන්නිවේදනය වීම නිසා දරුවන්ගේ හිත් සැහැල්ලුවක් ඇති වෙනවා. මගේ ප්‍රශ්න, ගැටලු වෙනුවෙන් කතා කරන්න, මගේ හිත නිදහස් කර ගන්න මගේ ශක්තියට දෙමව්පියන් හෝ සහෝදරයන් සිටින බවට ඇති ශක්තිය නිසා හිතේ සැහැල්ලු සිතක් ඇති වෙනවා.

චිත්තවේග නිදහස් වීම

අද තරුණ දරුවන් අතර සියදිවි නසා ගැනීම පරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.ඔවුන්ගේ මරණයේ පශ්චාත් පරීක්ෂනයේදී සාක්ෂි දෙන පවුලේ උදවිය කියන්නේ ” අපි දන්නා තරමටම නම් මෙයාට සිය දිවි නසාගන්න තරම් හේතුවක් තිබුනේ නැහැ…..නමුත් ඒ ඔබ දකින ආකාරයයි.

ඕනෑම අයෙකුට චිත්තවේග පාලනය කර ගැනීමට නොහැකි තැන ඔවුන් සියදිවි නසා ගැනීමට උත්සාහ කළත් එවැනි අවස්ථාවකදී වුව චිත්තවේග මුදාහරින්නට අවස්ථාවක් වෙතොත් ඔවුන්ගේ තීරණය වෙනස් වෙන්න පුලුවනි. මේ දරුණු මානසික තත්වය පවා යම් වේලාවකින් පසුව වෙනස් විය හැකියි. ඒ නිසා පවුලක් තුළ යහපත් අන්දමින් සන්නිවේදනයක් සිදු වෙනවා නම් සියදිවි නසා ගැනීමේ සිතුවිලි පවා පාලනය කර ගනීමට හැකියාව තිබෙනවා.

ආතතිය අවම වීම

පවුලක් ලෙසින් ඔබේ නිවසේ අන්තර් පුද්ගල සම්බන්ධතාවය යහපත් අන්දමින් පවත්වා ගෙන යන්නේ නම් ගැටලු,හිතේ දරාගෙන විදවීමට අවශ්‍ය නැහැ. ඒවා පොදු සංවාදයක් මගින් තේරුම් බේරුම් නර ගැනීමට අවස්ථාව ලැබෙනවා. බොහෝ ප්‍රහ්න විටෙක ප්‍රශ්නත් නොවෙයි. ඒත් තනි හිතකින් දරන විට ඒවා ගැටලු ලෙසින් පෙනුනත් පොදු කතිකාවතකදී සරලව විසදා ගත හැකියි. ඒ නිසා කෝටිසෝල් හෝර්මෝන නිදහස් නොවී ආතතිය දුරස් කර ගැනීමටත් යහපත් ලෙසින් අදහස් සන්නිවේදනය ඉතාම වැදගත්.

කතා කරන්න වේලාවක් කෝ..

ඔය සේරම ඇත්ත. ඒත් අපට කතා කර කර ඉන්න කෝ වෙලාවක්..? ඔබ නගන අතුරු ප්‍රශ්නය එයයි.දරුවන් පාසල් යන දෙමව්පියන් රැකියාවන්හි නිතර පවුලක් නම් උදේ සහ දිවා ආහාරය එක්ව එකට ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් රාත්‍රියට ඔබ සියලු දෙනාම නිවසේ සිටින නිසා එක මේසයක ආහාර ගැනීමට අවස්ථාව තිබෙනවා. ආහාර ගන්නා වේලාව රූපවාහිනියට, ජංගම දුරකථනයට සම්බන්ධ නොවී ඒ වෙනුවෙන් වේලාව සකස් කර ගන්න.ඔබ නරඹන නාට්‍ය ඇත්නම් ඒවාට පෙර හෝ පසුව ආහාර ගැනීමට කාලසටහන සූදානම් කරන්න.සති අන්තය, වෙනත් නිවාඩු දිනයන්හිදී ඔබට එක්ව ආහාර ගැනීමට අවස්ථාව තිබෙනවා.දරුවන් සමග පාසලට යන අතරවාරයේ වුනත් සුහදව කතා කිරීමට අපහසුවක් නැහැ.ඒ නිසා වෙලාව කිසිම දිනක පවුලක් තුළ යහපත් ලෙසින් අදහස් සන්නිවේදනයට ගැටළුවක් කර ගත යුතු නැහැ.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article