- Advertisement -

ගැබිනි සම‍යේ උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාවට භෞත චිකිත්සාවෙන් පිළියම්

-

ගැබිනි සම‍ය කියන්නේ බහුතරයක් කාන්තාවන්ට අපහසුතා රැසක් සමග ගෙවන්නට සිදුවන එහෙත් බලාපොරොත්තු පිරුණු සමයක්. කුස තුළ වැඩෙන දරුවා රැක ගැනීමට ගැබිනි මව කල්පනාකාරී වනවා සේම ඒ දරුවා තම දෑසින් දැකගැනීමටත් ඇය පෙරුම් පුරන බව නොරහසක්. ගැබිනි සම‍යේ කාන්තාවක් අත්විඳින අපහසුතා අතරින් අපි අද කතා කරන්නට යන්නේ ඇයට ඇවිදීමට අපහසුතා ඇති කරන උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාකාරී තත්ත්වය පිළිබඳවයි. මෙය වෛද්‍ය විද්‍යාවේදී Pregnancy related pelvic gridle pain නැතහොත් Symphysis pubis dysfunction (SPD)  ලෙස හඳුන්වනවා.

මෙම තත්ත්වය කුස තුළ සිටින දරුවාට හානියක් නැති වුවත් එය ගැබිනි මවට ඉතා වේදනාකාරී අත්දැකීමක්. දරු ප‍්‍රසූතිය දක්වාම ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි විය හැකි මේ උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාකාරී තත්ත්වය හේතුවෙන් ගැබිනි මවකට ඇතැම් විට සාමාන්‍ය දරු ප‍්‍රසූතියකට (vaginal delivery) යාමට පවා  අපහසු විය හැකිය. දරු ප‍්‍රසූතියෙන් පසු මෙම තත්ත්වය ක‍්‍රමයෙන් මගහැරුනද ඇතැම් කාන්තාවන්ට වේදනාව සහ අපහසුව දීර්ඝකාලීනව පැවතිය හැකි අතරම එමගින් දරුවාට මව්කිරි දීම ඇතුළු සියලු කාර්යන් ඇය සිදුකරන්නේ මානසික පීඩනයකට යටත්වයි. එසේ මව මානසික පීඩනයට පත්ව සිටීම මවගේත් දරුවාගේත් බැඳීමට බාධවක් වනු නිසැකය. එමනිසා මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් සමගම භෞතචිකිත්සක ප‍්‍රතිකාර වෙත යොමු වීමද ඉතා වැදගත් වේ. 

- Advertisement -

උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාකාරී තත්ත්වය සඳහා භෞත චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම

මෙහිදී මූලිකවම භෞත චිකිත්සක රෝග විනිශ්චය සඳහා රෝගී තක්සේරුවක් (Patient assessment) සිදුකරනවා. ඒ තුළින් නිවැරදි භෞත චිකිත්සක ප‍්‍රතිකාර ආරම්භ කෙරෙනවා. 

භෞත චිකිත්සක ප‍්‍රතිකාර වල අරමුණු (Treatment goals)

  • වේදනාව අවම කිරීම
  • මාංශ පේශීන් ශක්තිමත් කිරීම
  • උකුල් සන්ධීන්ගේ ස්ථායි බව වැඩි කිරීම
  • නිවැරදි ඉරියව් හා චර්යාත්මක වෙනස් කිරීම් (Behavioral modification)
  • මානසික ආතතිය අඩු ප‍්‍රබෝධමත් මව් පදවියක් වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම

උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාව ඇති වන ස්ථාන

  • උකුල් අස්ථින් දෙක සම්බන්ධ වන ඉදිරිපස සන්ධිය (Symphysis pubis) ආශ‍්‍රිතව.
  • උකුල් අස්ථින් දෙක පිටුපසින් සම්බන්ධ වන කොන්ද පහළම සන්ධිය (sacroiliac joint) ආශ‍්‍රිතව.
  • යෝනි මාර්ගය හා ගුද මාර්ගය අතර ප‍්‍රදේශය (Perineum)
  • සමහර විට කලව දිගේ යන වේදනාව සහ ඉකිලි වල වේදනාව

උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාකාරී තත්ත්වය ඇතිවීමට හේතු

ගර්භණී කාලයේදී ස‍්‍රාවය වන relaxin හෝර්මෝනය නිසා ඛණ්ඩරා, බන්ධනී වැනි පටක සැහැල්ලු වන අතරම එමගින් සන්ධීන්ගේ සාමාන්‍ය තත්ත්වයට වඩා චලන පරාසය වැඩිවීමක් දැකිය හැකියි. එවිට ව්‍යුවහයන්ගේ ස්ථායි බව (stability) අවම වේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය කාන්තාවකගේ උකුල් අස්ථින් දෙක සම්බන්ධ වන ඉදිරිපස (Symphysis pubis) අස්ථි දෙක අතර පරතරය 4 -5mm වන මුත් ගැබ් ගැනීමෙන් පසු එම පරතරය සාමාන්‍යයෙන් 2 3mm දක්වා ප‍්‍රමාණයකින් වැඩි වි හැකියි. නමුත් එම ප්‍රමාණය 10mm හෝ ඊට වැඩි වූ විට එය අසාමාන්‍ය තත්ත්වයක් (Symphysis pubis diastasis) බවට පත්වේ. 

තවද කුස තුළ සිටින දරුවාගේ බර සහ සිටින ඉරියව්ව ද ඇතැම් විට අතීතයේ උකුල අස්ථි ආශ‍්‍රිතව ඇති වී ඇති අනතුරු, ඔස්ටියෝ ආතරයිටීස් වැනි තවත් බොහෝ හේතූන් නිසා මෙය තවදුරටත් තීව‍්‍ර විය හැකිය. 

මෙම තත්ත්වයෙන් පෙළෙන ගැබිණි මවකට

  • ඇවිදීමට අපහසු වීම
  • ඇඳ මත හැරීම, පෙරළීමට අපහසු වීම
  • පුටුවකින් නැගිටීමට අපහසු වීම 
  • පඩි පෙළ නැඟීම, ඇඳුම් ඇඳීම වැනි තනි කකුලට බර දෙන අවස්ථාවන්හිදී අපහසු වීම
  • වැඩි වේලාවක් සිටගෙන සිටීමේ අපහසු වීම
  • කකුල් ඈත් කිරීමට අපහසු වීම
  • උකුල් ඇට ගැටෙනවා හෝ ලොක් වෙන සේ දැනීම

ඉහත පැමිණිලිවලට වේදනාව මූලිකවම බලපාන අතරම මෙම වේදනාව සුළු (mild) අවස්ථාවේ සිට තීව‍්‍ර වේදනාව (severe) දක්වා වෙනස් විය හැකිය. 

උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාකාරී තත්ත්වය සඳහා වූ ප්‍රතිකාර ක්‍රමවේද

  • Manual Therapy

මෙමගින් වේදනාව ඇති කරන නිලයන් (trigger points) හඳුනාගැනීමත්, සන්ධිවල චලන පරාසවල අසාමාන්‍යතාවය හඳුනාගැනීමත් සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ද දෙඅත් මගින් සිදු කරයි. 

  • මාංශ පේශීන් ශක්තිමත් කිරීමේ ව්‍යායාම (Strengthening Exercises)

දරු ප‍්‍රසූතියට අවශ්‍ය මාංශ පේශීන් හා දුර්වල පේශීන් ශක්තිමත් කිරීම සිදු කරයි. Abdominal, Gluteal, Latissimus dorsi, hip adductors වැනි මාංශ පේශීන්වලට මෙහිදී විශේෂ අවධානය යොමු කරයි. 

  • Pelvic Stabilization Exercises

දින දින වැඩිවන දරුවාගේ බර ප‍්‍රමාණය උකුල් සන්ධි තවදුරටත් අස්ථායී කරයි. මෙය අවම කිරීමට මෙම ව්‍යායාම වැදගත් වේ. 

  • TENS/Heat therapy/ Cryotherapy 

ගැබිනි මවකට කිසිදු අතුරු ආබාධයක් නැති වේදනා නාශක ක‍්‍රම ලෙස මෙය භෞතචිකිත්සාවේ භාවිත වේ. 

  • Kegel Exercises

මුත‍්‍රාශය, ගුදය, ගර්භාෂය ආශ‍්‍රිත උකුල් අස්ථි පතුලේ මාංශ පේශී ශක්තිමත් කිරීම මෙම ව්‍යායාම මගින් සිදු වේ. 

  • Hydrotherapy

ජල චිකිත්සාවද භෞත චිකිත්සාවේ භාවිත වන ඉතා හොඳ ක‍්‍රමවේදයකි. මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබාගත හැක. 

තවද උකුල් පටියක් (Pelvic support belt) මෙම තත්ත්වයේදී ඉතා වැදගත් වේ. එය නිවැරදිව පළදින හා භාවිත කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබාදෙයි. ඇතැම් කාන්තාවකට අත්වාරුද (Elbow crutches) නැතහොත් රෝද පුටුව (Wheel chair) භාවිත කිරීමට සිදුවේ. මෙහිදී උපයෝගී කරගත යුත්තේ කුමක්ද සහ එය භාවිත කරන ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම අනිවාර්යෙන්ම සිදුවනු ඇත.

උකුල් සන්ධි ආශ‍්‍රිත වේදනාව ඇති ගැබිනි මවක් නොකළ යුතු දේ

  • බර එසවීම/තල්ලු කිරීම
  • කකුල් එක මත එක දැමීම (Cross legs)
  • එකතැන වැඩි වේලාවක් ඉඳගෙන හෝ සිටගෙන සිටීම
  • ඇඳුම් අඳින විට තනි කකුලට බර දීම
  • තනි අතකට බර එල්ලා ගැනීම

මේ ආකාරට නිවැරදි මග පෙන්වීම හා උපදෙස් අනුව ක්‍රියාත්මක වීමෙන් ගැබිනි මවට ‍අවම වේදනාවක් යටතේ තම ගැබිනි සමය ත කිරීමට හැකියාව ලැබෙන අතරම වැදගත් වන්නේ මුල් අවස්ථාවේදීම අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ක්‍රමවෙත යොමු වීමයි.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කසුනි එදිරිසිංහ මහත්මිය

ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි,කාසල් වීදිය කාන්තා රෝහල,කොළඹ 08

 

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article