ඔසප් චක‍්‍රයේ ගැටලු ඇතිකරන හේතු 16ක්

ඔසප් චක‍්‍රය හෙවත් ආර්තව චක‍්‍රය (Memstural cycle) ලෙස හැඳින්වෙන්නේ එක් ඔසප්වීමක් පළමු දිනයේ සිට ඊලඟ ඔසප් වීම ආරම්භ වීමට ගතවන කාලයයි. මෙය දින 21 – 35 ක පරාසයක පවතී. ඩිම්බ මෝචනය (Ovulation) සිදු වූ පසු ස්‍යුනිකාව පිපිරූ තැන කැළලක් ඇති වේ. කහපැහැති මෙම කැළල පීත දේහය ලෙස හඳුන්වයි. මෙමගින් ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝන ශ‍්‍රාවය වේ. මෙම ශ‍්‍රාවය උත්තේජනය කරන්නේ පූර්ව පිටියුටරියේ ලූටයෝ ට්‍රොෆික් (LTH) හෝමෝනය හා ලූටෙයිනීහාරක (LH) හෝමෝනය මගිනි. ස්‍යුනිකා මේරීමේදී ශ‍්‍රාවය වූ ඊස්ට‍්‍රජන් හෝමෝනය හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් ගර්භාෂයේ ඇතුළු බිත්ති වර්ධනය කරයි. මෙහිදී ගර්භාෂ කුහරය ඉතා සියුම් මෙලෙක් ආවරණයකින් වැසී යන අතර මෙම ඇතුළු ආවරණය ඝන වේ. එය රුධිරවාහිනීවලින් පිරී යයි. මෙලෙස ගර්භාෂය සූදානම් කරන්නේ යම් හෙයකින් ඩිම්බයක් සංසේචනය වූවහොත් එය අධිරෝපනය (Implantation) වීම සඳහාය. බොහෝ විට ඩිම්බය සංසේචනය නොවුනේ නම් පැය 72 ක් කින් ඩිම්බය මිය යනු ඇත. එවිට ගර්භාෂය තුළ සැකසුන ස්ථරයෙන් ඵලක් නොවේ. මෙහිදී පීත දේහය පිපිරී ප්‍රොජෙස්ටෙරෝන් ශ‍්‍රාවය පහළ යයි. ආවරණ බිඳී ගැලවී රුධිරයත් සමග පිටවේ. ගැහැනු දරුවෙකුගේ මෙලෙස සිදුවන මුල්ම අවස්ථාව ඇය වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි. ඉන්පසු මාසිකව මෙම සංසිද්ධියට ඇය මුහුණ දෙයි. මෙය ඔසප් චක‍්‍රයයි. මෙහිදී සාමාන්‍ය රුධිරයක් ශ්ලේෂ්මල, කැඩි බිඳී ගිය ගර්භාෂ ඇතුළු බිත්ති කොටස් පිටවේ. මෙය සාමාන්‍යයෙන් දින 3 – 5 ක කාලයක් පවතී. නමුත් එය දිනක් දක්වා අඩුවීමටද දින 8 ක් දක්වා වැඩි වීමටද ඉඩ ඇත. සාමාන්‍යයෙන් ළමයෙකු වැඩිවියට පැමිණ අවුරුදු 2 – 3 යන තෙක් අක‍්‍රමවත් ඔසප් වීමක් සිදුවිය හැක. පසුව ක‍්‍රමානුකූල වේ. 

අක්‍රමවත් ඔසප් චක්‍රයට හේතු 

  1. ගර්භණීභාවය

මෙහිදී ගර්භණීභාවය සම්පූර්ණ වන තුරු එනම් දරුවා බිහි වන තුරු ඔසප් වීම සිදු නොවනඅතර ප්‍රසූතියෙන් පසුව බොහෝ කාන්තාවන්ට මාසක් දෙකක් පමණ යනතුරු ද ඔසප් වීම සිදු නොවවිය හැකිය. 

2.උපත් පාලන පෙති සහ උපත් පාලන ක‍්‍රම ලෙස ගර්භාෂය තුළ තැන්පත් කරන උපත් පාලන උපකරණ (IUCDs) (Intra Uterine Contraceptive Devices)

  • උපත් පාලන පෙති මගින් සාමාන්‍යයෙන් ඔසප් චක‍්‍රය පැවති දින ගණන අඩු වන අතර එතෙක් පැවති අධික
    රුධිරවහනය ද අඩු වේ. 
  • ගර්භාෂයේ තැන්පත් කළ උපකරණ මගින් අධික රුධිරවහනයක් ඔසප් වීමකදී සිදුවන අතර දින ගණනද
    වැඩිවිය හැක.  

3. මව් කිරි දීම

Prolactin හෝමෝනය මගින් කිරි නිපදවේ. මෙමගින් ප‍්‍රජනක පද්ධතියේ හෝමෝන (ඊස්ට‍්‍රජන්, ප්‍රොජෙස්ටෙරෝන්) ක‍්‍රියාව අඩපණ කරන බැවින් ඔසප් වීම අඩු දින ගණනක් හෝ රුධිරවහනයක් නොමැති විය හැකියි.

4.ආර්තවාභාවය (Menopause)

  • කාන්තාවකගේ වයස අවුරුදු 45 – 55 අතර කාලයේදී ඔසප් චක‍්‍රය නැවතීමට ආසන්නයේදී ඊස්ට‍්‍රජන් හෝමෝන මට්ටම වරින්වර වෙනස් වන නිසා ඔසප් චක‍්‍රය දිගු හෝ කෙටි විය හැක. 

5.Polycystic Ovary Syndrome (PCOS)

මෙහිදී ඩිම්බ කෝෂය මගින් පිරිමි හෝමෝනයක් වන ඇන්ඩ‍්‍රජන් හෝමෝනය විශාල ලෙස නිපදවයි. ඩිම්බ කෝෂය තුළ දියර පිරුණු කුඩා ගෙඩි ඇති වේ. මේවා ස්කෑනින් පරීක්‍ෂණ මගින් හදුනාගත හැක. මෙම හෝමෝන වෙනස්කම් නිසා ඩිම්බ මේරීම, ඩිම්බ මෝචනය වළකී. සමහර කාන්තාවන්ට ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වී නැවතිය හැක. මීට අමතරව මෙම තත්ත්වය සමග තරබාරු බව, නිසරු බව, අධික ලෙස රෝම හා කුරුලෑ ඇති වීම සිදු විය හැක. මින් හෝමෝන අසමතුලිතභාවයක් ඇති වේ. අක‍්‍රමවත් රුධිරවහනයක් ඇති වීමට මෙම හේතුව බහුල හා පොදු වන අතර බොහෝ විට අධික රුධිරවහනයක් වේ. ස්ථිර හේතුවක් නොදනී.

6) තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු

  • තයිරොයිඩ් ග‍්‍රන්ථියේ  ක‍්‍රියාව අඩපණ වීමෙන් තයිරොයිඩ් හෝමෝන ශ‍්‍රාවය අඩු වීමයි. මෙය මන්ද පරාභතාවය (Hypothyroidism) ලෙස හඳුන්වයි. මෙහිදී පහත ලක්‍ෂණ ද ඇති වේ. 
  • දින කිහිපයක් පවතින අධික රුධිරවහනය
  • වේදනාව
  • තෙහෙට්ටු බව
  • සීතල දැනීම
  • බර වැඩිවීම
  • තයිරොයිඩ් ග‍්‍රන්ථියෙන් තයිරොක්සීන් හෝමොනය අධිකව ශ‍්‍රාවය වීමක් සිදු වේ. මෙය අතිපරාභතාවය (Hyperthyroidism)  ලෙස හඳුන්වයි. මෙහිදී පහත ලක්‍ෂණ ඇති වේ. 
  • හදිසියේ බර අඩුවීම
  • කාංසාව (anxiety)
  • ඉක්මනින් කලබල වන ගතිය. (Nervousness)
  • හෘද ස්පන්දනය (palpitation)
  • ඔසප් චක‍්‍රයේ රුධිරවහනය වන දින ගණන අඩු වන අතර රුධිර ප‍්‍රමාණයද අඩු වේ.

7) ගර්භාෂය තුළ ෆයිබ්‍රොයිඩ් හෝ මස්දලු ඇති වීම

ගර්භාෂ බිත්තියේ පේශිමය අර්බුදයන් (muscular tumor) ලෙස වර්ධනය වේ. බොහෝමයක් පිළිකා නොවන අතර කලාතුරකින් පිළිකා විය හැක. මිදි ගෙඩියක ප‍්‍රමාණයේ සිට ඇපල් ගෙඩියක ප‍්‍රමාණය දක්වා මේවා වර්ධනය වේ. මෙහිදී ඔසප් වීම වේදනාත්මක වන අතර රුධිරවහනය අධික වේ. නීරක්තිය වුවද ඇතිවිය හැක. මෙහිදී ඇති වන අනෙක් ලක්‍ෂණ ලෙස,

  • ශ්‍රෝණි කුහරය තුළ වේදනාව හෝ පීඩනය.
  • කොන්ද පිටුපස වේදනාව
  • කකුලේ වේදනාව
  • සංසර්ගයේදී ඇති වන වේදනාව දැක්විය හැකිය.

මෙම චර්මයන් විශාල වන විට ගුදයට සහ මුත‍්‍රාශයට බලපෑමෙන් අපහසුතා ඇති වේ. 

8) එන්ඩෝමෙට්‍රියෝසිස් (Endometriosis)

දරුවන් ලබන වයසේ සිටින කාන්තාවන් 10:1 ට ඇති වේ. මෙහිදී සිදු වන්නේ ගර්භාෂය තුළ ඇති අභ්‍යන්තර ස්ථරය (endometrial) ගර්භාෂයෙන් පිටතට වර්ධනය වීමයි. මෙම වර්ධනයන් ඩිම්බ කෝෂ, පැලෝපීය නාල හා සම්බන්ධ වේ. එසේම මෙසේ පිටතට වර්ධනය වීමේදී කුඩා අන්තක, ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටසේ අවයව, ගුදය හා ගර්භාෂය අතර ප‍්‍රදේශයට පැතිර යා හැක. මෙහිදී පෙන්නුම් කරන ලක්ෂණ ලෙස,

  • අධික රුධිරවහනය
  • ඔසප් චක‍්‍රය වැඩි දින ගණනක් පැවතීම
  • ආමාශ ආන්ත‍්‍රික වේදනාව
  • වේදනාත්මක අන්තක චලනයන්
  • සංසර්ගයේදී හා ඉන් පසුව ඇති වන වේදනාව 
  • දරුවන් නොමැති වීම

9) Pelvic Inflammatory Diseases (PID)

කාන්තා ප‍්‍රජනක පද්ධතිය තුළ බැක්ටීරියා ආසාධනයක් ඇති වීමයි. සංසර්ගයේදී බැක්ටීරියා යෝනි මාර්ගය තුළට ඇතුළු වේ. ඒ හරහා ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බ කෝෂ ආදිය මෙම බැක්ටීරියා ගමන් කර ආසාධන ඇති කරයි. මීට අමතරව නාරිවේදීය පිළිවෙත්, දරු උපත් ගබ්සා වීම් හරහා ද මෙම බැක්ටීරියා ඇතුළු විය හැක. මෙහිදී,

  • දුඟද සහිත ආසාමන්‍ය ශ‍්‍රාවයක් ඇති වීම
  • අක‍්‍රමවත් ඔසප් චක‍්‍රය
  • පහළ උදර වේදනාව
  • උණ, ඔක්කාරය, වමනය හෝ පචනය දැකිය හැකිය.

10) Premature ovarian insufficiency 

අවුරුදු 40ට අඩු කාන්තාවන් සමහරකගේ ඩිම්බ කෝෂ නියම ලෙස ක්‍රියාකාරී නොවීමයි. මෙහිදී ඔසප් චක්‍රය නැවතී යන අතර ආර්ථවහරණයට සමානයි

11) බර වැඩිවීම 

තරබාරු බව අක‍්‍රමවත් ඔසප් චක්‍රයට පැහැදිලි හේතුවකි. මෙමගින් හෝමොන හා ඉන්සියුලින් මට්ටම අතර ගැටුමක් ඇති වේ. එය ඔසප් චක‍්‍රයට බලපායි. 

12) අධික ලෙස බර අඩුවීම හා කෑම ගැනීමේ ගැටලු

අධික ලෙස බර අඩු වීමෙන් ඔසප් චක‍්‍රය අක්‍රමවත් වේ. ඊට හේතුව වන්නේ ඩිම්බ නිෂ්පානදයට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සඳහා ප‍්‍රමාණවත් කැලරි නොමැති වීමයි. ශරීර ස්කන්ද දර්ශකය 18.5 අගය වඩා අඩුවීමත් සමග ඔසප් චක‍්‍රය නවතී. මීට අමතරව තෙහෙට්ටුව, හිසරදය, හිසකෙක් ගැලවීම,  අධික කුස ගින්න හා කෑම අරුචිය ඇති වේ.

13) අධික ව්‍යායාම

ඔසප් චක‍්‍රය හා බැඳුනු හෝමෝනවලට බලපෑම ඇති කරයි. කාන්තා මලල ක්‍රීඩිකාවන්ට, බැලේ නැටුම් ශිල්පිනියන්ට ඔසප් චක්‍රය නතර විම හෝ සුළු වශයෙන් අැති විය හැකිය.

14) ආතතිය 

මෙමගින් මොළයේ කොටසකට තාවකාලිකව ඇති වන බලපෑම නිසා හෝමෝන නිෂ්පාදනය පාලනය වීමෙන් ඔසප් චක‍්‍රයට බලපෑම් ඇති කරයි.

15) ඖෂධ

සමහර ඖෂධ ඔසප් චක‍්‍රයට බාධා ඇති කරයි.

  • ප‍්‍රතිකාර සඳහා ගන්නා හෝමෝන.
  • රුධිරයේ ඝණකම අඩු කරන ඖෂධ (ප‍්‍රතිකාරක) 
  • තයිරොයිඞ් රෝග සඳහා ගන්නා ඖෂධ
  • අපස්මාරය සඳහා ගන්නා ඖෂධ
  • මානසික අවපීඩනය සඳහා ගන්නා ඖෂධ
  • පිළිකා සඳහා ගන්නා ඖෂධ
  • ස්ටිරොයිඩ නොවන ඖෂධ

ඉහත ඖෂධ වලින් ඔසප් දින ගණන් අක‍්‍රමවත් වන අතර රුධිරවහන ප‍්‍රමාණයද අඩු වැඩි වේ. 

16) ගැබ් ගෙල හා ගර්භාෂ පිළිකා

අධික රුධිරවහනය, ඔසප් චක‍්‍රය අතර රුධිරවහනය, සංසර්ගයේදී හා පසු රුධිරවහනය, අසාමාන්‍ය ශ‍්‍රාව පිටවීම ඇති වේ. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here