දරුවෙකු ගේ පුර්ණ වර්ධනයක් උදෙසා “ශ්‍රවණය” ඉතා වැදගත් වේ. මන්ද, ශ්‍රවණය යනු දරුවාගේ භාෂා වර්ධනය ට අත්‍යවශ්‍ය වන මූලික ම සාධකයක් වන නිසාවෙනි. ඒ නිසාවෙන් ම කුඩා කාලයේ සිට දරුවාගේ “ශ්‍රවණය” නැතහොත් “ඇසීම” පිළිබඳ දෙමව්පියන් වශයෙන් උනන්දු වන්නේ ඒ පිලිබඳ දැන හෝ නොදැන විය හැකිය. තවද ඔබ ඔබගේ කුඩා දරුවා ට විවිධ ශබ්ධ නගන සෙල්ලම් බඩු ගෙනවිත් දෙන්නේ එම ශබ්ධ වල ට දරුවා හැරී බලා වි යන අදහසිනි.
ඔබේ දරුවාට කුඩා කාලයේදී ශ්‍රවණ ඌනතාවයක් ඇති බව හඟවන කරුණු මොනවාද?
- දරුවා නමට ප්‍රතිචාර නොකරයි නම්
- දරුවාගේ කතාව හා භාෂාව වර්ධනයේ ප්‍රමාදයක් ඇති නම්
- දරුවාට ඔබ දෙන විධාන අනුගමනය කිරීම අපහසු වේ නම්
- රූපවාහිනිය නරඹන විට ඊට ආසන්නම වාඩි වී ශ්‍රවණය කරයි නම්
- කතාව ආරම්භ කර ඇති දරුවෙකු නම් උච්චාරණ දෝෂ ඇති නම්
- ඔබ දරුවාට ලබා දෙන විධාන දරුවා විසින් නැවත නැවත විමසයි නම් ඔබ මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.
තවද ඉහත සඳහන් ලක්ෂණ පවතී නම් දරුවා ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු විය යුතු අතර එමඟින් එමගින් දරුවාට ශ්‍රවණ ඌනතාවක් පවතී ද? පවතී නම් එම ඌනතාවය කොපමණ ප්‍රමාණයක්ද? යන්න ත් ශ්‍රවණ ඌනතාවක් පවතී නම් ඒ සඳහා සවන් වහලක් පැලදීම අවශ්‍ය ද? අවශ්‍ය නම් ඊට අදාල සුදුසුම තාක්ෂණයෙන් යුත් සවන් වහල කුමක්ද? ඒ සියල්ල ඔබට ශ්‍රවණවේදියෙකු හරහා සිදු කර ගත හැකියි.
මෙම තත්ත්වය 1.පූර්ණ ශ්‍රවණ ආබාධිත (බිහිරි) හෝ
2.ශ්‍රවන ඌනතා යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබයි.
එමෙන්ම ශ්‍රවණ ඌනතාවය ද ඇසෙන ප්‍රමාණය අනුව තවත් අනු කොටස් කිහිපයකටම බෙදනු ලබයි.
මෙහිදී වඩා වැදගත් වන්නේ දරුවාගේ ශ්‍රවණ මට්ටම ඉහළ නංවාලීමට සුදුසු තාක්ෂණයෙන් යුත් සවන් වහලක් පැලදිම හා සවන් වහල පැළඳ සිටින විට දරුවාට කොපමණ ප්‍රමාණයක් ඇසෙනවාද යන්න නැවත ශ්‍රවණ පරීක්ෂණයක් හරහා හඳුනා ගැනීම හෝ කර්ණශංඛ බද්ධය සුදුසු බව තීරණය කළ අවස්ථාවකදී එම ශල්‍යකර්මයෙන් පසුව කර්ණශංඛය සමඟ සිදුකළ ශ්‍රවණ පරීක්ෂණය කින් දරුවාට කොපමණ ඇසෙනවා ද යන්න හඳුනා ගැනීමයි. එම පරීක්ෂණ ප්‍රතිඵල මත සිට දරුවාගේ කතාව, භාෂාව හා සන්නිවේදනය දියුණු කිරීම විවිධ චිකිත්සක ක්‍රම ඔස්සේ සිදු කළ හැකිය.
තවද අතීතයේ ශ්‍රවණ ඌණතා සහිත දරුවන්ට සංඥා භාෂාව හෝ අංග චලන භාවිතයෙන් කතා කිරීම පමණක් ප්‍රචලිතව තිබූ අතර වර්තමානය වන විට මෙම දරුවන් විට මෙම දරුවන් වාචිකව කථා කිරීම, සවන් දීම ප්‍රගුණ කිරීම හා තොල් කියවීම ද සන්නිවේදනයේ ප්‍රචලිත ක්‍රම ලෙස හඳුනාගෙන ඇත.
අද වන විට සිදු කරන පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ශ්‍රවණ ඌණතා සහිත දරුවන් අඩු වයසින් හඳුනාගැනීම (Early detection) හා ක්ෂණික ව සවන් වහල් පැලදීම (Early amplification) අරමුණු ගත චිකිත්සනය (Early intervention) සමග ම දෙමාපියන්ගේ සක්‍රීය දායකත්වය තුළ 80% ශ්‍රවණ ඌනතා සහිත දරුවන් මෙන්ම බිහිරි දරුවන් සාමාන්‍ය පන්ති කාමරය තුළ ඉගෙනීමේ කටයුතු සිදු කළ හැකි බවයි (Lim & Simser,2005). මෙහිදී දරුවා තුළ ශ්‍රවණ ඌණතාවක් ඇත්නම් කල්තියා හඳුනා ගැනීම, ඊට සුදුසු තාක්ෂණයෙන් යුත් සවන් වහලක් පැළඳීම හා නිවැරදි තක්සේරු කරණයෙන් පසු සිදුකරන චිකිත්සාවන් ලබා දීම කළ යුතුම දේවල් ලෙස හඳුනා ගෙන ඇත.
එම නිසා කුඩා කාලයේ සිට ඔබගේ දරුවාගේ ශ්‍රවණ කුසලතා අධ්‍යයනය කිරීමත් ශ්‍රවණය සම්බන්ධ යම් ගැටළුවක් ඇතැයි ඔබට සැකයක් ඇත්නම් ඒ සම්බන්ධ පරීක්ෂණ සඳහා යොමු වීම හා ඊට අදාළ කථන චිකිත්සාව හැකි විගස ආරම්භ කිරීමත් තුළින් දරුවාට ඇති විය හැකි ගැටළු අවම කර ගැනීමටත් නිසි සංවර්ධනයක් කරා ළඟා වීමටත් හැකියාව පවතී.
කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.