- Advertisement -

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කුසලතා දියුණු කරන්නේ කෙසේද?

-

විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් ලෙස හැඳින්වූ කළ එය යටතට පැමිණෙන විශාල රෝග විනිශ්චයන් ප්‍රමාණයක් තිබුන ද අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ පොදුවේ ඔවුන් සියලු දෙනාටම ඇති වන එක් ගැටලුවක් වන “අධ්‍යාපනය” පිළිබඳව යි. 

විශේෂ අවශ්‍යතා සහිත දරුවකු සිටින සෑම දෙමව්පියෙකු ට ම සුවිශේෂී වූ වගකීමක් තිබෙන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. මන්ද ඔවුන් ගේ විශේෂ අවශ්‍යතාව කුමක් වුවත් ඊට අදාළ ඖෂධ ප්‍රතිකාර, චිකිත්සන (එනම් කථන චිකිත්සාව, වෘත්තිය චිකිත්සාව, භෞත චිකිත්සාව ආදී) හා  අධ්‍යාපනය ද නිසි අයුරින් ලබා දීම තුලින් ඔවුන්ට අභියෝගයක් ව පවතින කඩයිම් ජයග්‍රහණය කිරීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත.

- Advertisement -

මෙවන් දරුවන් සමග වර්ධන ප්‍රමාදයන්, විවිධ වූ වෙනත් රෝගී තත්ත්වයන්, මානසික ගැටලු හා වෙනත් සාමාජීය හා  අධ්‍යාපන ගැටළු මෙන්ම තවත් බොහෝ සාධක බැඳී පැවතීමට හැකි ය. එමනිසා ඔවුන්ගේ උපරිමය කරා ළඟා වීමට අවශ්‍ය වන පසුබිම සකසා දීම ඉතාමත් යුහුසුළු ව ආරම්භ කළ යුත්තේ ඒ නිසාවෙනි. 

අධ්‍යාපනය යනු සෑම දරුවෙකුට ම ලබා ගත යුතු දෙයක් වුව ද තරගකාරී අධ්‍යාපනය තුළ  විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ට එය තවත් අභියෝගයක් වීමට ඉඩකඩ වැඩිය. තව ද දරුවාගේ තත්ත්වය අනුව දෙමව්පියන් වශයෙන් ඔබට මුහුණ දීමට සිදු වන ගැටලු ද විවිධාකාර විය හැකි ය. 

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය අතීතයේ සිට විකාශනය වෙමින් ඉදිරියට පැමිණෙන්නෙකි. විවිධ න්‍යායන් හා පර්යේෂණ කරුණු පදනම් කර ගනිමින් වර්තමානය ට උචිත අයුරින් විකාශනය වෙමින් ඉදිරියට පැමිණෙයි. ඒ අනුව ලංකාවේ අතීතයේ  දී විශේෂ අවශ්‍යතා සහිත  දරුවන් ට වෙන් වූ පාසල් තුළ අධ්‍යාපන කටයුතු ආරම්භ කළ අතර කල්යත්  ම න්‍යායාත්මක කරුණු හා පර්යේෂණ ප්‍රතිඵල පදනම් කර ගනිමින් එම ක්‍රමය වෙනස්  වී සාමාන්‍ය පාසල තුළ මෙම දරුවන් හට සඳහා වෙන් වූ ඒකක “විශේෂ අධ්‍යාපන ඒකක” නමින්  පිහිටුවීමට කටයුතු කර ඇත. තවද එම ක්‍රමය වර්තමානයේ දී ක්‍රියාත්මක වෙමින් පවතී.  නමුත් වර්තමානයේ මෙම තත්ත්වය ද නව්‍යකරණය වෙමින් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව “අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය” (Inclusive Education) විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට වඩාත් උචිත ක්‍රමයක් ලෙස වර්තමානය පිළිගනු ලබයි.

අන්තර්කරණ  අධ්‍යාපන ක්‍රමය තුළින් අර්ථ කථනය කරනු ලබන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ද සාමාන්‍ය දරුවන් සමඟ මුසු වෙමින් පන්ති කාමරය තුළ ඉගෙනීමේ කටයුතු වල නිරත වීමයි. නමුත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු අධ්‍යාපන සංග්‍රහ වල ඉතා දිගු ව විස්තර කර ඇති අතර එම ක්‍රමවේද අනුව අන්තර්කරණ අධ්‍යාපන ක්‍රමය ට උචිත විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ට මෙම ක්‍රමය හරහා අධ්‍යාපනය ලබා දීම වර්තමානයේ පිලි ගන්නා ප්‍රචලිත අධ්‍යාපන ක්‍රමයයි. 

මීට අමතරව සියලුම දරුවන් ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනස්  වන අතර ඔවුන්ගේ හැකියා දක්ෂතා ද වෙනස් වනු ඇත. ඒ නිසාවෙන් ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ට අධ්‍යාපනය ලබා දීමට සුවිශේෂි ක්‍රමවේද හඳුනාගෙන ඇත. ඒ අනුව “තනි පුද්ගල අධ්‍යාපන සැලසුම” (Individual Education Plan)  දරුවන් සඳහා සුවිශේෂී වූ අධ්‍යාපන සැලසුම් ක්‍රමයක් ලෙස හඳුන්වා දීමට හැකිය. තනි පුද්ගල අධ්‍යාපන සැලසුම යනු දරුවාට ම ආවේණික වූ අධ්‍යාපන අරමුණු හා ක්‍රියාකාරකම් වලින් පිරි අධ්‍යාපන සැලසුමකි. මෙම සැලසුම සකස් කිරීමට දරුවාගේ චිකිත්සකවරුන්, ගුරුවරුන් මෙන්ම වෛද්‍ය මතය විමසීම ට අවශ්‍ය වූ විට වෛද්‍යවරුන් මෙන්ම  දරුවාගේ දෙමාපියන් ද එක් වී කටයුතු කළ යුතු අතර මේ ක්‍රියාත්මක ක්‍රියාවට නැංවීමට ද මේ සැමගේ අන්‍යෝන්‍ය සහයෝගය ඉතා අවශ්‍ය වනු ඇත. 

ඒ අනුව ඔබගේ දරුවාගේ විශේෂ අවශ්‍යතාවය අනුව එය නිවැරදිව හඳුනාගැනීම හා ඊට අවශ්‍ය වඩාත් සුදුසුම අධ්‍යාපන ක්‍රමවේද ය හඳුනා ගැනීම, ඒ අනුව දරුවා සුදුසු පාසලකට ඇතුළත් කිරීම දරුවාගේ අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස තනි පුද්ගල අධ්‍යාපන සැලසුමකට අනුව කටයුතු කිරීම තුළින් වඩාත් අභියෝගයක් ව  පවතින විශේෂ අවශ්‍යතා සහිත දරුවාගේ අධ්‍යාපනය මල්ඵල ගන්වා ගැනීමට හැකියාව පවති. එමෙන්ම ඔබ දැනටමත් චිකිත්සක වරුන්ගේ සහය ලබා ගන්නේ නම් ඔවුන් හරහා ඔබට නිසි මග පෙන්වීමක් ලබා ගැනීමට ද හැකියාව පවතී.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article