- Advertisement -

IVF ප‍්‍රතිකාරයට සූදානම් විය යුත්තේ කෙසේද?

-

මවක් වීමේ සිහිනයට ළඟා වන්නට කාන්තාවකට ඇති සාර්ථක එක් ක්‍රමයක් ලෙස IVF ප්‍රතිකාරය හැඳින්වීමේ වරදක් නැත. ඒ ප්‍රතිකාරය පිළිබඳව මූලික තවත් කරුණු කිහිපයක් මීට පෙර ලිපියේදී සාකච්ඡා කළා ඔබට මතක ඇති. මේ ලිපිය තුළින් අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අද වන විට ලොව පුරා බොහෝ රටවල සුලභව භාවිත වන  IVF ප්‍රතිකාරට ඔබව සූදානම් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. 

ඔබේත් සහ ඔබේ සහකරුගේත් ඩිම්බ හා ශුක‍්‍රාණු යොදාගනිමින් IVF චක‍්‍රය සිදු කිරීමට පෙර ඔබ හා ඔබේ සහකරු පරීක්‍ෂණ ගණනාවකට බදුන් විය යුතුය. 

- Advertisement -
  • ඩිම්බකෝෂ සංචිත පරීක්ෂාව (Ovarian reserve testing)

ඔබේ ඩිම්බවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මකභාවය ස්ථිර කරගැනීමට වෛද්‍යවරයා විසින් ඔසප් චක‍්‍රයේ මුල් දින කිහිපයේදී කූප උත්තේජක හෝමෝනය (F.S.H Follicle Stimulating Hormone), ඊස්ට‍්‍රජන් හෝමෝනය සහ Anti mulleriam හෝමෝන යන හෝමෝනවල රුධිරගත සාන්‍ද්‍රණය පරීක්‍ෂා කරයි. මෙම පරීක්‍ෂණ ප‍්‍රතිඵල සහ ස්කෑනින් පරීක්‍ෂණ අනුව ද ඩිම්බ කෝෂවල ඇති ඩිම්බවල සරුභාවය ඇති කිරීමට ලබාදුන් ඖෂධවල ප‍්‍රතිචාරය විනිශ්චය කරගත හැක. 

  • ශුක‍්‍රාණු විශ්ලේෂණය (Semen analysis)

IVF ප‍්‍රතිකාර චක‍්‍රය ආරම්භ කිරීමට පෙර ශුක‍්‍රාණු විශ්ලේෂණයක් සිදු කරයි. 

  • ආසාධිත රෝග ඇති දැයි පරීක්‍ෂාව (Infections disease screening)

ඔබ සහ ඔබේ සහකරු HIV වැනි ආසාධිත රෝග ඇතිදැයි පරීක්‍ෂා කෙරේ. 

  • Practice (mock) embryo transfer

කලලය ගර්භාෂයට ඇතුළු කිරීමට පෙර එහි ගැඹුර හා කලලය තැන්පත් කිරීමට වඩාත් සුදුසු ස්ථානය පරීක්‍ෂා කරයි. 

  • ගර්භාෂය පරීක්‍ෂාව (Uterine exam)

IVF සිදුකිරීමට පෙර වෛද්‍යවරයා විසින් ගර්භාෂයේ ඇතුළත ආස්ථරය පරීක්‍ෂා කරයි. මෙහිදී sonohysterography සිදුකරයි. (තරලය ගැබ්ගෙල හරහා ගර්භාෂයට එන්නත් කර ගර්භාෂ කුහරය තුළ ස්කෑනින් පරීක්‍ෂණයක් සිදු කරයි.)

IVF ප‍්‍රතිකාරයේ පියවර

  1. ඩිම්බ මෝචනය පේ‍්‍රරණය කිරීම. – Ovulation induction

ඔබේම ඩිම්බ මගින් මෙම ප‍්‍රතිකාරය සිදුකරයි නම් කෘත‍්‍රිම හෝමෝන මගින් ඩිම්බ කෝෂ උත්තේජනය කර ඩිම්බ ගණනාවක් (සෑම මසකම නිපදවන තනි ඩිම්බයට වඩා) නිෂ්පාදනය කරයි. ඩිම්බ කිහිපයක් අවශ්‍ය වන්නේ සමහර ඩිම්බ සංසේචනය නොවීම හෝ සංසේචනයෙන් පසු වර්ධනය නොවීම නිසාය. 

ඩිම්බ මෝචනය පේ‍්‍රරණය කිරීම සඳහා යොදා ගන්නා විවිධ වර්ගයේ ඖෂධ 

  • ඩිම්බ කෝෂ උත්තේජනයට ලබාදෙන ඖෂධ 

F.S.H හා L.H හෝමෝන වෙන වෙනම හෝ සංයෝජනය කර ලබාදෙන්නේ එන්නත් ආකාරයට වේ. මෙහිදී එකවරද ඩිම්බ එකකට වඩා වර්ධනය වේ.

  • කූපය මේරීමට ලබාදෙන ඖෂධ 

දින 8 – 14 අතර කාලයේදී කූපය ඩිම්බ මුදාහැරීමට සූදානම් වන විට HCG හෝමෝනය (Human Chorionic Gonadotropin) හෝ වෙනත් ඖෂධ ලබාදීමෙන් ඩිම්බ මේරීම සිදු වේ. 

  • ඩිම්බ මෝචනය කලින් සිදුවීම වැළැක්වීමට ලබාදෙන ඖෂධ

වර්ධනය වෙමින් පවතින ඩිම්බ ඉතා ඉක්මණින් නිදහස් කිරීම මෙම ඖෂධ මගින් වළකී.

  • ගර්භාෂ ආස්තරය සූදානම් කිරීම සඳහා ලබාදෙන ඖෂධ

ඩිම්බය නැවත ලබාගැනීම හෝ කළලය ගර්භාෂය තුළ තැන්පත් කරන දින ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය ලබාදෙයි. ඒ ගර්භාෂ ස්ථරය කලලය අධි රෝපණය කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහාය.

සමහර අවස්ථාවලදී ප‍්‍රමාණවත් කූපයන් ප‍්‍රමාණයක් වර්ධනය නොවීම, නොමේරූ ඩිම්බ මෝචනය, බොහෝ කූපයන් වර්ධනය වීමේදී ඩිම්බ කෝෂ අධි උත්තේජනයක් ඇති වීමේ අවධානමක් ඇති වීම මෙන්ම වෙනත් වෛද්‍යමය හේතූ (අධික රුධිර පීඩනය, හෘද රෝග) මත ඩිම්බය ගැනීමට පෙර IVF ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීම අවලංගු කිරීමට සිදුවිය හැකිය.

  1. ඩිම්බ කෝෂ ප‍්‍රදානය

මෙහිදී දායකයා මෙන්ම ඒවා කුස තුළ තැන්පත් කරගන්නා කාන්තාවගේද ආර්තව චක‍්‍ර සමාන අදියරක පැවතීම වැදගත්ය. එම නිසා දෙදෙනාගේම ආර්තව චක‍්‍ර සම අදියරවල පවත්වා ගැනීමට කෘතීම හෝමෝන ලබාදේ. දරු ගැබ තැන්පත් කරන කාන්තාවගේ ගර්භාෂ ආස්තරය ඊට සුදුසු අදියරක පවතින විට දායකයා ඩිම්බ මෝචනය කළ යුතුය. මෙහිදී දායකයාටද සරුභාවය ඇති කරන ඖෂධ ලබාදීමේ අරමුණ වන්නේ සංසේචනය පිණිස එකවර ඩිම්බ කිහිපයක් පිළියෙල කිරීමයි. ඩිම්බ සංසේචනයට සුදුසු පරිණත අවස්ථාවේදී ඇය නිර්වින්දනයට ලක්කර එන්නත් කටුවක් මගින් ඩිම්බයක් ඉවත් කරගනී. මෙය සිදු කරන්නේ අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑනින් මගින් ඩිම්බය පිටතින් හඳුනා ගැනීමෙනි. 

3) සහකරුගේ ශුක‍්‍රාණු ගනී නම් එය කාමරයක්, සායනයක් තුළදී ලබාගත හැක. වෘෂණ කෝෂ හරහා ඉදිකටුවක් ඇතුළු කරමින් නිර්වින්දනය යටතේ ශුක‍්‍රාණු ලබාගැනීමද කළ හැක. ඉන්පසු රසායනාගාරයක ශුක‍්‍ර තරලයෙන් ශුක‍්‍රාණු වෙන් කරයි.

4) සංසේචනය සිදු කිරීම ආකාරය 02 කි. 

  • නිරෝගී ශුක‍්‍රාණුවක් මේරූ ඩිම්බයක් සමග මිශ‍්‍ර කර රාත‍්‍රියක් පුරාවට එය වර්ධනය ඉඩ හරී. 
  • නිරෝගී ශුක‍්‍රාණුවක් මේරූ ඩිම්බයක් තුළට සෘජුවම එන්නත් කරයි

මෙම ක‍්‍රමය ICSI (Intracytoplasmic sperm injection) ලෙස හඳුන්වයි. මෙම ක‍්‍රමය භාවිත වන්නේ ශුක‍්‍රාණුවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක ගැටලු ඇතිවිට හෝ පෙර  සිදු කළ IVF ප‍්‍රතිකාර අසාර්ථක වූ විටය. 

5) ඩිම්බය ප‍්‍රදානය කරන දිනයේම ශුක‍්‍රාණු නියැදියද ලබාගන්නා අතර රසායනාගාරයේදී පෙට්‍රි දීසියක ඒ ශුක‍්‍රාණු හා ඩිම්බ ඉහත ආකාර 2 කින් එක් ක‍්‍රමයකට මිශ‍්‍ර කෙරේ. ඉන් දින දෙකකට පසු මේ ආකාරයට සංසේචනය වූ බීජ කලලය (embryo) ලෙස හැඳින්වෙන ජීවයක්, කලල රූපයක මූලික අවස්ථාවේ සෛල බෝල කිහිපයක් බවට පත් වේ. 

ඩිම්බය තැන්පත් කිරීම මෙන්ම කලලය තැන්පත් කිරීමේදී ද සිදුවන ක‍්‍රියාවලිය සමානය. සිහින් කැතීටරයක් මගින් ගැබ්ගෙල හරහා සෛල රූප එකක් හෝ දෙකක ගර්භාෂය තුළ සීරුවට තැන්පත් කරයි. මෙය සිදුකරන්නේ සංසේචනයෙන් දින දෙක තුනකට පසුව එළඹෙන blastocyst අවස්ථාවේදී එනම් දින පහක් හයක් ගත වූ පසුවය. සති දෙකක පමණ කාලයකට පසු ගර්භණී පරීක්‍ෂාවන් සිදු කිරීමෙන් ගර්භණීභාවය සනාථ කරගත හැක.

IVF ප‍්‍රතිකාරයෙන් සිදු කරන පිළිසිඳ ගැනීමක වාසි

  • නිසි වයසේ පසුවන කාන්තාවකගේ නිරෝගී ඩිම්බ සොයාගැනීමේ හැකියාව ඇත
  • නිරෝගී ප‍්‍රදානයකින් සංසේචනය සිදු වුවහොත් සාර්ථකත්වයට පත්වීමේ ප‍්‍රවණතාවය වැඩිවීමෙ

IVF ප‍්‍රතිකාරයෙන් සිදු කරන පිළිසිඳ ගැනීමක අවාසි

  • ප‍්‍රවේණික ලෙස මවගේ සහ පියාගේ ජානමය උරුමය දරුවාට නොලැබීම. 
  • ප‍්‍රවේණික වශයෙන් ආගන්තුක වීම නිසා ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තරමක් නුහුරු ආකාරයට ක‍්‍රියාත්මක වීමෙන් ගර්භණී අවධියේදී රුධිර පීඩන අසාමාන්‍යතා වැනි සංකූලතාවලට ඉඩකඩ පැවතීම

ඔබ IVF ප‍්‍රතිකාරය සඳහා කුමන සාඵ්‍යලයතා මධ්‍යස්ථානයක් වෙත යොමු වුවත් ප්‍රතිකාරය සිදුවන ක්‍රමවේදයේ වෙනසක් නොවන අතරම ඔබේ සහකරුගේ හා ඔබේ ශාරීරික ගුණාවලට සමීප කෙනෙකුගේ ඩිම්බ/ශුක‍්‍රාණු ඇති දායකයෙකු (උදාහරණ ලෙස උස, බර, කොණ්ඩයේ පැහැය, ඇස්වල වර්ණය) හඳුනාගැනීමත් ඔවුන් HIV, Hepatitis B, C සහ Cytomegalovirus (CMV) ආදී ආසාධිත නොවන බවට සැක හැර දැන ගැනීමත් යන කරුණු පිළිබඳව පොදුවේ සැලකිලිමත් විය යුතුය. 

IVF ප‍්‍රතිකාරයෙන් පසු

කළල හෝ ඩිම්බය තැන්පත් කිරීමෙන් පසු සාමාන්‍ය ලෙස එදිනෙදා කටයුතුවල නියැලිය හැක. මෙවිටද තවදුරටත් ඔබේ ඩිම්බ කෝෂ විශාල වී පවතී. එම නිසා අපහසුතා ඇති වේ. 

IVF ප‍්‍රතිකාරයෙන් පසු අතුරු ආබාධ ලෙස,

  • පැහැදිලි හෝ රුධිරය මිශ‍්‍ර සුළු තරල ප‍්‍රමාණයක් පිටවීම
  • රුධිරයේ ඊස්ට‍්‍රජන් මට්ටම වැඩි නිසා පියයුරුවල වේදනාව
  • සුළු වශයෙන් ඇති වන උදර වේදනාව
  • මල බද්ධය

තමන්ගේ ජනක සෛලවලින් දරු සම්පත් ලබාගත නොහැකි විට දායක ඩිම්බ, දායක කලල යොදාගෙන තමන්ගේම දරුවෙකු සුරතල් කිරීමේ වාසනාව වෛද්‍ය විදාවේ දියුණුවත් සමගම අද වන විට ලැබී ඇත. 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article