- Advertisement -

පුංචි පැටියා සමග මේ විදිහට කටයුතු කරමු

-

තොටිල්ලේ ලී වැට පැනලා පුංචි පැටියා ලොකු වෙන දිනය වෙනකම් අම්මා තාත්තා ඇඟිලි ගනිනවා. දවස් ගෙවෙන්නෙත් හෙමින් වගෙයි.ඒ තරමටම දෙමව්පියන්ට පුංචි පැටියා සමග ලෝකය දකින්න දැඩි බලාපොරොත්තු දැල්විලා.ඉතින් එතකම් අපි තොටිල්ලේ සිටින අපේ පුංචි පැටියා සමග මේ විදිහට කටයුතු කරමු…

මව්කිරි දෙන විට ඇස්වලට සම්බන්ධ කර ගන්න…

- Advertisement -

eye-contact හෙවත් ඇස් අතර සම්බන්ධතාවය ගැන අධ්‍යනයන් මගින් පෙන්වා දෙන්නේ පුද්ගලයන් අතර අන්තර් සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට ඇස් අතර ඇති වෙන සම්බන්ධතාවය ඉතාම වැදගත් බවයි. හැබැයි මේ අදහස අද අධ්‍යනයන් මගින් සනාථ වුනත් අතීතයේදී අත්තම්මලා කිව්වේ මුහුණ බලාගෙන කථා කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා ගැන විශ්වාසය තබන්න බැරි බවක්.මේ සංකල්පය අද මනෝවිද්‍යඥයින් දකින්නේ අපි හෘදයංඟම විදිහට බැඳීමක් ගොඩ නගා ගැනීමේ මාර්ගයක් විදිහටයි.

ඉතින් පුංචි පැටියාටත් අම්මගේ ඇස් අතර සම්බන්ධතාවය ලබා දෙන්න හැකියාව තිබෙන පහසුම අවස්ථාවක් තිබෙනවා.පැටියාට මව්කිරි දෙන හැම අවස්ථාවකදීම දරුවාගේ ඇස් අතර සම්බන්ධතාවය ගොඩ නගා ගන්න. ඉස්සර කාලයේ අම්මලා නම් දරුවාට කිරි දෙන අවස්ථාව බොහොම වැදගත් විදිහට සැලකුවා.කාටවත් නොපෙනෛන විදිහට පියයුරු පවා සුදු රෙද්දකින් වසා ගෙන දරුවාගේ ඇස් අතර සම්බන්ධතාවය ගොඩ නගා ගනිමින් දරුවා මව්කිරෙන් පෝෂණය කිරීම අතීතයේ මව්වරුන් අතර පැවැති සම්ප්‍රදායක් තරමටම සමාජගතව තිබුණා.

ඉතින් අද අම්මලාටත් මේ කාලයෙන් ප්‍රයෝජන ගන්න පුලුවනි. ජංගම දුරකතනය පැත්තක තියලා කිරි දෙන කාලයේදී දරුවා සහ ඔබේ ඇස් අතර සම්බන්ධතාවය හොඳින් පවත්වා ගන්න තවමත් කිසිම බාධාවක් නැහැ. කොච්චර වැඩ රාජකාරි තිබුනත් දරුවාට කිරි පොවන කාලය ඔවුන් සමග අනිවාර්යෙන්ම ගත කරන්න තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.මවකගේ ගෙල වටා බැදෙන වටිනාම ආභරණය දරුවාගේ දෑතයි.

දරුවාට කතා කරන්න…

මව්කිරි දෙන අතරවාරයේදී ඔබ ආදරයෙන් දරුවාට ආමන්ත්‍රණය කරන්න. ඔවුන් ස්පර්ශ කරන්න. ඔබේ ස්පර්ශය දරුවාට ඉතාම වැදගත්.ඒ නිසා ඉතා මෘදු ලෙසින් දරුවාගේ හිස පිරිමදින්න.ඉස්සර අම්මලානම් මේ පිරිමදින අතරවාරයේ බුදුගුණ කවි..පිරිත් සුත්‍ර පවා ගායනා කරමින් දරුවාට ආශිර්වාද ලබා දුන්නා.ඔබ දරුවාට කතා කරන ආදරණීය වචන ඔවුන්ගේ අනාගත ජීවිතයේ පදනම බවට පත් වෙනවා.

නිදිකරවන විට නැළවිලි ගී…

දැන්නම් ඉතින් අම්මලාට නැළවිලි ගීත ගයන්න වෙලාවක් නැහැ කියමුකෝ…ඒ වුනත් නැළවිලි ගීතයක තිබෙන රිද්මය, මිහිරියාවට දරුවා නොදැනීම ආකර්ශනය වෙනවා.ඒත් අද දරුවන්ට නැළවිලි ගීත ගයන අම්මලා තබා අත්තම්මලාත් නම් නැහැ. හැබැයි පද කීපයක් මිහිරි විදිහට ගායනා කරන්න පුලුවන් නම් නැළවිලි ගීතයක් ගායනා කරනවා කියන්නේ අරුමයක් නොවෙයි. මේ නැළවිලි ගීතයේ රිද්මයට දරුවා හොදින් නිදාගනිවි.

මගේ පුතුට බුදුසරණයි 

මගේ පුතුට දම්සරණයි

මගේ පුතුට සඝසරණයි

මගේ පුතුට තුනසරණයි

 

උත්තම ගුණ ඇති වේවා

 ලත් තැන වැඩ සෑදේවා 

උවදුරු බයකුත් නේවා

 රෑ සඳ නුඹ රැකදේවා

 

දරුවාගේ අවශ්‍යතාවයන් දැන ගන්න..

පුංචි පැටියාට තමන්ගේ අවශ්‍යතාවයන් තවම වචනයෙන් කියන්න බැහැ. ඒ නිසා ඔවුන්ගේ එකම සන්නිවේදන මාධ්‍ය වෙන්න හැඬීම පමණයි.සිගිත්තා අඩන්නේ අවශ්‍යතාවයක් වෙනුවනුයි. ඔවුන්ගේ සන්නිවේදයට ඉක්මනින් ප්‍රතිචාර ලබා දුන්නොත් අනාගතයේදී දරුවා ස්වාධීන චරිතයක් ලෙසින් සංවර්ධනය වීමේ හැකියාව ලබා ගන්නවා. අතීතයේදී නම් දරුවන්ට අද වගේ ඩයපර් නොතිබුන නිසා නිතරම දරුවාගේ මළ මුත්‍රා ඉක්මනින්ම ඉවත් කරන්න අවශ්‍ය වුණා. ඒත් අද දවසේ ඩයපර් නිසා අම්මා එතරම් ඉක්මන් නොවුනත් දරුවා අඩන විට ඒ ගැන සොයා බැලීම වැදගත්.

දරුවාට සිනාසෙන්න උනන්දු කරන්න..

දරුවා තොටිල්ලේ සිටියත් ආහාරපාන වගේම මානසික සතුටක් අවශ්‍යයි.ඒ නිසා දරුවාට සිනාසෙන්න උනන්දු කරන්න. පුංචි පැටවුන් සිහිනෙන් සිනාසන විට කොතරම් සුන්දරැයි ඔබ දන්නවා. සිහිනෙන් පමණක් නොව පවුලේ සාමාජිකයන් සමගත් සිනාසෙන්න අවශ්‍ය උත්තේජනය ලබා දෙන්න.පැටියාට තවමත් හය හතර නොතේරෙන බව ඇත්ත. ඒ වුනත් ඔහු තොටිල්ලේ හුදෙකලා නොවිය යුතුය.නිතරම දරුවා සමග සිනාසෙන්න.සිඒ වගේම ඔහු සිනාගැන්වීමට උනන්දු වෙන්න.

ශබ්ද වෙත යොමු කරන්න..

පුංචි පැටියා අනාගතයේදී ශබ්ද වෙනුවෙන් නිරාවරනය වෙනවා. ඒ වගේම වර්ණ වලින් දරුවාගේ මනසට ලැබෙන්නේ සතුටක්.අතීතයේදී දරුවාගේ තොටිල්ලට ඉහලින් වර්ණවත් උපාංගයක් එල්ලා තිබ්බා.. සමහර අම්මලා පාට පාට හැදි කීපයක් එකට ගැට ගසා ගෙන එය දරුවාට ඇසෙන්න නාද කලා. එහි වර්ණයට වගේම මෘදු ශබ්දයට දරුවාගේ අවධානය යොමු වුණා.

ඉතින් ඔබේ පුංචි දරුපැටියා තොටිලි වැට පැනලා උස් මහත් වෙන දවසක් ඒවි. අන්න ඒ දවසට ඔබේ දරුවා පොළවේ පය ගසා සිටින ශක්තියකින් යුක්ත වෙන්න නම් අද දරුවා ගැන ඔබේ වැඩි අවදානයක් ලබා දීම ඉතාම වැදගත්.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article