දරුවන් “භාෂාව” ඉගෙන ගන්නේ කොහොමද? (පළමු කොටස)

දෙමව්පියන් හට දරුවන් යනු මෙලොව දී හිමි වන විශාලතම ත්‍යාගය ලෙස හැදින්විය හැකිය. එවන් වටිනාකමක් ඇති දරුවා භාෂාව, කතාව ඉගෙන ගනු ලබන්නේ කෙසේ දැ යි ඔබ මොහොතකටවත් සිතුවාද? 

සරල ප්‍රශ්නයක් අසන්නම්. ඔබේ දරුවා කුඩා අවධියේ සිට මිනිසුන් නොමැති පරිසරයක තනියම වැඩෙනවා යැයි මොහොතක ට සිතන්න.  එවිට ඔබේ දරුවාගේ භාෂාව, කතාව කෙසේ වේවිද? ඔබට සිතා ගැනීමට පුලුවන්ද? එමෙන් ම ඔබේ දරුවා අප රටේ ඉපදුනු නිසා සිංහල, දෙමළ හෝ වෙනත් අපේ රටේ පවතින භාෂාවක් භාවිතා කරනවා මෙන්ම ඔබේ දරුවා වෙනත් රටක වෙනත් භාෂාවක් කතා කරන පිරිසක් සමඟ වැඩෙනවා නම් දරුවා කුමන භාෂාවක් කතා කරාවි ද? ඉගෙන ගනීවි ද? අද අප කතා කරන්නට යන්නේ ඒ පිළිබඳවයි.

දරුවෙකු තම භාෂාව ඉගෙන ගනු ලබන්නේ කෙසේද? එය කවුරුන් හෝ විසින් ඉගැන්විය යුතු ද? සරල ම  පිළිතුර නම් “නැත” යන්නයි. මන්ද බොහෝ දරුවන් කුඩා කල සිට තමන්ගේ භාෂාව ඉතා ඉක්මනින් සාමාන්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකින් තොරව, දෙමාපියන්ගේ ඉගැන්වීමකින් තොරව නිරායාසයෙන්ම ඉගෙනීමට හැකියාව ඇති ව  උපත ලබයි.

නමුත් දෙමාපියන් සෘජුව ගුරුවරුන් මෙන් දරුවන්ට භාෂාව ඉගැන්වීම නො කළ ද ඔවුන් දරුවන්ගේ භාෂා වර්ධනය අලලා ඉතාමත් ප්‍රධාන චරිතයකට පණ පෙවීම සිදුකරයි. මන්ද, ඔබ දරුවා සමඟ කුළුපගව කටයුතු කිරීම හා දරුවා සමඟ හැසිරෙන ආකාරය මඟින් දරුවාගේ භාෂා වර්ධනය වෙනස්වීමට හා ඉතා වේගයෙන් වර්ධනය වීමට ඉඩකඩ පවතී. 

කුඩා කාලයේදී දරුවා සමඟ කතා කිරීම, ගීත ගායනා කිරීම, නිතර සෙල්ලම් කිරීම, ශබ්ද නැගීම වැනි දේ කරනවාත් සමඟම දරුවා ඔබ සමඟ කුළුපග වීම ආරම්භ කරයි. මෙහිදී දරුවා තම දෙමව්පියන් හා නිවසේ වෙනත් වැඩිහිටියෙකු නැතහොත් වෙනත් කුඩා දරුවන්, සහෝදර සහෝදරියන් සමඟ සම්බන්ධතාවය ආරම්භ කරනු ලබයි. 

කුඩා කාලයේ වැඩෙන දරුවාගේ භාෂා පරිසරය වාචික සංවාද වලින් පිරුණු තැනකි. මන්ද දරුවා නිවසේ සිටින විට, නිදි යහනේ සිටින විට ඔහුට හෝ ඇයට ඇසෙනුයේ තම දෙමව්පියන් නිවසේ කතා කරන ආකාරය, තම වැඩිමල් සහෝදර සහෝදරිය සමඟ නිවැසියන් කතා කරන දෙබස් ආදී විශාල වාචික සංවාද ප්‍රමාණයකි. දරුවාට මේ සියල්ල නොතේරුණත් දරුවාගේ පරිසරයේ සුලභව ඇසෙන භාෂාව ට අදාළ ශබ්ද වචන ක්‍රමයෙන් දරුවා ග්‍රහණය කර ගැනීමට පටන් ගනී. ඔබ සිංහල භාෂාව භාවිතා කරනවා නම්, දරුවා ද සිංහල භාෂාව ඉගෙන ගනු ලබන්නේත්, ඔබ දෙමළ, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් භාවිතා කරනවා නම් දරුවා ද එම භාෂාවට අදාළ ශබ්ද හා වචන ප්‍රකාශ කිරීම ආරම්භ වන්නේත් ඒ හේතුව නිසාවෙනි. 

ඒ හේතුව නිසාම ඔබ දරුවා සාමාන්‍ය වර්ධනයක් සහිත දරුවකු නම් භාෂා දෙකක් හෝ කීපයක් භාවිතා කළ ද දරුවා භාෂා වර්ධනය ට ප්‍රශ්නයක් නොවන බව පවසන්නේ මෙම තර්කය පදනම් කර ගනිමින් ය. 

තව ද  ඔබ කුඩා දරුවකු සුරතල් කරන විට, කුඩා දරුවෙකු ට කතා කරන විට ඔබගේ කතා විලාශය වෙනස් කිරීම සුලභ දෙයකි.  ඇතැම් විට ඔබ ඒ පිළිබඳ නොසිතුවා විය හැකිය. ඔබ කුඩා දරුවෙකු සමඟ කතා කරන විට ඇද පැද, ලයාන්විතව ළමා උච්චාරණ ස්වරූපයකින් ( Baby talk) කතා කරනුයේ දරුවා නලවා ගැනීම ට වුවත් එහි විද්‍යාත්මක පැතිකඩ තරමක් වෙනස් වුවකි. එමගින්  සිදුවන වැදගත් ම දේවල් නම් දරුවා සමඟ ද්වි පාර්ශවීය සන්නිවේදනය ආරම්භ කිරීම මෙන්ම දරුවාගේ වැඩි අවධානයක් ඔබට ලබා ගැනීම හා ඔබ භාවිතා කරන භාෂාව දරුවා ට ලබා දීම බව ඔබ නොදැන සිටියා විය හැකි ය.

Baby talk දරුවා ගේ භාෂාව ඉගෙනීමට මහත් රුකුලකි. මන්ද ඔබ එලෙස කතා කරන විට වචන වල වැඩි ප්‍රමාණයක් සරල වචන ගැබ් වී තිබීම, විවිධ ශබ්ද අන්තර්ගත වීම, මුහුණ දෙස බලමින් දරුවා සමඟ කතා කිරීම හරහා දරුවාගේ ඇසට ඇස බැලීම වර්ධනය වීම, සරල ව්‍යාකරණ පැවතීම, විවිධ ස්වර පරාස වලට යමින් කතා කිරීම කතාකිරීම, දරුවා ගෙන් ප්‍රශ්න නැගීම, දරුවාට මුහුණේ ඉරියව් හා හරහා අවාචික සන්නිවේදනය ඇතිවීම ආදී බොහෝ භාෂාමය කුසලතා වර්ධනය වීම ද මේ හරහා සිදුවන බව වර්තමානයේ පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here