භාෂාව යනු මිනිසාගේ මුලිකම සන්නිවේදන මාධ්‍යයි. දරුවා භාෂාවේ ඉගෙන ගනු ලබන ආකාරය හා ඊට දෙමව්පියන් විසින් සලසා දිය යුතු පරිසරය හා ඒ හා බැඳී පවතින මතවාද පිළිබඳ සාකච්ඡා කරන ලිපියේ දෙවන කොටසයි මේ දිගහැරෙන්නේ.
භාෂාව වූ කලී ඉමහත් සංකීර්ණ ප්‍රස්තුතයකි. හුදෙක් මිනිසාට පමණක් පොදු වූ මෙම භාෂාව ඇතැම් සතුන් තුළ ද පවතින බවට හඳුනාගෙන ඇත. පළමු ලිපිය තුළ දරුවාගේ භාෂාව ඉගෙනීමට අවශ්‍ය පසුබිම සැකසෙන අයුරු සාකච්ඡා කර ඇති අතර මෙම ලිපිය එහි දිගුවකි.
විධිමත් ඉගැන්වීම් ක්‍රමවේදයකින් තොරව දරුවා භාෂාව ඉගෙන ගන්නා බව ඔබට දැන් වැටහෙනවා ඇති. තනි වචන කතා කරන දරුවා සංකීර්ණ වාක්‍ය රටාව හා ව්‍යාකරණ කෙසේ ඉගෙන ගනීවි ද? ඔබ ඒ පිළිබඳ මොහොතක්වත් සිතුවාද?
තවද වැදගත්ම දෙය නම් වර්තමාන දරුවන්ගේ පළමු වචන කිහිපය හා වාග් වාග්මාලාව දරුවාගෙන් දරුවාට වෙනස් වීමයි. දෙමව්පියන් වශයෙන් ඔබගේ කුඩා කල වාග්මාලාව හා වාක්‍ය රටාව අද ඔබගේ දරුවාගේ වාග් මාලාව හා වාක්‍යය රටාවෙන් වෙනස් වී ඇති බව මොහොතක් සිතුවොත් ඔබටත් වැටහේවි. මෙය කාලානුරූපී වෙනස් වීමකි. උදාහරණයක් ලෙස දෙමාපියන් වශයෙන් ඔබ කුඩා කල “පාන්” යන වචනය පළමු පෙළ වචනයක් ලෙස පවසා ඇතැයි සිතමු. නමුත් වර්තමානයේ ඔබගේ දරුවා පාන් යන වචනය පැවසීමට පෙර “Pizza” යන වචනය පැවසීමට හැකියාවක් ඇත. ඊට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ වර්තමාන සමාජ ආර්ථික පසුබිමයි. බොහෝ නගරාසන්න දරුවන් ගත කරන ජිවන රටාව හා ඔවුන් වැඩෙන පරිසරය හා බැඳී පවතින වචන ඔවුන්ගේ පළමු පෙළ වාග්මාලාව ට පැමිණෙන අතර දුෂ්කර පළාතක වැඩෙන දරුවන්ගේ වාග්මාලාව එම දරුවා වැඩෙන පරිසරය හා සමාජ ආර්ථික ක්‍රමය අනුව සැකසෙන වචන වීමට හැකියාව පවතී. එම නිසා දරුවාගේ භාෂා වර්ධනයට දරුවා වැඩෙන පරිසරය හා සමාජ ආර්ථික පසුබිම බලපාන බවද එම වාග්මාලා වෙනස සාමාන්‍ය තත්ත්වයක් බව ද ප්‍රකාශ කළ යුතුමය.
දරුවා වැඩෙත් ම දරුවාගේ වාග් මාලාව තුළ පවතින දරුවා තේරුම් ගන්නා වචන (Receptive vocabulary) හා දරුවා වාචිකව ප්‍රකාශ කරන වචන (Expressive vocabulary) ප්‍රමාණය වැඩිවීම ක්‍රමික වර්ධනයකි. එම වර්ධනයත් සමඟ ම දරුවාගේ වාග් මාලාව තුළ පවතින වචන එකතු කර ගනිමින් වාක්‍ය තැනීමට පෙර වාක්‍ය ඛණ්ඩ (Phrases) තැනීම ආරම්භ කරයි.
උදා: බබා අත (බබාගේ අත)
අම්මා කෝප්පය (අම්මගේ කෝපය) ආදී
මේවා සම්පූර්ණ වාක්‍යය නොවුනත් දරුවා අයිතිය හගවන වාක්‍ය හෝ දරුවා තුළ පවතින වචන එකතු කරමින් වාක්‍ය ඛණ්ඩ සැකසීම සිදු කරයි. ඉන් පසුව දරුවා ක්‍රමයෙන් ක්‍රියා පද, නාම විශේෂණ, නිපාත තම වාග් මාලාව ට එකතු කර ගනී.
ඉන් පසුව දරුවා තමා ප්‍රකාශ කරන වාක්‍ය ඛණ්ඩ තවත් වචනයක් හෝ කීපයක් වැඩි කරමින් ඉදිරිපත් කිරීම භාෂා වර්ධනයක් සමඟ සිදු කරයි.
උදා: අම්මා බත් කනවා
සුදු පාට කාර් ආදී
මෙම වාක්‍ය බොහෝ විට ව්‍යාකරණානුකූල ව නිවැරදි ම විය නොවිය හැක. නමුත් දෙමව්පියන් වශයෙන් ඔබට කළ හැකි වැදගත් ම දේවල් අතර දරුවන් ප්‍රකාශ කරන කෙටි වාක්‍ය ට තවත් වචනයක් එකතු කර දරුවාට කියා දීම නැතහොත් දරුවා ව්‍යාකරණානුකූල නොවන වාක්‍ය තනන විට ඒවා අගය කරමින් නිවැරදි කිරීම ආදිය මගින් දරුවාගේ වාචික ප්‍රකාශනය වර්ධනය කළ හැකි ය.
ඒ අනුව, දරුවා තුළ නිරායාසයෙන් පැමිණෙන භාෂාව ඉගෙනීමේ හැකියාව වර්ධනය වීමට බලපාන කරුණු, ඊට අවශ්‍ය පරිසරය නිවස තුළ සකසන අයුරු හා දරුවා සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔබට හරි වැටහීමක් තිබීම දරුවාගේ භාෂා වර්ධනය ට මහත් රුකුළක් බව පෙන්වා දිය හැකිය.
කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.