- Advertisement -

පුංචි ලිඳේ රස ගුණ වතුර

-

පොල් පිලිබඳව අපි වඩාත්ම කථා කරන්නේ මේද බහුල ආහාරයක් විදිහට එහි තිබෙන අගුණ පිලිබඳව පමණයි. එහෙත් දැන් සම්ප්‍රදායිකව අපි කථා බහ කළ අගුණට වඩා පොල් වතුරේ ගුණාත්මක බව  පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. මේ නව ප්‍රවනතාවාය පිලිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය  ටෙරන්ස් මදුජිත් මහතා විසින් 

අපේ පොල් යොදා ගත් අතුරු නිෂ්පාදන කීපයක් තිබෙනවා. දීසදි පොල්, කොප්පරා, වර්ජින් පොල් තෙල් . පොල් කිරි, පොල් පිටි, පොල්තෙල් සහ පොල්වතුර…

- Advertisement -

පොල්වතුර රසවත් වගේම සම්පූර්නයෙන්ම ස්වභාවික පානයක් බවට වූ පිලිගැනීම නිසා ඇමරිකාව, යුරෝපය, එක්සත් රාජධානිය, ජපානය, දකුණු කොරියාව සහ චීනය වැනි රටවලට අපනයන කිරීම සිද්ධ වුනා. පොල්වතුර අමුද්‍රව්‍යක් විදිහට භාවිතා කරමිින් කොකා  කෝලා (coca cola), Pepsico (පෙප්සිකෝ) වැනි නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන වෙනුවෙන් පොල්වතුර යොදා ගත්තා. ඒ වගේම අමුද්‍රව්‍යක් විදිහට පොල්වතුර යොදා ගත් නිෂ්පාදන විවිධාංගීකරණය නිසා ප්‍රභේද රාශියක් තිබෙනවා. උදාහරණයක් විදිහට රසය වෙනුවෙන් වැනිලා, කෝපි, ස්ට්‍රෝබෙරි  යොදා ගත්  පොල්වතුර නිෂ්පාදන වගේම ඇලුමිනියම් ඇසුරුම් ,කෑන්, විදිහට වෙනත් විවිධ ඇසුරුම් බිහි වුණා.

දැන් ලංකාවේත් විවිධ වර්ණ යොදා ගෙන රසවත් කළ සහ පැස්චරීකරණය කරන ලද කුඩා ප්‍රමාණයේ පොල්වතුර ඇසුරුම් විදේශ වෙළඳපොලට නිකුත් කරනවා. 2015 වසරේ පොල්වතුර ලීටර් මිලියන පහලොවක්  පමණ අපනයන කරල තිබෙනවා.

පොල්වතුර වෙනුවෙන්  සමාජයේ පිලිගැනීම ඇති වුනේ ….

බෝනොවන රෝග වෙනුවෙන් තිබෙන උනන්දුව නිසාම ආහාරවල සුරක්ෂිතාවය ගැන සමාජය උනන්දු වෙද්දී මේ නිසා හැම දෙනාම රසායනික නැත , අඩු මේද සහිත  සම්පූර්ණයෙන්ම  ස්වභාවික ආහාර වෙනුවෙන් යොමු වෙන්න පටන් ගත්තා. පොල්  වලට රසායනික යෙදීම ඉතාම අවමයි.

ඒ වගේම පොල්වතුර විෂබීජවලින් තොරයි. ස්වභාව ධර්මයෙන්ම ඒ වෙනුවෙන් නිර්මානය සිද්ධ වෙලා තිබෙනවා. ක්ෂුද්‍රජීවින්ගෙන් තොර පරිසරය ගෙඩිය වටා ඇති ආවරනය නිසාම ලැබී තිබෙනවා.

පොල් වතුරවල කැලරි ප්‍රමාණය අඩුයි. ආම්ලිකතාවය අඩුයි. PH අගය 5-6 ක් අතර . ඒත් පැණිබීම වලදී මේ ආම්ලික තාවය වැඩියි. පොල්වතුරවල  මේද ප්‍රතිශතයත් ඉතාම  අඩුයි.

පොල් ගෙඩියක වර්ධනයට වසරක් වැනි කාලයක් ගත වෙන අතර පොල් ගෙඩියක උපරිම  වතුර ධාරිතාවය තිබෙන්නේ මාස අටක කාලයේදී. එයින් පසුව පොල්වතුරේ ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ පොල්ගෙඩියකින් මිලිලීටර් තුන්සියයක් පමණ ලැබෙනවා. පැණිබීමට සාපේක්ෂව බලද්දී පොල්වතුරේ සීනි ප්‍රමාණය ඉතාම අඩුයි. පැණිබීම බෝතලයක සීනි ප්‍රමාණය ග්‍රෑම් 10-17 ක් පමණ වෙනවා.පොල්වතුර මීලිලීටර් සියයක අඩංගු වෙන්නේ සීනි ග්‍රෑම් හතරක්. පොල් ගෙඩිය මෝරන විට මේ තත්වය ග්‍රෑම් 2. 5 ක් පමණ දක්වා අඩු වෙනවා. 

පොල්වතුරේ ඛනිජ ලවණ, පොටෑසියම්, සෝඩියම් ,ක්ලෝරින්, මැග්නීසියම් වැනි සංඝටක  නිසා පොල්වතුරේ ජල විච්ඡේදක අගය රුධිර ප්ලාස්මාවේ පවතින ජලවිච්ඡේදක අගයට  ඉතාම සමානයි. ඒ නිසා සිරුරේ ලවණතාවය රැක ගැනීමට පුළුවන්. මේ  නිසා පශ්චාත් ලෝක යුධ කාලයේදී සේලයින් වෙනුවට පොල්වතුර නික්ෂේපනය කරනු ලැබුවා.එය විජලන තත්වයට ගුණ ලබා දෙන ඖෂධ නික්ෂේපනයක් විදිහට සාර්ථක වුනා.

පිලිකා රෝග පාලනය කළ හැකියි

පොල්  වතුරේ අඩංගු  Cytokinin සංයෝගය මගින් ඇතැම් පිලිකා රෝග පාලනය කළ හැකියි. ඊට අමතරව පොල් වතුරේ එන්සයිම ගණනාවක් අඩංගුයි. උදාහරණයක් විදිහට Phosphatase  (පොස්පටේස් ), diastase  (ඩයස්ටේස් ) , Reaductase ( රිඩක්ටේස් )මෙම එන්සයිම මගින් ජීරණය පහසු කරනවා. විටමින් C සුලු ප්‍රමාණයක් අඩංගුයි. විටමින් B කාණ්ඩයේ රයිබොප්ලේවින්, නියැසින් සහ Aauxin වැනි ශාඛමය හෝර්මෝනයත් පොල්වතුරේ අඩංගුයි.

පොල්වතුරේ වැඩි වශයෙන් තිබෙන්නේ සුක්රෝස්. ඊට අමතරව Sorbitol ෆ්‍රක්ටෝස්, (Galactose) Xylose, Mannsoe වැනි සීනි වර්ග ඇතුලත් වෙනවා. පොල්ගෙඩිය මෝරන විට සුක්රෝස් වැඩි වෙලා අනිත්  සීනි පහළ වැටෙනවා.

පොල්වතුරේ තිබෙන  ආවේනික සුගන්ධයට හේතු වෙන්නේ  Aldehyde වාෂ්පශීලී සංයෝගයි.

පොල්වගාකරුවන් නයිට්‍රජන් යොදා ගත්තාට පොල්වතුරේ සංයුතියට බලපෑමක් වෙන්නේ නැහැ.  පොටෑසියම් සහ පොස්පරස් පොහොර නිසා පොල්වතුරේ තිබෙන පොටෑසියම් පොස්පරස් ඉහල යන බව සොයා ගෙන තිබෙනවා. එහෙත් පැහැයට හෝ ගන්ධයට  එයින් වෙනසක් ඇති වෙන්නේ නැහැ. පොල්ගෙඩිය මෝරන විට ප්‍රතිඔක්සිකාරක ගුණය පහළ යන බව දැන් සොයා ගෙන තිබෙනවා. පොල්වතුර රත් කරන විට ලා දුඹුරුපැහැයක් ගන්නේ පොල්වතුරේ තිබෙන polyphenol oxidase එන්සයිම නිසයි.පොල්වතුර සකසන අය කල්තබා ගැනීමට ඇස්කොබික් අම්ලය එක් කරනවා. එයින් නිෂ්පාදනයේ ගුණාත්මක බව ආරක්ෂා වෙනවා.

ලෝකයේ පොල්වතුර නිෂ්පාදනයෙන් ඉහළින් සිටින්නේ බ්‍රසිලයයි.  පොල්වතුර පැසවීමට ලක් කරල නටාඩි කොකෝ  (Nata de coco)වැනි මිළ අධික ආහාර් නිෂ්පාදනය කරනවා. ඉන්දුනීසියාව, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල මෙය මිළ අධික අතුරුපසක්.

පොල්වතුර සකසන විට ඉහළ උෂ්ණත්වයක රත්කරල වේගයෙන් නැවත සිසිල් කරනවා. මෙය UHT ක්‍රියාවලිය යනුවෙන් හැඳින්වෙනවා. එයින් පසුව සුරක්ෂිත තත්වයක් තුළ කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරලා මුද්‍රා තබා විදේශ වෙළඳපොලට යවනවා. පොල්වතුර වෙනුවෙන් විදේශවෙළඳපොලේ ඇති වටිනාකම කොතෙක්ද කිවහොත් මිලිලීටර් තුන්සියයක පැකැට්ටුවක් ඇමරිකානු ඩොලර් හයක් පමණ වෙනවා. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආහාර විද්‍යා  හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා

 

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article