- Advertisement -

ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත දරුවෙක් ගොඩ නගමු…

-

ඔබට ඔබේ දරුවා රටක් ,ලෝකයක් වටිනවා. ඒ වගේම ඔබේ දරුවාගෙන් රටට ලෝකයට කරදරයක් නොමැති නම්..ඔහු යහපත් චරිතයකින් සමාජ හිතකාමී පුද්ගලයෙක් ලෙසින් සමාජය සමග ගණුදෙනු කරනවා නම් ඔබට ඊටත් වඩා තවත් සතුටක් නැහැ.එහෙමනම් ”ආත්මසාක්ෂාත්කරණයෙන් “යුක්ත දරුවෙකු හෙට සමාජයට දායාද කිරීම දෙමව්පියන් ලෙස අද දවසේ ඔබේ යුතුකමයි.

ආත්ම සාක්ෂාත්කරණය කියන්නේ..

- Advertisement -

සෑම පුද්ගලයෙකුටම අනන්‍ය වුන එහෙම නැත්නම් ඔවුන්ට සුවිශේෂී හැකියාවන් තිබෙනවා. මේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්නේ දෙමව්පියන් විසින්. මෙම හැකියාවන් සහ කුසලතාවයන් ඔබ විසින් හඳුනාගෙන දරුවාට ඒවා සංවර්ධනය කර ගැනීමට ඉඩක් ලබා දීම ඉතාම වැදගත්.එසේ සංවර්ධනය වුන දරුවා අනාගතයේදී තමාගේ හැකියාවන්ගෙන් සමාජයට උපරිම සේවාවක් සැපයීමට සූදානම්.ඒ වගේම තමන් උගත් දෙයින් ඔවුන් තෘප්තිමත් වේවි.මානසික සැහැල්ලුවෙන් යුක්ත පුද්ගලයෙකු ලෙසින් ඔහු සමාජ වගකිම් සහ යුතුකම් ඉටු කරන ඵලදායී පුද්ගලයෙකු ලෙසින් අනාගතයේදී සමාජගත වීම හෙවත් ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයෙකු බවට පත් වේවි.

ආත්ම සාක්ෂාත්කරණයට පත් දරුවෙකු වෙතින් ඉස්මතු වෙන සුවිශේෂී ගුණාංග….

උගත් ශිල්පයෙහි ප්‍රවීනයෙකු වීම.

ඔබේ දරුවාට බාල කාලයේ පටන් ඔහු වෙතින් ප්‍රකට වෙන හැකියාවන් සහ කුසලතාවයන් හඳුනා ගෙන ඒවා සංවර්ධනයට ඔබෙන් ලැබෙන දායකත්වය නිසා දරුවා අනාගතයේදී තමා උගත් දෙයින් ප්‍රවීනයෙකු බවට පත් වෙනු ඇත. මෙතැනදී අදහස් කරන්නේ විභාග ඉලක්ක කර ගත් අධ්‍යාපනය පමණක් නොවේ.සාමාන්‍යයෙන් අධ්‍යාපනයට සම්බන්ධ පොදු විභාග ඉදිරියේදී දරුවා දක්ෂකම් ප්‍රදර්ශනය නොකළත් ඔහු සතුව සුවිශේෂී හැකියාවන් සහ කුසලතාවයන් රාශියක් තිබිය හැක. මව්පියන් ලෙසින් ඔබ ඒවා හඳුනා ගෙන සංවර්ධනයට ලබා දෙන දායකත්වය නිසා ඔබේ දරුවා අනාගතයේදී ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයෙකු වීම ඉතාම සරල සංසිද්ධියක් බවට පත් වෙනු ඇත.

දරුවාගේ කුසලතාවයන් සමාජයට යෙදවීම

ඔබේ දරුවා ඔහු සතුව පැවැති හැකියාවන් සහ කුසලතාවයන් සංවර්ධනය කර ගත් දිනක එයින් වැඩි ප්‍රතිලාභයක් සමාජයට අත් වෙනු ඇත.මෙතැනදී දරුවාගේ අකුරු ශාස්ත්‍රය පමණක් නොව සෞන්දර්යාත්මක හැකියාවන්ද සමාජයට ඉතාම යහපත් අන්දමින් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස කිවහොත් ඔබේ දරුවා දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූයේ නම් ..එසේත් නැත්නම් ගායන ,වාදන හිල්පියෙකු වූයේ නම් ඔහුගේ හැකියාවෙන් නිවුන සමාජයක් නිර්මානය කිරීම දුෂ්කර කාර්යක් නොවේ. ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයා තමාගේ හැකියාවන් සමාජයට දායාද කිරීමට නිර්ලෝභීව ඉදිරිපත් වෙන චරිතයකි.

ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරයි..

අද බොහෝ පුද්ගලයන් යම් කටයුත්තක්  කරන්නේ එහි ප්‍රතිලාභයක් ලෙසින් තමා ප්‍රසිද්ධ කර ගැනීමයි.එහෙත් ජන වහරේ කියන පරිදි ”පිරුණ කලේ සෙලවෙන්නේ නැත…”ඔබේ දරුවා ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයෙකු වන නිසා ඔවුන් කිසි විටෙකත් ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරනු ඇත.ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් පුද්ගලයෙකුට යම් සේවාවක් සලසා එහි ප්‍රතිලාභය ලෙසින් ආත්ම තෘප්තියට පත් වීම පමණි.

සරලයි…

ආත්ම සාක්ෂාත්කරණයට පත් පුද්ගලයා පරිපුර්ණ චරිතයකි. ඒ නිසාම ඔවුන්ගේ ගති පැවැතුම් බෙහෙවින් සරලය. නිහතමානීය. පුහු ආටෝපයන්ගෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ ඔවුන්ට ඇවැසි නැත.තමන්ගේ සරලබව, නිහතමානීත්වයම ඔවුන්ට ආභරණයක් වී ඇත.

විනයගරුකයි…

පුද්ගලයෙකු තුළ විනය ගොඩ නැගීමට නම් බාල කාලයේදී පටන්ම දෙමව්පියන් විසින් එම ශික්ෂණය ලබා දීම වැදගත්ය. විනය යනු නීති රීති පනවා ආරක්ෂා කළ යුතු දෙයක් නොවේ.සැබැවින්ම වටින්නේ ස්වයං විනයයි. අද බොහෝ වැඩිහිටි පුද්ගලයන් තුළ පවා නැත්තේද එයයි.කොවිඩ් වසංගතය හමුවේ පවා මෙම ස්වයං විනය නොමැතිකම නිසා වසංගත තත්වයෙන් පවා සමාජය පීඩාවට පත්ව සිටිති. එහෙත් ස්වයං විනයක් පනවා ගෙන කටයුතු කරන සමාජයකදී එය තවත් එක් අවස්ථාවක් තරම් සරල කටයුතත්කි.ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයා ස්වයං විනයකින් හැසිරෙන විනීත චරිතයක්ලෙසින් ගොඩ නැගෙනු ඇත.

අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හිදී..

ඔබේ දරුවා ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයෙකු ලෙසින් ගොඩ නැගුනොත් ඔවුන් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්හිදී වඩාත් සාර්ථක ගති පැවැතුම් ප්‍රදර්ශනය කරනු ඇත. සමාජයකදී අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් පවත්වා ගැනීම එතරම් පහසු කාර්යක් නොවේ. පුද්ගලයන් විවිධය. විෂමය. එවන් සමාජයක් තුළ සෑම පුද්ගලයෙකු සමග  මනා වූ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට නම් දරුවා තුළ ගොඩ නැගෙන ආත්ම සාක්ෂාත්කරණය වඩාත් ඵලදායී වෙනු ඇත.

ඉවසීම

පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ සමග ඉවසීමේ ගුනාංගය ගොඩ නගා ගැනීම ඉතාම වැදගත්.

”ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය…” කියන ලෙසින්ම ඉවසීමෙන් පුද්ගලයෙකු ලබන  ප්‍රතිලාභ වචනයෙන් විස්තර කළ නොහැක. ඒ නිසාම ඔබේ දරුවාටත් බාල කාලයේ පටන්ම ඉවසීමේ පුරුදු ගොඩ නැගීම ඉතාම වැදගත්.ඒ නිසා දෙමව්පියන් ලෙසින් දරුවාට බාල කාලයේ පටන් ලබා දෙන ශික්ෂනය ඉතාම වැදගත් වේ.

කාලය කළමනාකරණය

ආත්ම සාක්ෂාත්කරණයට පත් වීමට නම් කාල කළමනාකරණය ඉතාම වැදගත් වේ. කාලය රන් වලටත් වඩා වටිනා බැව් දරුවාට පැහැදිලි කර දෙන්න. අතීතයට එකතු වන කාලය නැවත කවදා හෝ නොලැබෙන බැව් සිහියේ තබා ගෙන අද දවසේ කටයුතු හෙටට කල් නොතබා අද දවසේම ඉටු කිරීමේ පුරුද්ද දරුවා තුළ ගොඩ නගන්න.දරුවන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් සංවර්ධනය කරන විට කාලය කළමනාකරණය කිරීමේ පාඩම අමුතුවෙන් කියා දිමට අවශ්‍ය නැත.

අභියෝගවලට සාර්ථකව මුහුන දීම..

අද දවසේ ඔබේ සෙවනේ වැඩෙන දරුවා හෙට දවසේ ස්වාධීන පුද්ගලයෙකු ලෙසින් සමාජගත වූ විට අභියෝග ඉදිරියේ මුහුණ දීමේ ශක්තිය අනිවාර්යෙන්ම ගොඩ නගා ගැනීම අවශ්‍ය වේ. එවැනි පෞරෂයක් නොවුන විට දරුවා අභියෝග ඉදිරියේ දුර්වල චරිතයක් බවට පත් වේ.ඒ නිසාම දරුවන්ගේ කුසලතාවයන් සහ හැකියාවන් සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන දායකත්වය හමුවේ දරුවා අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන හැකියාව දරුවා විසින්ම ගොඩ නගා ගනු ඇත.

එසේනම්…මව්පියන් ලෙස ඔබ දරුවාගේ අනාගතය අද දවසේ පටන්ම ගොඩ නැගීම වැදගත් බැව් අමතක නොකරන්න.දරුවා අනාගතයේදී ආත්ම සාක්ෂාත්කරණයෙන් යුක්ත පුද්ගලයෙකු ලෙසින් සමාජගත වීමට නම් දෙමව්පියන් ලෙස අද දවසේ ඔවුන්ගේ හැකියාවන් සහ කුසලතාවයන් සංවර්ධනයට ඔබෙන් ලබා දෙන දායකත්වය ඉතාමත් වැදගත්. 

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article