- Advertisement -

”ආත්ම මානය ” හෙවත් narcissistic personality disorder

-

දරුවන් අතර ගැවසෙන විට අපිට ඒ අයගේ විවිධ ගති පැවැතුම් ගැන හොඳ වැටහීමක් ලැබෙනවා.සාමාන්‍යයෙන් දරුවන් තුළ ආත්මාර්ථකාමී ගති පැවැතුම් දක්නට ලැබෙනවා. ඒ වගේම ටිකක් ආවේගශීලි වෙන අවස්ථාවනුත් නැතුවාම නොවෙයි. ඒත්..දරුවාගේ ආත්මාර්ථකාමීබව, ආවේගශීලිත්වය තවත් අයටහිරිහැරයක් හෝ පීඩාවක් වෙන අන්දමින් හැඩ ගැසී තිබෙනවා නම් එතැනදී දෙමව්පියන් සැලකිලිමත් වීම වැදගත්. දරුවා වෙතින් ගොඩ නැගෙන මේ පෞරෂ ඌනතාවය ”ආත්ම මානය ” හෙවත් narcissistic personality disorder ලෙසින් නම් කර තිබෙනවා.

  • ඉතින් මෙවැනි දරුවන්ගේ ගති පැවැතුම් ගැන ඔබ දැණුවත්ව සිටියොත් හොදයි නේද…?

අනුන් පීඩාවට පත් කිරීම

- Advertisement -

මෙම පෞරෂ ඌනතාවයට පත් දරුවන් අනුන් පීඩාවට පත් කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. එයින් ඔවුන් තෘප්තියක් ලබන්න සූදානම්. සතුන්ට පවා හිංසා කිරීමේ මානසිකත්වයකින් මේ දරුවන් පසුවෙනවා. ඇතැම් නරුම පාලකයන් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයන්ගේ බාල කාලයේදී මේ අන්දමින් අනුන් පීඩාවට පත් කරන ගති පැවැතුම් තිබෙන බැව් ඔවුන්ගේ චරිතාපදානයන්හි පවා සඳහන්ව තිබේ.

කෙසේ හෝ තමන්ගේ අරමුණ ඉටු කර ගැනීම

ආත්ම මානය ලෙසින් හැදින්වෙන මෙම දුර්වල පෞරෂ තත්වයට පත්ව සිටින දරුවන් කෙසේ හෝ තමාගේ අරමුණ ඉටු කර ගැනීමට වෙහෙස දරති.ඔවුන්ට දෙමව්පියන්ගේ අපහසුතාවයන් ගැන තැකීමක් නොමැත. තමාගේ අවශ්‍යතාවය ඉෂ්ට වුනොත් එය ප්‍රමාණවත්ය.ඒ නිසාම පවුලේ දෙමව්පියන්.සහෝදරයන් පීඩාවට පත් කරමින් හෝ තමාගේ අරමුණ ඉටු කර ගැනීමට මේ දරුවන් නිරන්තරව උත්සාහ දරති.

බොරු කීමට මැලි නැහැ

මේ පෞරෂ ඌනතාවයට පත් දරුවන් අනවශ්‍ය අන්දමින් පවා බොරු කීමට වැඩි නැඹුරුතාවයක් දක්වති.ඔවුන්ගේ අරමුණ ඉටු කර ගනු වස් බොරුවෙන් හෝ මව්පියන් මුලාවට පත් කිරීමට පසුබට නොවෙති.

විවේචනයේදී දරුණුයි

ආත්ම මානය පෞරෂ දුර්වලතාවයට පත්ව ඇති දරුවන්ට හොඳක් නරකක් පැහැදිලි කිරීම ඉතාම අපහසුයි.ඔවුන් එවැනි අවස්ථාවන්හිදී දැඩි විදිහට කිපෙනවා.ආවේගශීලිත්වයට පත් වෙනවා. වචන පවා ඉතාම දරුණු විදිහට හසුරුවනවා. 

අනුන් මත වැරදි පැවරීම

පුංචි පැටව් බොහොම සුන්දර වුනත් මේ අන්දමේ ආත්ම මානය නැමැති පෞරෂ දුර්වලතාවයට පත් දරුවන් කිසිම දිනක තමන්ගේ වරද පිලිගන්නේ නැහැ. කිතුල් ගහට ගිය මිනිසාටත් කියන්න කරුණු තිබුනා වගේ මේ දරුවන් නිතරම වරද අනුන් මත පටවන්න හරිම දක්ෂයි. අම්මා නිසා තමයි වුනේ…එහෙම නැත්නම් තාත්තා නිසා තමයි…යනුවෙන් අනුන් මත වරද පටවා තමා නිදොස් වීමේ ගති පැවැතුම් බාල කාලයේ පටන්ම මේ දරුවන් වෙතින් ප්‍රදර්ශනය වෙනවා.

සහයෝගයක් නැහැ…

මේ දුර්වල ගති පැවැතුම් ඇති දරුවන් කිසිම දෙයකදී සහයෝගයක් දක්වන්නේ නැහැ.ඒ වෙනුවට කඩාකප්පල් කිරීමට වැඩි නැඹුරුතාවයක් දැක්වීම මෙවැනි දරුවන්ගේ සිරිතයි.

ඉතින්…මේ ගති පැවැතුම් සමග දරුවාට වැඩෙන්න ඉඩ දිය යුතු නැහැ..

දරුවෙකුගේ මොළයේ සැලකිය යුතු වර්ධනයක් මුල් පස් වසර තුළ සිදු වේ.දරුවාගේ නළල ඉදිරිපස හෙවත් කොටසේ වර්ධනය සිදු වන්නේ වයස අවුරුදු විස්සක් වැනි අවධියකදීය. ගැටවර අවධියේදී දරුවාගේ අනිසි හැසිරීම් වෙනුවෙන් බාල කාලයේදී ලබන අත්දැකීම් වඩාත් සමීප බලපෑමක් ලබා දෙන නිසා ඔබ දරුවා හැඩගැස්වීමේදී මේ ගැනත් සලකා බැලීම ඉතා වැදගත්.

අනාගතයේදී ඔබේ දරුවා ”ආත්ම මානය ” නැමැති දුර්වල පෞරෂ තත්වයෙන් ආරක්ෂා කර ගැනීම ඔබ වැඩි අවදානයක් දැක්වීම ඉතාම වැදගත්. එසේනම් 

  • දරුවාගේ ගති පැවැතුම් සමග ඔබ කටයුතු කරන්නේ කෙසේද…?

නිතරම දරුවාගේ ආත්මාභිමානය ගොඩ නගන්න

දරුවන් කුඩා වුනත් ඔවුන්ටත් ආත්මාභිමානයක් තිබෙන බව අමතක නොකරන්න. ඒ නිසා කිසිම දිනකදී ඔබ විසින් දරුවාට ප්‍රසිද්ධියේ අපහාස කිරීමෙන් වලකින්න.

ඒ වගේම සෑම දෙනා අතින් යම් යම් වැරදි සිදු වෙන බැව් පහදා දෙන්න.වැරැද්දක් සිදු වූ විට එය පිලිගැනීමට සහ යලිත් එම වරද නොකර සිටීම වඩාත් සුදුසු බැව් පහදා දෙන්න.

කිසිම දිනක දරුවා තවත් අයෙකු සමග සංසන්දනය කිරීම නම් නොකලම යුතුය.එයින් දරුවා ගොඩ නගා ගත හැකියැයි ඔබ සිතුවත් එයින් සිදු වෙන්නේ දරුවාගේ පෞරෂය දුර්වල වීම පමණි.

දරුවාගේ සහයෝගය ලබා ගන්න. 

නිවසේ මෙන්ම අසල්වැසියන් සමග කටයුතු කරන විට දරුවාගේ සහයෝගය ලබා ගැනීමත් ඉතා වැදගත්. සහයෝගයේ පාඩම දරුවා එතැනින් උගනිනු ඇත.සමාජයේ ජීවත් වෙන විට සහයෝගය අවශය පැව් දරුවා එහිදී තේරුම් ගනු ඇත.

තීන්දු තීරණ ගැනිමේදී දරුවාගේ අදහස් යෝජනා භාරගන්න.

නිවසේ යම් කටයුත්තක් සිදු කරන විට දරුවාගේ අදහස් විමසන්න.ඇදුම් අඳින විටත් පුතා කැමැති ඇඳුමක් තෝරා ගැනීමට අවසරය දෙන්න.බාල කාලයේ පටන්ම පාවහන් දමා ගැනීම, කමිසය තනියම ඇඳ ගන්න අවස්ථාව ලබා දෙන්න.මෙය ළදරු පාසල් අවස්ථාවේ පටන් අනුගමනය කරන්න පුලුවනි. එවිට අනාගතයේදී දරුවා තවත් අයෙකු මත යැපෙන මානසිකත්වයෙන් නිදහස් වෙනු ඇත.

අනවශ්‍ය ඇගයීමත් සුදුසු නැහැ.

දරුවාට යම් ඇගයුමක් ලබා දිය යුතු බැව් ඇත්ත. ඒත් අනවශ්‍ය අන්දමින් ඔවුන් අගයන්න එපා. එවිට දරුවා අනාගතයේදීත් සමාජයෙන් බලාපොරොත්තු වන්නේද ඇගයීම පමණි. විවේචනය ඉදිරියේදී ඔහු දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු ලෙසින් ආවේශ විය හැක.

දරුවාගේ ආත්ම පාලනය ගොඩ නගන්න..

දරුවන් එකිනෙකාට වෙනස් බැව් ඇත්ත. ඇතැම් දරුවන් දැඩි ලෙසින් ආවේගශීලි වේ. එවැනි දරුවන් තුළ බාල කාලයේදී පටන්ම ආත්ම සංයමය ගොඩ නැගීමට කටයුතු කරන්න.

දරුවන් ඉදිරියේ මව්පියන්ගේ පාලනය අවශ්‍යයි.

දරුවන් ඉදිරියේ මව්පියන්ගේ ආවේගශීලි හැසිරීම් රටාවන් ප්‍රදර්ශනය වුනොත් දරුවන්ද ඒවා අනුකරණය කිරීමට පුරුදු වීමට පටන් ගනී. ඒ නිසා ඔවුන් ආවේගශීලී රටාවක් සමග වැඩෙනු මිස ආත්ම සංයමයකින් කටයුතු කිරීමට කිසිම දිනක යොමු නොවනු ඇත.

පවුල තුළ සහජිවනය

දරුවෙකු මව්කුස සිටින කාලයේදී පටන් මව සහ පියා ගැන අවබෝදයක් ලබන බැව් පර්යේෂකයන් පෙන්වා දී තිබේ. මාස දෙකක් පමණ වෙත්ම දරුවා මව්පිය, සහෝදර සහ නිවසේ එකට ජීවත්වෙන පුද්ගලයන්ගේ මුහුනු හදුනා ගනී.ළදරු පාසල් අවධිය වෙන විට දරුවා තවත් පුංචි සමාජයකට සම්බන්ධ වෙන අතර මේ සෑම දෙනා සමග එකට එක්ව ජීවත්වීමේ පාඩම දරුවාට කියා දීම ඉතාම වැදගත්.

සහකම්පනය උගන්වන්න

දරුවෙකුට ඔබ ලබා දිය යුත්තේ පොත පත පාඩම් පමණක් නොවේ.ඔවුන් තුළ සංවේදී සිතුවිලි ගොඩ නගන්න. කුරා කුහුඹුවාගේ පන් පාරේ යන එන අසරන, රෝගි පුද්ගලයන් වෙත පිහිට වීමේ අවස්ථාවන්හිදි උදව් වීමට හුරු කරන්න.සහකම්පනය නොමැති දරුවා අසම්පූර්ණ චරිතයකි.

එසේනම් මතු අනාගතයේදී ඔබේ දරුවා වෙතින් ”ආත්ම මානය ” නැමැති දුර්වල පෞරෂ ගති පැවැතුම් දුරස් කිරීමට නම් අද සුදානම් වෙන්න.

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article