විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ගේ වගීකීම මව්පියන්ට විතරක්ද?

තමන්ගේ පුංචි දරු පැටියට ඕටිසම් කියලා කිව්වොත් අම්මා තාත්තා හැටියට ඔබ විතරක් නෙවෙයි මමත් පිළිගන්න එකක් නැහැ. එක් වෛද්‍යවරයෙක්ගෙන් තවත් වෛද්‍යවරයෙක් වෙතට එතැනින් තවත් තැනකට එතැනින් පන්සල් පල්ලි දේවාලවලට දරුවා රැගෙන යන්න අම්මා තාත්තා කෙනෙක් පෙළඹෙනවා නම් ඒ ඇත්තටම දරුවාගේ තත්ත්වය ගැන නිවැරදි අබෝධයක් නොමැතිකම නිසා විතරක්ම නෙවෙයි මේ තත්ත්වය පිළිගැනීමට හිතේ තියෙන අකමැත්ත, විශ්වාස කළ නොහැකිකම කියන හේතු නිසයි. ඇත්තටම දෙමාපිය යුවළකට මෙවැනි තත්ත්වයකට එක්වරම මුහුණ දීම අසීරුයි. ඒත් අපි කවුරුත් ජීවිතය තුළ අපට හිමි වන සියලුම දේට මුහුණ දිය යුතුමයි. 

ඒ අතරේම ඕටිසම් තත්ත්වයේදී දරුවා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම නිසා ඇතැම් දෙමාපියන් මෙය මානසික රෝග තත්ත්වයක් විදියට දකින්නත් පෙළඹෙනවා. ඔටිසම් කියන්නේ ස්නායු සම්බන්ධ තත්ත්වයක් මිස මානසික රෝග තත්ත්වයක් නොවන බව අප පළමුව වටහා ගත යුතු කරුණක්. ඔටිසම් තත්ත්වය ඇති වූ දරුවෙකුට ප්‍රතිකාර කිරීමේදී බහුවිද කාර්ය මණ්ඩලයක් අත්‍යවශ්‍ය වන අතරම ඒ අතර මනෝවෛද්‍යවරයෙකුගේ කාර්යභාරයත් අත්‍යවශ්‍ය වෙනවා. 

දරුවෙක් ඕටිසම් තත්ත්වයට පත්ව ඇත්ද යන්න හඳුනා ගැනීමේ සිට පසු විපරම දක්වාම මනෝ වෛද්‍යවරයෙකුගේ සේවාව අත්‍යවශ්‍යයි. ඕටිසම් තත්ත්වය හා අනෙකුත් චර්යා නිසි සේ අධ්‍යයනය කොට හෝ ස්නායු ආබාධ වලින් වෙන්කරලා හඳුනා ගැනීමේ ක්‍රියාවලියේදී මනෝ වෛද්‍යවරයෙකුට සුවිශාල වී කාර්යභාරයක් පැවරෙනවා. දරුවා නිවසේදී, පාසැලේදී මෙන්ම සමාජයේදීත් හැසිරෙන ආකාරය පිළිබඳව නිවැරදිව තක්සේරු කොට නිවැරදිම තීරණය ගැනීම සඳහා මනෝ වෛද්‍යවරයෙකුගේ සහයෝගය අත්‍යවශ්‍යයි. දරුවෙකුට මෙවැනි තත්ත්වයක් ඇති බව හොඳින් නිරීක්ෂණය නොකොට තීරණය කළ හොත් ඒ දරුවාගේ ජීවිතය මෙන්ම පවුලේ අනෙක් සාමාජිකයන්ගේද ජීවිත අසරණ තත්ත්වයට පත්වනවා. බහුවිද කාර්ය මණ්ඩලයට සුදුසුකම් සපිරි මනෝ වෛද්‍යවරයෙකු ඇතුළත් වීම හරහා දරුවාට අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ක්‍රම සැලසුම් කිරීම, චර්යාවන් හැඩගැස්ස වීම, අධ්‍යාපනය ලබා දීම හා සම්බන්ධව අවශ්‍ය උපදෙස් හිමිවෙනවා.

මේ තත්ත්වයේදී මනෝ වෛද්‍ය උපදෙස් වැදගත් වන්නේ දරුවාට විතරද?

නැහැ.. ඒ උපදෙස් මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටින ඕනෑම මවකට පියෙකුට අවශ්‍ය වෙනවා. මොකද දරුවාට මෙවැනි තත්ත්වයක් ඇති බව කන වැකෙන පළමු අවස්ථාවේදී ඕනෑම මාපිය යුවළකගේ සිත සසල වෙනවා. ඔවුන් ඒක කිසිසේත්ම පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඔවුන් මානසිකව පහළට ඇද වැටෙනවා. මොකද මේ ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්ත්වයක් නිසා. එවිට ඔවුන් තවත් වෛද්‍යවරුන් පසු පස යන්න, වෙදහෙදකම් කරන්න, පන්සල් දේවාල වෙත යන්න පෙළඹෙනවා. ඒවා සාර්ථක පිළියම් විදියට දකින්න බෑ වගේම දරුවාගේ ප්‍රතිකාර ආරම්භ කරන්න මේ හේතු නිසා තවත් කල් ගත වෙනවා. මෙවැනි තත්ත්ව මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් දරුවා සාමාන්‍ය ජීවිතයට හුරුකරවීමට යම් පහසුවක් ලැබෙනවා. මෙන්න මෙතැනදී මව්පියන්ට මනෝ වෛද්‍ය සහය උපරිමයෙන්ම අවශ්‍ය වෙනවා.

මෙවැනි තත්ත්වයකදී මාපියන් හැසිරිය යුත්තේ කෙසේද?

මාපියන් දරුවෝ සම්බන්ධව සංවේදියි. මෙවැනි තත්ත්වයකදී ඒ නිසාම ඔවුන් කලබලකාරීයි. නොසන්සුන්. ආවේගශීලීයි. ඒත් ඔටිසම් තත්ත්වයේ සිටින මව්පියන් වශයෙන් ඔවුන් ඉතාම ශක්තිමත්ව මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි. එසේ නොවුණහොත් දරුවා පත්වන්නේ ඉතාම අසරණ තත්ත්වයකට. මෙවැනි දරුවෙකුට සන්සුන්ව කාලය ගත කරන්න මව්පියන් සහය විය යුතුය. මාපියන් වන අපිට, අපිව පාලනය කරගත නොහැකි වූවොත් මේ ගැටලුව විසඳා ගැනීමට තියෙන අවස්ථාවන් ගිලිහී යා හැකියි. ඒ වගේම අම්මාගේ වරදින් මේක වුණා තාත්තාගේ වරදින් තමයි මේක වුණේ කියමින් එකිනෙකා මත වරද පටවා ගැනීම කිසිසේත්ම සාධාරණ නැහැ. මොකද මේ තත්ත්වය ස්නායු සම්බන්ධ ගැටලුවක්. ඒ වෙනුවෙන් කිසිවෙක් වගකිව යුතු වෙන්නේ නැහැ. ඇත්තටම ඔටිසම් දරුවෙකුගේ මව්පියන් විදියට ඒ දෙන්නා එක් පැත්තක සහයෝගීව සිටීම බොහොම වැදගත්. මේක අභියෝගයක්. මේ වගේ සුවිශාල අභියෝගයත් සොබාදහමෙන් වුණත් ලබා දෙන්නේ ශක්තිමත් අයෙක්ට කියලා අපි හිතන්න ඕනේ. ඒ නිසා අභියෝගය බාරගත යුතුමයි. අතීතයේදී මෙවැනි තත්ත්වයකදී සැවොම අසරණ වුවත් අද වන විට ඇති පහසුකම් වගේම සුදුසුකම් සපිරි වෘත්තිකයන් නිසා එවැනි තත්ත්වයන්ට පත්වන්නේ නැහැ. මෙවැනි දරුවන් ජීවිතයට මුහුණ දීමට සුදුසු තත්ත්වයට පත්කර ගනිමින් අභියෝගය ජයගත් ධෛර්යවන්ත මව්පියන්ගේ ඉතා සුන්දර කතා බොහොමයක් තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ කැපවීම, සාර්ථකත්වය සහ සිය දරුවාගේ දියුණුව දැක ඉතා සතුටින් ජීවිතයට මුහුණ දෙනවා.

මෙවැනි දරුවෙක් සිටින පවුලක අනෙක් දරුවන් කළමනාකරණය කළ යුත්තේ කොයි ආකාරයෙන්ද?

මේ තත්ත්වය අනෙක් දරුවන්ගේ වයස අනුව වෙනස් වෙනවා. දරුවාගේ වයසට ගැලපෙන අයුරින් අවබෝධ කරවීම සිදුකළ යුතුයි. අනෙක් දරුවන් මේ තත්ත්වයේ දරුවාට සහයෝගය ලබා දීමට හුරු කළ යුතුයි. සමහර දරුවෝ ඉන්නවා මේ වගේ දරුවන්ව බුලී කරන, නමුත් එවැනි තත්ත්වයන් නිවස තුළ ඇති වීම වැළැක්විය යුතුයි. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සිටිද්දී දෙමාපියන්ට පවුලේ අනිත් දරුවන් මඟඇරෙන්න පුළුවන්. ඒ දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. තම සහෝදරයා පිළිබඳව වගකීමක් තමාටත් ඇති බව වයසට අනුව අනෙක් දරුවන්ට වටහා දිය යුතුයි. මේ කාර්යයේදී ඒ සඳහා ඔවුන්වද සම්බන්ධ කර ගැනීම මගින් ඔවුන් මඟ හැරීමද අවම කරගත හැකියි. ඒ වගේම විශේෂ අවශ්‍යතා ඇති සහෝදරයෙකු හෝ සහෝදරියක සිටීම ලැජ්ජා විය යුතු කරුණක් නොවන බවත් ඔහු/ඇය නිසි ප්‍රතිකාර ක්‍රම හමුවේ සුව අතට හැරී ජීවිතයට මුහුණ දෙන බවත් වටහා දීම වැදගත් වේ. සමාජය දකින විදිය වෙනස් වුණත් ලැජ්ජාවට පත්විය යුතු නැති බව වටහා දිය යුතුය.

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු දෙස සමාජය දකින විදිය වෙනස් කළ නොහැකිද?

සමාජයට විශාල වගකීමක් තියෙනවා. ඒත් ඒ වගකීම හැම පුද්ගලයෙක් අතින්ම හරියටම ඉටු වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ගම්බද මිනිසුන් මෙවැනි දරුවෙක් දකින ආකාරයත් නගරබද මිනිසුන් දකින ආකාරයත් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා මේ තත්ත්වයේ දරුවෙකු අතහරින්න බැහැ. අන්න ඒකයි අභියෝගය කියන්නේ. මෙවැනි දරුවෙක් නිසා පොදු ස්ථානයකදී යම් පුද්ගලයෙක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. දරුවාගේ මව/පියා/භාරකරුට දොස් පවරන්න පුළුවන්. ඒත් සමාජය විදියට අප කළ යුතුතේ එය නෙවෙයි. සහයෝගයක් දෙන්න බැරි නම් අඩුම තරමේ මෙවැනි තත්ත්වයක් ඉවසීමෙන් දරා ගැනීමට අපේ සමාජය කටයුතු කළ යුතුයි. ඒත් එහෙම නොවුණා කියලා මෙවැනි දරුවෙකුගේ මව්පියන් දරුවා සායන වෙත රැගෙන යාම නතර කරලා නිවසටම කොටු කළ යුතු නැහැ. එහෙම යම් දරුවෙකුට සිදු වෙනවා නම් ඒක වෙන්නේ සමාජයේ වරදින්. හැම නිතරම සාමාජය විදියට අපි හිතන්න ඕනේ මේ තමන්ගේම දරුවා වුණා නම් කියන සිතුවිල්ලෙන්. ඒ කොහොම වුණත් විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සිටින මව්පියන්ට සමාජය තුළින් මේ යුතුකම් ඉටු වේවි කියා බලාපොරොත්තු වෙන්න අපහසුයි. ඒ නිසා ඔබ සිතිය යුතු‍ වන්නේ මේ ඔබේ දරුවා, ඔබ වෙහෙසෙන්නේ ඒ දරුවා සාමාන්‍ය තත්ත්වයට හුරු කර ගැනීමට. වටපිටාවෙන් එන නින්දා අපහාසවලින් නොසැලී බොහොම ශක්තිසම්පන්නව දරුවා වෙනුවෙන් මව්පියන් පෙනී සිටීමයි.

ඔබේ දරුවා පාසැලේදී අපහසුතාවයට පත් වූවොත්,

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ඔවුන්ටම විශේෂ වූ පාසැල්වල ඉගෙනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. නමුත් අපේ රටේ එවැනි දරුවන් සාමාන්‍ය පාසැල්වලත් සිටිනවා. එතැනදී ගුරුවරයාට විශාල වගකීම් පැවරෙනවා. පන්තියේ අනෙක් දරුවන්ගෙන් මේ දරුවාට හානිකර තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ගුරුවරයාගේ වගීමක්. ඒ සඳහා දෙමාපියන් විසින් ගුරුවරයා නිසි ලෙස දැනුවත් කළ යුතුයි. මෙවැනි දරුවෙකුගෙන් සාමාන්‍ය මට්ටමේ ඉගෙනීම් රටාවක්, හැසිරීමක් බලාපොරොත්තු වීම අපහසුයි. අන්න ඒ නිසාම ගුරුවරයෙකුගේ සුවිශේෂී අවධානය පන්ති කාමරය තුළදී මෙවැනි දරුවන්ට හිමි විය යුතුයි. 

අච්චිලා සීයලා මේ තත්ත්වය පිළිගන්න අකමැති නම්,

දරුවන්ට තියෙන ආදරේ නිසාම ආච්චා/සීයා මෙවැනි තත්ත්වයක් පිළිගන්න කිසිසේත්ම කැමති නැහැ. ඒත් ඒ ආදරේ නිසාම පිළිගග යුතු තත්ත්වයක් මේක. ඒ නිසා ඔවුන්ගේ උපරිම සහයෝගය දරුවන්ට ලබා දිය යුතුමයි. 

දරුවා වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවෙන්නේ අම්මා විතරක් නම්,

සායනවලදී බොහෝ විට දකින්න ලැබෙන්නේ අම්මා විතරයි. ඉතිං දරුවාගේ තාත්තාට මේ පිළිබඳ මනා අවබෝධයක් නොමැති විය හැකියි. ඒ නිසාම ඔවුන් මේ දරුවා සම්බන්ධව හොඳ බලාපොරොත්තුවක් නැතිව කටයුතු කරනාවා විය හැකියි. මේ විදියට සහයෝගයක් නොමැතිකම මත අම්මා එයාට කළ හැකි සීමාවෙන් ඔබ්බට ගොස් සිටිය හැකියි. අනෙක් දරුවන්ගේ වැඩ, ඉවුම් පිහුම්, රෙදි සේදීම වගේ නිවසේ කටයුතු සියල්ලත් එක්කම අම්මා කෙනෙක් උපරිමයෙන් වෙහෙසට පත්ව සිටිනවා. අන්න ඒ නිසාම ඇයට විවේකය අත්‍යවශ්‍යයි. සැමියාගේ වගේම නිවසේ අනෙක් වැඩිහිටි සාමාජිකයන් සිටී නම් ඇයට ඒ විවේකය ලබා දීමට උනන්දු විය යුතුයි. ඩුම තරමේ දවසට පැය භාගයක් එසේ නැතිනම් සති අන්තයේ හෝ ඇයව මේ භාරදූර වගකීම්වලින් නිදහස් කළ යුතුමයි. එසේ නොවුණහොත් අම්මා මානසික ආතතියට ලක්වීම වැළැක්විය නොහැකියි. 

ඔටිසම් දරුවන් වැඩිහිටි තත්ත්වයට පත් වූ පසු,

උපතින් ලැබෙන හැකියාවන් අපි කාටත් තියෙනවා. මේ වගේ දරුවෝ ඉන්නවා විශ්ව විද්‍යාලයට ඇතුළු වෙලා උපාධිය ලබාගත්. ඔටිසම් කියන්නේ සම්පූර්ණ අකර්මණ්‍ය තාවයක් නොවෙයි. මෙවැනි දරුවන්ගේ හැකියාවන් හඳුනා ඒවා වැඩිදියුණු කිරීම කළ යුතුයි. ඔවුන්ට සමාජය තුළ ජීවත් වන ආකාරය, ගැටලුවලට මුහුණ දෙන ආකාරය මෙන්ම ඒවාට ඔරොත්තු දීමේ හැකියාව දියුණු කළ යුතුයි. ජීවිතයට හුරු වීමට අසීමිත සහයෝගයක් ලබා දිය යුතුයි. 

 

බ්‍රිතාන්‍ය මනෝ වෛද්‍ය සංගමයේ, වරලත් සායනික මනෝවිද්‍යාඥ, කොතලාවල ආරාක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ නාවික හමුදාව නියෝජනය කරමින් සිය සේවාව සපයන ආචාර්ය කාන්ති හෙටටිගොඩ මහත්මිය සමගින් භාෂා හා කථන ව්‍යාධිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් සකසන ලද ලිපියකි

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here