- Advertisement -

පුංචි අයටත් ආතතිය

-

පුංචි හිත් මල් වගෙයි.බොහොම මෙලෙකයි. ඒ වගේම පුංචිම දෙයකින් වුනත් රිදෙනවා. සමහර රිදීම් නම් ටික වේලාවකින් සුවපත් වුනත් ඇතැම් රිදීම් නම් ඒ විදිහට සුවපත් වෙන්නේ නැහැ. ඉතින්.. මේ පුංචි හිත රිදෙන සිදුවීම් ගැන කිව්වොත්…

  • මව/පියා හෝ පවුලේ සමීපතම පුද්ගලයාගේ දුරස් වීම හෝ වියෝව
  • මව/ පියා විදෙස්ගත වීම
  • මව පියාගේ නිදන්ගත අසනීප
  • පාසලේ හෝ පංතියේ හිතමිතුරන්ගෙන් ඇති වෙන පීඩාව
  • තමා ආදරය කරන සුරතලාගේ වියෝව

සමහර සිදුවීම් දරුවාට දැනුනත් ඒවා වැඩිහිටියන්ගේ ඇසෙන් දකින විට ඉතාම සුලු සිදුවීම් වෙන්න පුලුවනි. දරුවන්ගේ සිතුම් පැතුම් වැඩිහිටියන්ගේ ලෝකයට සහ වැඩිහිටියන් සිතන පතන ආකාරයට වඩා වෙනස්. ඒ නිසා වැඩිහිටියන් විදිහට අප නොදකින නොසිතන ප්‍රශ්න දරුවාට දැඩි විදිහට පිඩාවක් දෙන මානසික ගැටුමක් බවට පත් වෙන්න පුලුවනි.

- Advertisement -

දරුවන්ගේ මානසික තත්වයත් විවිධයි.

එකම ප්‍රශ්නයේදී දරුවන් අතර එයට මුහුණ දෙන ආකාරය වෙනස් වෙන්න පුලුවනි. සමහර විටෙක අපි නොසිතන විදිහට ප්‍රහ්න ඉදිරියේ බොහොම ශක්තිමත්ව මුහුණ දෙන දරුවන් සිටිනවා. බාල කාලයේදී මව සහ පියා දෙදෙනාම මියගියත් ශක්තිමත්ව මුහුණ දීමෙන් බාල සහෝදරයන් සමග ජීවිතයට ශක්තිමත්ව මුහුණ දුන් දරුවන් සිටිනවා. ඒ වගේම පංතියේ මිතුරන්ගේ විහිලු තහලු ඉදිරියේ දැඩි විදිහට කම්පාවට පත්ව පාසල් අධ්‍යාපනය පවා අඩාල කර ගත් දරුවනුත් අප අතර සිටිනවා. මේ අන්දමින් ප්‍රශ්න ඉදිරියේ දරුවන් මුහුණ දෙන ආකාරය බොහොම වෙනස්. ඒ වෙනස ඉදිරියේ වැඩිහිටියන් විදිහට අපි පුංචි හිත් කියැවීමට නම් උගත යුතුමයි.

දරුවන්ගේ ආතතිය නොසලකා සිටින්න එපා

වැඩිහිටියන් විදිහට අපි නිතරම බලන්නේ අපේ පැත්තෙන් පමණයි. තවත් විදිහට දරුවන්ට මොන ආතතියක්ද..? ආතතිය තියෙන්නේ අපට නේ කියමින් අපව සාධාරණ කර ගැනීමටත් වැඩිහිටියන් දක්ෂයි.ඒ වුනත් පුංචි හිතේ කොනක සැගවිලා තිබෙන ආතතිය කාලයත් සමග මුල් බැස ගත්තොත් දරුවා නොදැනීම මානසික කම්පන තත්වයට පත් වෙන්නත් පුලුවනි.

දරුවෙක් කම්පන තත්වයට පත් වුනාම ඔබට ඒ බැව් දැනගන්න පුළුවනි.

ඔබේ පුංචි පැටියා කම්පන තත්වයට පත්ව ඇත්නම් ඒ බව ඔබට දරුවාගේ හැසිරීම් රටාවෙන් දැන ගන්න පුලුවනි.

  • වෙනදා වගේ ඔබේ පැටියා සතුටින් සිටිනු දකින්න බැරි වේවි. පුංචි හිතේ කොහේ කොනක බියක් සගවා ගෙන ජීවත්වෙන බවක් ඔබටත් හිතේවි.නමුත් ඒ වෙනුවෙන් පැහැදිලි හේතුවකුත් නැහැ.
  • සමහර අවස්ථාවලදී කිසිම දෙයක් වෙනුවෙන් කැමැත්තක් නැති වෙන්න පුලුවනි. වෙනදාට බොහොම කැමැත්තෙන් සම්බන්ධ වුන කටයුතු ගැන දැන් කිසිම කැමැත්තක් නැති බවක් පෙනේවි. 
  • වෙනදා නොමැති විදිහට රාත්‍රි නින්දෙන් බිය වෙන්න පටන් ගනීවි.ඒ වගේම නින්ද නොයන තත්වයක් ඇති වෙන්නත් පුලුවනි.
  • හේතුවක් නැතුව ඇඬීමත් දරුවාගේ හිතේ පවතින කම්පන තත්වය ප්‍රකාශ කිරීමක්. මේ වගේ අවස්ථාවලදී ඔබටත් යම් කේන්තියක් ඇති වේවි. කොච්චරවත් අඬනවා..මොකක්ද මේ කරදරය කිව්වත් දරුවාගේ මානසික තත්වය නිසා ඔවුන් මේ අන්දමින් හැසිරෙන්න පටන් ගන්නවා.
  • සමහර දරුවන්ගේ ගති පැවැතුම් ඉහත සදහන් කළ ඒවාටත් වඩා දරුනු වෙන්න පුලුවනි. ඔවුන් ප්‍රචණ්ඩව හැසිරෙන්න පටන් ගන්නවා. මොකද මේ කැලෑ සතෙක් වගේ කියමින් සමහර විට ඔබත් දරුවාට තරවටු කරන්න පුලුවනි.

නමුත් කිසිම දිනක ඔබේ පුංචි පැටියාගේ හැසිරීමේ වෙනසක් දුටුවොත් ඒ ගැන උරන වෙන්න එපා. 

දඬුවම් කිරීමය වේවැල පාවිච්චි කරන්නත් එපා. ඒ වෙනුවට දරුවා සමග කථා කරන්න. ඔවුන්ගේ මානසික පීඩනය පිටතට ගන්න දෙමව්පියන් විදිහට ඔබට පුලුවනි.

සමහර විට දරුවාගේ මානසික කම්පනය ඔබ සමග කාලය ගෙවීමෙන්මත් නැති වෙන්න පුලුවනි. ඒත් සමහර විට දරුවන්ගේ කම්පන තත්වයන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වෙන අවස්ථාවන් තිබෙනවා. එවැනි අවශ්‍යතාවයක් ඔබට පෙනී ගියොත් ඒ වෙනුවෙන් දරුවා යොමු කරන්න.

මුල් කාලයේදී චර්යාත්මක ප්‍රතිකාර මගින් දරුවාගේ මානසික තත්වය යහපත් තැනකට පත් කර ගන්න පුලුවනි.

මේ ගැන නොසලකා සිටියොත් දරුවා විශාදයට පත් වෙන්න පුලුවනි.

දරුවන්ගේ කම්පන තත්වයන් ගැන නොසලකා කටයුතු කිරීමෙන් මේ මානසික තත්වය තව දුරටත් නරක අතට හැරෙන්න පුලුවනි. ඒ නිසාම විශාදය නැමැති මානසික තත්වයට දරුවා පත් වීමට ඉඩ තිබෙනවා.දරුවන් මානසික රෝග තත්වයන්ට ගොදුරු නොවේය යන ස්ථාවරය කිසිම දිනක ඇති කර ගන්න එපා. දරුවන්ටත් දරා ගත නොහැකි මානසික පීඩාවන් තිබෙන නිසා ඔවුන්ද විශාදය තත්වයට පහසුවෙන්ම පත් වෙන්න පුලුවනි.

විශාදයට ගොදුරු වුනොත් ඇති වෙන තත්වයන්..

විශාදය රෝග තත්වයට පත් දරුවන් විසින් තමන්ටම තුවාල කර ගන්න පුලුවනි.

මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි අහිතකර පුරුදු වෙත පහසුවෙන්ම ඇබ්බැහි වීමටත් පුලුවනි.

ඒ නිසා ඔබ දරුවන් සමග බොහොම සමීපයෙන් කටයුතු කරන්න.ඔවුන්ගේ මානසික වෙනස්කම් පැහැදිලිව ඔබට දැකීමේ හැකියාව එවිට ලැබේවි.මව්පියන් තරමට දරුවන්ගේ හිත් කියවීමට දක්ෂ  වෛද්‍යවරයෙක් තවත් නැහැ.මනෝ වෛද්‍යවරයෙකු වෙතට පවා දරුවා කැටුව යෑමට නම් ඊට පෙරාතුව දරුවා මානසික ගැටුමකින් සිටින බැව් ඔබ තේරුම් ගත යුතුයි. ඒ නිසා දරුවන් සමග සමීපව කටයුතු කරන්න.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article