- Advertisement -

දරුවන්ගේ ඉංග‍්‍රීසි භාෂාව දියුණු කරන්න ඔබට කළ හැකි ක්‍රියකාරකම් මොනවාද?

-

බොහොමයක් දෙමව්පියන් තමන්ගේ දරුවා කුඩා කාලයේ ඉඳලම ලස්සනට ඉංග‍්‍රීසී භාෂාව හසුරවනවා දකින්න කැමතියි. අන්න ඒ නිසාම දෙමාපියන්ට මේ සම්බන්ධව ගැටලුත් බොහොමයක් තිබෙනවා. කුඩා වියේ සිටම දරුවාට ඉංග‍්‍රීසී භාෂාව කියලා දෙන්නේ කොහොමද? කුඩා වියේ සිටම ඉංග‍්‍රීසී භාෂාව භාවිතය සුදුසුද? කියන ගැටලු වගේම ආයාසයකින් තොරව, ඉංග්‍රීසි භාෂාව ආසාවෙන් ඉගෙන ගන්න තැනට දරුවා පත්කරන්නේ ‍කොහොමද  කියන ගැටලුවත් අපේ දෙමාපියන්ට තිබෙනවා. මේ ලිපිය තුළින් අපි බලාපොරොත්‍තු‍ වෙන්නේ කුඩා දරුවන්ට ඉංග‍්‍රීසී භාෂාව උගන්වන්න ඔබට අත්වැලක් වෙන්නයි. 

ඇත්තටම කිව්වොත් අපේ පාසැල් කාලයේ අපේ නිවෙස්වල වගේම පාසැල්වලත් අද තරම් ලොකු පසුබිමක් ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධව පැවතුණේ නැහැ. මම මගේ පාසැල් වියේ අත්දැකීමකින්ම මේ ලිපිය ආරම්භ කරන්නම්. 

- Advertisement -

6 වසරේ ඉන්න කාලේ, අපේ ඉංග්‍රීසි ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පැවසූ දේ.

”ආයුබෝවන්, ඉංග‍්‍රීසී භාෂාව කියන්නේ අන්තර්ජාතික භාෂාවක්. ඉංග‍්‍රීසී භාෂාව අපි හැමදෙනාටම ගොඩක් ප‍්‍රයෝජනවත් වන්නේ ඒ නිසායි. ඒ වගේම ඉංග‍්‍රීසී භාෂාව හසුරවීමට හැකිවීම වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහාත් අපි බොහෝ දෙනෙක්ට ප‍්‍රයෝජනවත් වෙනවා”

ඉතින් මේ හඳුන්වා දීම නිසාම ඉංග‍්‍රීසී භාෂාව පිළිබඳව අපට විශාල උනන්දුවක් ඇති වුණා. අන්න ඒ වගේම අපේ දරුවන් තුළන් උනන්දුව ආසාව ඇති කිරීම අපේ වගකීමක් වෙනවා. අපි ඒ ගැන කතා කරමු.

දරුවෙකුට ඉංග‍්‍රීසී භාෂාව ඉගැන්වීමට නියමිත වයසක් තියෙනවද?

නැහැ. සාමාන්‍යයෙන් දරුවෙකුට දෙවනි භාෂාවක් ආරම්භ කිරීමට නිශ්චිත වයස් සීමාවක් දක්වන්න බැහැ. නමුත්  බොහෝවිට පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ කුඩා වයසේ සිටම එනම් උපතේ සිටම දරුවෙකුට භාෂා කීපයක්ම භාවිත කිරීමේ ගැටලුවක් නොමැති බවයි. ඒත් මේ තත්ත්වයේදී අප සිහිතබාගත යුතු වන්නේ මේ සැම භාෂාවකින්ම සමාන උත්තේජනයක් දරුවාට ලබා දීමට අපට හැකි වීම ඉතාම වැදගත් කරුණක් බවයි. 

සෑම භාෂාවකින්ම සමාන උත්තේජනයක් ලබාදිය යුතුයි යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස තම දරුවා ලස්සනට ඉංග‍්‍රීසී කතා කරනවා දකින්න කැමති දෙමාපිය යුවළක් ඒ හේතුව මත දරුවා අන්තර්ජාතික පාසලකට යොමු කළත් නිවසේ වටපිටාව තුළ මව්පියන්ට දරුවාට දැක්විය හැකි වටපිටාව සීමිත නම් ඒ කියන්නේ දෙමාපියන්ගේ ඉංග‍්‍රීසී භාෂණ හැකියාව අවම මට්ටමක පවතිනවා නම් මෙන්න මේ වටපිටාව තුළ දරුවව අනවශ්‍ය පීඩනයකට ලක් කරලා අන්තර්ජාතික පාසලකට දාලා ඉංග‍්‍රීසී උගන්වන්න යාම දරුවාට කරන අසාධාරණයක් විය හැකියි. මොකද දරුවට තමාට අවශ්‍ය උත්තේජනය, තල්ලුව සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැති නිසා. 

දරුවෙක්ගේ නියමිත වයසේදී, භාෂාව ඉගෙන ගන්න හැකියාව තියෙන කාලේදී ඒ දරුවා අනිවාර්යයෙන්ම ඒ භාෂාව ඉගෙන ගනිවී. එතෙක් දරුවාට ඒ වෙනුවෙන් බලපෑමකින් ‍තොරව සිටිය හැකි නම් වඩාත් යෝග්‍යයි. ඒත් ඔබට සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් මනාව හැසිරවීමේ හැකියාව ඇත්නම් උපතේ සිටම දරුවාට ඒ භාෂා දෙකන්ම කතා කිරීමේ වරදක් නැහැ. 

ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව නිසි උත්තේජනයක් නොලැබීම මත දරුවෙක්ට ඇති විය හැකි බලපෑම කුමක්ද?

භාෂා හා කථන ව්‍යාධිවරයෙක් විදියට පේ සායනවලදී මට ගොඩක් දරුවෝ මුණගැහෙනවා. මම මගේ අත්දැකිමක් එක්ක මේ ගැටලුවට පැහැදිලි පිළිතුරක් ලබාදෙන්න කැමතියි. ඉගෙනීමේ අපහසුතා ඇති බව පවසමින් ජාත්‍යන්තර පාසලකින් අප වෙත දරුවෙක් පැමිණියා. ගුරුවරුන් හඳුනාගත් විදියටත් මේ දරුවාගේ පන්තා වාර්තා පොත අනුවත් යම් පසුබෑමක් මේ දරුවාගේ තිබුණා. බුද්ධදර්මය විෂයට ඔහු ලබාගෙන තිබුණේ 17ක් වැනි ලකුණු ප්‍රමාණයක්. මේ පිළිතුරු පත පරීක්ෂා කර දරුවාව තක්සේරු කර අවස්න් වූ පස් මම ඒ දරුවාගෙන් විමසුවා මේ ප්‍රශ්න පත්‍රය කොහොමද ඔයාට කරන්න පුළුවන් කියලා. ඉන් පස්සේ දරුවා සිනාසුණා. මම ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න සිංහල භාෂාවෙන් විමසුවා. ඔහු ඒ සියල්ලටම නිවැරදි පිළිතුරු සිංහලෙන් ලබා දුන්නා. දැන් ඔබට වැ‍ටහෙනවා නේද ගැටලුව වෙලා තිබුණේ භාෂා මාධ්‍යය බව. 

මේ දෙමාපියන්ට ඉංග්‍රීසි බස පිළිබඳ දැනුම අවම නිසා ඔවුන් දරුවාට සිංහලෙන් පාඩම් කියා දී තිබෙනවා. මේ දරුවාට අදාල ප‍්‍රශ්නවලට නිවැරදි උත්තරය දැන සිටියත් ඉංග්‍රීසි බසින් පිළිතුරු සැපයීමට ඉංග‍්‍රීසී දැනුම ප‍්‍රමාණවත්ව තිබිල නැහැ. ගණිතය වගේ විෂයක් කෙසේ හෝ කළ හැකි වුවත් බුද්ධ ධර්මය, ඉතිහාසය, විද්‍යාව වගේ විෂයයන් එසේ කළ නොහැකි බවත් දරුවා මා සමග පැවසුවා. 

මෙතැනදී ගැටලුව වුණේ දරුවාගේ අදක්‍ෂකමක් හෝ ‍ඉගෙනීමේ අපහසුතාවයක්වත් හෝ නොවන බවත් ඉංග‍්‍රීසී භාෂාවෙන් නිවැරදි ලෙස උත්තේජනය නොලැබීම නිසා ගැටලුව ඇති වූ බව දැන් ඔබට වැටහෙනවා ඇති. ඉතින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මනා උත්තේජනයක් ලබාදිය නොහැකි නම් මාපියන්ට අවශ්‍ය වූ පමණින් දරුවව ජාත්‍යන්තර පාසලකට යොමු කිරීම විසදුමක් නොවේ. 

එහෙම නම් දරුවන්ගේ ඉංග‍්‍රීසී භාෂණ හැකියාව දියුණු කරගැනීමට සහය විය යුතුතේ කෙසේද?

අපිට කරන්න පුළුවන් මූලිකම දෙයක් තමයි ගෙදරදී දරුවා එක්ක ඉංග‍්‍රීසී භාෂාවෙන් කතා කිරීම. මම අර කලින් කිව්වා වගේම නිවසෙදී උත්තේජනය දෙන එක වැඩි කරන එක. 

  • ඉංග්‍රීසි කාටූන්, පුංචි පුංචි කතා – ඒ වගේම අපිට පුළුවන් දරුවාට සුදුසු සරල ඉංග්‍රීසි කාටූන්, පුංචි පුංචි කතා යම් සීමාවක් තුළ නැරඹීමට අවස්ථාව ලබාදෙන්න. ඒ සියල්ල පැහැදිලි, සරලව මනා භාෂා හැසිරවීම සහිත ඒවා විය යුතුයි. එවැනි සුදුසු දේ නැරඹීම තුළින් දරුවාගේ භාෂාව ග‍්‍රහණය කරගැනීමේ හැකියාව වැඩි කරගත හැකියි. 
  • ඉංග‍්‍රීසී කතන්දර පොත් – දරුවෝ ගොඩක් කැමතියි කතන්දර කියවන්න. කතන්දරය පින්තූරවලින් විස්තර කරලා තියෙන පොතක් භාවිත කළ හැකි නම් දරුවාට සම්පූර්ණ කතාව වටහාගත නොහැකි වුවත් හැකි අයුරින් පින්තූර ආධාරයෙන් හෝ එය වටහා ගැනීමට දරුවාට උත්සාහ කළ හැකියි. ඒක නිසා ඉංග‍්‍රීසී භාෂාවෙන් තියෙන පොඩි පොඩි කතන්දර පොත් ගෙනල්ලා දීලා ඒවා දරුවත් එක්ක කියවීම සහ ඒවා දරුවාට කියවීමට අවස්ථාව සලසා දීමත් දරුවාගේ ඉංග‍්‍රීසී භාෂණ හැකියාව දියුණු කිරීමට අපිට අත්වැලක් වෙනවා. 
  • වචන මාලාවට අළුත් වචන එකතු කරන්න – දරුවෝ දන්නේ ඉතාමත් සීමිත වචන ප‍්‍රමාණයක් නම් ඒ සීමිත වචන ප‍්‍රමාණයෙන් දරුවාට භාෂාව ප‍්‍රගුණ කරන්නට, සන්නිවේදනයේ යෙදෙන්නට ඉතාමත් අපහසුයි. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් නම් අලුත් වචන දරුවට කියලා දෙන්න සහ අලුත් වාක්‍ය රටාවන් දරුවට පුහුණු කරවන්න ඉතාම පහසුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අත්වැලක් සපයනවා. 

ඉංග‍්‍රීසී කියන්නේ විෂයක් විතරක් නෙමෙයි. ඒක භාෂාවක්. ඉතින් ඔබ කැමති නම් ඔබේ දරුවා ඉංග‍්‍රීසී භාෂාව චතුර ලෙස කතා කරනවා දකින්න ඔහුට අවශ්‍ය උත්තේජනය කුඩා කාලයේ පටන්ම ලබාදෙන්න. ඒ සඳහා ශක්තිමත් ලෙස භාෂාව හැසිරවීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. එසේ නොමැති නම් දරුවා නිසි වයසට ආවිට දෙවන භාෂාවක් ලෙස ඉංග‍්‍රීසී භාෂාව ඉගෙනීමට අවස්ථාව සලසන්න ඔබට පුළුවන්. ඔබට නිවැරදි උත්තේජනය දීමට නොහැකිව කුඩා වියේ පටන් දරුවාට ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් බලකිරීම ඔබ, ඔබේ දරුවාට කරන අසාධාරණයක්. ඔබ ඔබේ මට්ටම හොඳින් වටහා ගනිමින් ඔබේ දරුවා වෙනුවෙන් නිවැරදිම තීරණය ගන්න. 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article