අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දෙමව්පියෝ විදියට අපි කොහොමද සහයෝගය දෙන්නේ? ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කරගැනීමට අපිට කරන්න පුළුවන් මොනවද? පියවරෙන් පියවර අපි මේ ගැන සාකච්ඡා කරමු.
- කාල සටහන
ඔබ දරුවා වෙනුවෙන් කාල සටහන සකසන්න. කාල සටහනක් මගින් යම් කාලයක් තුළ යම් කාර්යයක නිරත වීම පහසු වෙනවා. අන්න ඒ නිසා ඔබට පුළුවන් නම් දරුවත් එක්ක එකතු වෙලා දවසකට එහෙම නැත්නම් සතියකට දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාල සටහනක් සැලසුම් කරන්න. ඒත් ඔබ හිතන්න එපා එහි ඇතුළත් විය යුත්තේ විෂය ක්‍රියාකාරකම් පමණක් බව. එම කාල සටහන තුළ දරුවාට සෙල්ලම් කරන්න ඉඩක් රූපවාහිනිය නැරඹීමට ඉඩක් වගේම පොත්පත් කියවන්න ඉඩක් වෙන් කළ යුතුමයි. දරුවා ප්‍රිය කරන විවිධ වූ ක්‍රියාකාරකම් අන්තර්ගත කළ විට අධ්‍යාපනයට වගේම ඔබේ දරුවාට අනෙකුත් ක්‍රියාකාරම්වලටත් කාලය හිමිවෙනවා.
මෙතැනදී ඔබට පුළුවන් දරුවාට මේ හරහා ඉලක්ක කරා යොමු කරන්න. ඒ හරහා දෙමාපියන් වන ඔබට දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහයෝගය දැක්වීමට හැකියාව හිමිවෙනවා. උදාහරණයක් ලෙස මේ සතිය තුළ මේ මාසය තුළ දරුවා කළ යුතු වැඩ පිළිවෙළ කුමක්ද යන්න පිළිබඳව කල්තියා දරුවා දැනුවත් කිරීමෙන් ඔබට පුළුවන් දරුවාට ඔබේත් කාල කල් තියා වෙන් කරගනිමින් ඒ සඳහා සහය දක්වන්න.
- බාධා අඩු කරමු
ඒවගේම අපිට කරන්න පුළුවන් තවත් වැදගත් දෙයක් තමයි දරුවා පාඩම් කරන වෙලාවෙදී දරුවාගේ වටපිටාවේ ඇති බාධක ඉවත් කරන්න. ඇතැම් අම්මලා තාත්තලා රෑපවාහිනය නරඹන ගමන් දරුවට ගිහින් පාඩම් කරන්න කියනවා. ඒත් ඔබ හිතන්න, නිවසේ රූපවාහිනිය ක්‍රියාත්මක වෙද්දී පුංචි හිත් නිතැතින්ම දුවන්නේ රූපවාහිනියට. ඉතින් අපට පුළුවන් නම් දරුවා පාඩම් කරන වෙලාවෙදී අන්න ඒ වගේ බාධා කිරීම් නොකර ඉන්න දරුවට පොතට යොමුවන්නට පුළුවන් අවකාශය ඉතාම වැඩියි. ඉතිං ඔබට හිතෙයි දරුවෝ වෙනුවෙන් හැමදේම කරද්දි අපිට ටිකක් රූපවාහිනියවත් බලන්න බෑ නේද කියලත්. නැහැ, ඔබ එහෙම හිතන්න එපා. ඔබේ දරුවා පාඩම් වැඩ කරනවා නම් ඔබටත් පුළුවන් රූපවාහිනිය ක්‍රියා විරහිත කරලා දරුවත් එක්කම එකට වාඩි වෙලා පොතක් පත්තරයක් කියවන්න. නැත්නම් ඔබේ කාර්යාලයේ කුමක් හෝ කටයුත්තක නියැලෙන්න.
- මසකට වරක්වත් ගුරුතුමිය හමුවෙන්න
දරුවා පාසලට යන හැම මොහොතකම පාසලට යන්න බැරි වුණත් ඔබට පුළුවන්කමක් තියෙනව නම් බලන්න අඩුම තරමේ මාසයකට සැරයක්වත් ඔබේ දරුවගේ පන්තිභාර ගුරුතුමාට ගුරුතුමියට කතා කරන්න. දරුවාගේ දුර්වලතා ඇය/ඔහු හරහා හඳුනාගන්න ඔබට පුළුවන්. එමගින් දරුවාට අවශ්‍ය සහයෝගය උපරිමව ලබා දීමට දෙමාපියන් වශයෙන් ඔබට පුළුවන්. විශේෂයෙන්ම කිව යුතුයි පාසල් යන දරුවෝ ගොඩක් කැමතියි දෙමව්පියෝ තමන්ගේ ගුරුවරුත් එක්ක කතා කරනවට. ඒ වගේම තමන්ව ගුරුවරුන් සමග අගය කරනවට. ඉතින් ඒක නිසා ඔබ ගුරුතුමා/ගුරුතුමිය හමුවන වෙලාවෙදී මතක තියාගන්න දරුවා නිවසේදී කරන හොඳ ක‍්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම ගුරුතුමිය/ගුරුතුමා සමග අගය කරන්නට. එය දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට යොමු වීමට සහ ඒ පිළිබඳව කැමත්ත වැඩි දියුණු කරගැනීමට අනිවාර්යයෙන්ම මහත් පිටුබලයක් ලබාදෙනවා.
- ඉගෙනුම් විලාසය (learning style)
ඔබ, ඔබේ දරුවාගේ ඉගෙනුම් විලාසය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදත් වෙනවා. එක් එක් දරුවා විවිධ විවිධ ඉගෙනුම් විලාස යොදාගන්නවා. වැඩිහිටියන් ලෙස අපි දරුවාගේ ඉගෙනුම් විලාසයට බාධා නොකළ යුතුයි. එයට සහය විය යුතුයි. ඇතැම් දරුවෝ ක‍්‍රියාකාරකම් තුළින් ඉගෙන ගන්නවා. තවත් දරුවෝ පොත පත ඇසුරේම ඉගෙනීම සිදුකරනවා. ක්‍රියාකාරකම් එක්ක ඉගෙනුම සුදු කරන දරුවෙකුට පුස්තකාලයට ගොස් පොතක් පතක් කියවන්නට ඔබ බල කලොත් එය අසාර්ථකයි. ඒ වගේ දරුවෙකුට අපි දෙන්න ඕන ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් ඔස්සේ පාඩම් අවබෝධ කරගැනීමට අවස්ථාවයි. ඔබේ දරුවා දෘශ්‍ය ඉගෙනුම් (visual learner) විලාසය අනුගමනය කරන අයෙක් නම් ඒ දරුවා රූප සටහන්, කෙටි සටහන් වැනි දේ හරහා ඉගෙනීම කෙරේ යොමු කිරීමට ඔබට පුළුවන්. තවත් දරුවෙක් සවන් දීමෙන් තම ඉගෙනුම කළ හැකියි. මෙන්න මේ විදියට දරුවාගෙන් දරුවාට ඉගෙනුම් විලාසය වෙනස් වෙනවා. මෙතැනදී දරුවාට අවශ්‍ය ආකාරයට ඔබේ අධීක්ෂණය යටතේ සහයෝගය ලබා දීම මගින් දරුවා ස්වකැමැත්තෙන්ම අධ්‍යාපන කටයුතු කෙරේ නැඹුරු කරවීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම එය දරුවාට රුකුලක් වෙනවා. දරුවාට පවුල තුළ මෙසේ තමාට රිසි සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නිදහස ලැබෙන විට ඔබත් සමග මේ ගත කරන කාලය මිහිරි මතක ගොඩක් එකතු කළ හැකි කාල සීමාවක් වෙනවා.
- තරවටු කිරීම්, දඩුවම් කිරිම් එපා
දරුවත් එක්ක අධ්‍යාපන කටයුතු යොමු වෙලා සිටින කාලයේදී දරුවට තරවටු කිරීම, දඩුවම් කිරීම වෙනුවට ළඟට රන් ආදරෙන් අවබෝධ කරවන්න. එය දරුවෙක් හීලෑ කරගන්න සුදුසුම ක්‍රමයක්. දරුවෝ ගොඩක් වෙලාවට අපට ඇහුම්කන් දෙනවා. නමුත් ඔබ මහා හඬින් අයියෝ පුතා, ඕක ඔහොම නෙමෙයිනේ කරන්නේ. දැන් ඔයාට කී පාරක් කිව්වද? ඔයාට අපි කියන දේ අහන්න බැරිද? ඔහොම නම් ඕක හරියන්නේ නෑ කියලා ඝෝෂා කළොත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒත් වචන දෙක තුනකින් පුතා මෙතෙන්ට එන්න. දැන් බලන්න ඔයා මේ ඔක්කොම දේවල් හොඳට කරලා තියෙනවනේ, අපි මේකත් ඒ විදියට කරමුද? එතකොට ලස්සනයි. අන්න ඒ විදියට ඔබට ඔබේ දරුවාට ඒ දෙය සන්සුන්ව කිව හැකි නම් දරුවා බොහොම සතුටින් අද්‍යාපන කටයුතුවලට යොමු වේවි. ගොඩක් වෙලාවට නිවසේ අධ්‍යාපන කටයුතු වලට යොමු වන කාලය එහෙම නැත්නම් ඒ මොහොත ටිකක් අප‍්‍රසන්න අමිහිරි වුණොත් ගොඩක් වෙලාවට දරුවෝ නිවස තුලදී අධ්‍යාපන කටයුතුවලට යොමු වෙන්න මැලිකමක් දක්වන බව අමතක කරන්න එපා.
- දරුවා එක්ක කතා කරන්න වේලාව වෙන්කරන්න
පාසැලේ සිට නිවසට එන දරුවා සමග ගත කරන්න යම් කාලයක් වෙන් කළ යුතු බව පෙර ලිපිවලදීත් සඳහන් කළ බව ඔබට මතක ඇති. අද දවස තුළ මොනවද කළේ, අද දවස ගෙවුනේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. එහිදී ඔබට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා මොන මොන විෂය කාරණාද දරුවට අපහසු වෙන්නේ කියලත්. ඒ වගේම දරුවාගේ පසුබෑම් මොනවාද කියලා අවබෝධ කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. නමුත් මේ ගත කරන කාලය තුළ ඔබ ඔබේ දරුවාට බැණ වැදීම් නොකළ යුතුයි.ඒ වගේම දරුවා විනිශ්චය නොකළ නොකළ යුතුයි. යම් හෙයකින් දරුවට තේරුණොත් මේ කතා බහ තුළ මව/පියා තමා ගැන යම් විනිශ්චයකට එළැඹෙන බව දරුවාට වැටහුණොත් දරුවාට ඔබ කෙරේ ඇති විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. දරුවාට ඕනෑම දෙයක් තම මව/පියා සමග කතා කළ හැකිය යන විශ්වාසය ගොඩ නැංවීම ඉතාමත් වැදගත්. මෙවැනි අවස්ථාවකදී ඔබ දරුවාට අවබෝධ කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ජීවිතයේ/අධ්‍යාපනයේ යම් යම් පසුබෑම් ඇති වුවත් ඒ දේවල් අතදැකීම් කරගනිමින් ඉදිරිය සාර්ථක කර ගත හැකි බවයි.
තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයා ගන්නට කලින් 99 වාරයක් උත්සහ කරලාත් එය අසාර්ථක වෙනවා. නමුත් ඔහු කිසිම අවස්ථාවක පසුගාමී වෙන්නේ නැහැ. ඔහු එය හඳුන්වන්නේ විදුලි බල්බයක් නිෂ්පාදනය කරන්නට බැරි ක‍්‍රම 99 ක් ලෙසටයි. 100 වෙනි වතාවෙදී ඔහු සාර්ථක වෙනවා.
මෙන්න මෙවැනි උදාහරණ දරුවන්ගේ ජීවිතයට එකතු කරන්න. යමක් අසාර්ථක වූ විට දරුවාගේ සිතට අපි ඇතුළු කළ යුත්තේ ඒ ක්‍රමය අසාර්ථක ක්‍රමයක් බව සනාථ වූ නිසා අපි වෙනත් සාර්ථක ක්‍රමයක් සොයා ගැනීමට වෙහෙසිය යුතු බවයි. මව/පියා/වැඩිහිටියන් ලෙස අපේ වගකීම විය යුත්තේ දරුවා කඩා වැටෙන මොහොතේ බැන වැදීම/ මන්දෝත්සාහී කිරීම නොව දරුවාට අත්වැලක් සැපයීමයි. සහයෝගය ලබාදීමයි. මෙන්න මේ විදිය මව්පියන් ලෙස ඔබ ඔබේ දරුවා වෙනුවෙන් කාලය වෙන් කරමින් දරුවාට ඇහුම් කන් දෙමින් දරුවන් නවනුවෙන් වූ වගකීම් ඉටුකරනවා නම් අපේ සමාජය අදට වඩා හෙට ගොඩක් ලස්සන වේවී.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා