”ජීවිතයේ කවදා හරි දවසක ඔබටත් ලොකු අසරණ කමක් දැණුනු අවස්ථා තිබිලා ඇති. අනේ මට කාත් එක්ක හරි මගේ මේ ප්‍රශ්නේ කතා කරන්න තිබ්බ නම්. මං කියන දේ අහගෙන ඉන්න කෙනෙක් හිටිය නම් කියලා ඒ වෙලාවට ඔබටත් හිතිලා ඇති. ඔබ අවට කොයිතරම් අය හිටියත් ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ කියන දේ අහන්න පුළුවන් කෙනෙක්. විනිශ්චයකින් තොරව ඔබේ කතාව අහගෙන ඉන්න පුළුවන් කෙනෙක්”
මේ වැඩිහිටි අපේ කතාවක් විතරද?
නැහැ… මේක අපේ දරුවන්ටත් ඇති විය හැකි තත්ත්වයක්. අපේ දරුවොත් අසරණ වෙන අවස්ථා තියෙනවා. ඔවුන්ටත් සමහර වෙලාවට හිතෙනවා අනේ මම කියන දේ අහගෙන ඉන්න මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හිටිය නං කියලා.
දෙමාපියන් විදියට සමහර වෙලාවට අපේ කාර්යබහුල ජීවිතය තුළ අනෙක් හැම වගකීමකට මුල් තැන දෙද්දී අපිට අපේ දරුවෝ මගහැරෙන අවස්ථා තියෙනවා. ඒක හිතා මතා කරන දෙයක් නෙවෙයි. ඒ වගේම දෙමාපියන් එහෙම වෙහෙසෙන්නෙත් දරුවන් වෙනුවෙන්මයි. ඒත් අපේ ආර්ථික ගැටලු එක්ක අපි නොදැනම අපිව වැටෙන්නේ එතැනට. මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට අපිට අපේ දරුවෝ මගහැරෙන අවස්ථා තියෙනවා. දරුවන්ට අවශ්‍ය තරම් කාලය දෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා.
අපේ දරුවන්ට අපිව කොයිතරම් දුරට අවශ්‍යද?
කථන හා භාෂා ව්‍යාධිවේදීවරයෙක් ලෙස සේවය කරන මා වෙත පැමිණෙන බොහොමයක් දරුවෝ හිතවත් වීමෙන් පසු තමන්ගේ ගෙදර සිදුවෙන දේවල් සම්බන්ධව අත්දැකීම් මා සමග බෙදාහදා ගන්නවා. මේ දරුවන්ගෙන් වැඩි දෙනෙක් කියන්නේ ”අම්මයි තාත්තයි උදේ ගෙදරින් ගියාම ගෙදර එද්දී ගොඩක් රෑ වෙනවා” කියලයි. ඒ වෙනකන් දරුවෝ එක්කෝ ආච්චි එක්ක නැත්නම් සහායකයෝ එක්ක කාලය ගත කරනවා. මෙන්න මේ අත්දැකීම් එක දරුවෙක්ගේ ජීවිතය වෙද්දී තවත් දරුවෙක් අම්මා තාත්තා එක්ක තමා කරපු දේවල්වල අත්දැකීම් ගැන පාසැලේදී කතා බහ කරනවා. ඔවුන් අම්මා එක්ක ඉවුම් පිහුම් කළ හැටි, තාත්තා එක්ක කාර් එක සෝදපු හැටි, එහමෙත් නැතිනම් ගමන් බිමන් ගිය හැටි දරුවෝ යාළුවෝ එක්ක කතා කරනවා. මේ දේ දෙමාපියන්ගේ මැදිහත් වීම අඩු දරුවෙකුගේ හිතට දනවන්නේ වේදනවාක්. අම්මා තාත්තා එක්ක කාලය ගත කරන්න ඉඩක් නැති දරුවෙක්ට ”අනේ… අපේ තාත්තත් මාත් එක්ක මගේ ළඟ හිටිය නම්… අනේ අපේ අම්මත් මගේ ළඟ හිටිය නම්” කියලා හිතෙන අවස්ථා බොහොමයි.
මේ වයසස අවුරුදු 6ක වගේ දරුවෙක් මා එක්ක කියපු එයාගේ කතාව
”එයාගේ තාත්තා ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. එයාට මල්ලියෙක් ඉන්නවා. අම්මා මල්ලී එක්ක කාර්යබහුල වුණාම මේ දරුවා එක්ක ඉන්න කවුරුවත් නැහැ. තාත්තා උදේම වැඩට ගියාම ආයෙ එන්නේ රෑ වෙලා. එයා එද්දි මම නිදි. පහුවදා උදේටත් මම නැගිටිද්දී තාත්තා ගිහිං. සමහරක් ඉරිදා දවස්වලට මං තාත්තව දකිනවා. ඒ එදාට තාත්තා චුට්ටක් පරක්කු වෙලා ගෙදරින් යන නිසා. ඒත් එදාටත් තාත්තා ගෙදර එන්නේ ගොඩක් රෑ වෙලා”
දරුවා ඒ කතාව ලේසියෙන් කිව්වට මං දැක්කා මුහුණේ ගොඩක් දුක්බර කතාවක් හැංගිලා තියෙන බව. මේ දරුවට සෙල්ලම් බඩු පිරුණු ලොකු සෙල්ලම් බඩු කාමරයක් තියෙනවා. ඒත් මේ දරුවා ඒ කිසිම සෙල්ලම් බඩුවකින් සතුටු වෙන්නේ නැහැ. ඔහුට ඕනේ ඔහුගේ අම්මයි තාත්තයි ඔහුත් එක්ක ගත කරන කාලය. ඉතින් ඔහු මට කියනවා,
”මට කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් මං ආසයි මෙහේ ඇවිල්ලා අංකල් එක්ක සෙල්ලම් කරන්න කියලා. මං ඇහුවම ඇයි කියලා. නෑ අංකල් මාත් එක්ක සෙල්ලම් කරනවනේ. ඒක නිසා මං ආසයි අංකල් එක්ක සෙල්ලම් කරන්න කියලා. ඒත් අපේ අම්මටයි තාත්තිටයි සෙල්ලම් කරන්න වෙලාවක් නෑනේ” ඒ වචන ටික කියන්නේ හරිම හිතේ තියෙන ලොකු දුකකින්.ඔබේ දරුවා ඒ අත්දැකීමට පත් වෙනවා දකින්න ඔබ කැමති නැතිව ඇති.
මේ ලෝකෙට අපේ දරුවෝ එන්නේ අපේ කැමැත්තට. අපේ සතුට වෙනුවෙන් මේ ලෝකේට එන ඒ දරුවන්ට හොඳ නරක කියා දෙන එක, හොඳ අධ්‍යාපනයක් දෙන එක, හොඳ ඇඳම් පැළඳම්, හොඳ ආහාර වගේ මේ දේවල් දෙන එක විතරක්ම නෙමෙයි අපේ යුතුකම. ඔවුන් සමග ලස්සන මතක ගොඩනඟන්න, ඔවුන්ට අපේ ජීවිතේ වටිනාම කාලය පිරිනමන්න අපිට පුළුවන් නම් ඒ තමයි අම්මෙක් තාත්තෙක් විදියට අපිට අපේ දරුවා වෙනුවෙන් කළ හැකි ලොකුම ආයෝජනය.
ඔබ දරුවගේ උපන් දිනයට, එහෙමත් නැත්නම් දරුවා විභාගයක් සමත් වුණාම ලොකු මුදලක් වියදම් කරලා තෑගි ගෙනත් දෙනවාට වඩා දරුවා ගොඩක් ආස වේවී ඔබට පුළුවන් නම් ඔබේ දරුවා සමග දවසක් ගත කරන්න. දරුවත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න. දරුවව කරේ තියාගෙන ගේ වටේ රවුමක් යන්න. ඒ වගේ මිහිරි මතක ඔබේ ජීවිතේ අනිවාර්යයෙන් තියෙනවා ඇති. මම මේ කතාව කියද්දී ඔබට මතක් වෙනවා අති ඔබේ තාත්තත් එක්ක ඔබේ අම්මත් එක්ක කොච්චර ලස්සන කාලයක් ගත කරාද කියලා. හැබැයි ඒත් එක්කම ඔබ, ඔබේ හිතෙන් අහලා බලන්න ඒ ලස්සන කාලය ඔබ, ඔබේ දරුවන්ට දෙනවද කියලා. ගොඩක් වෙලාවට කොන්ක‍්‍රීට් තාප්පවලින් වට වෙච්ච ගෙදරක, අම්මා තාත්තා දරුවා විතරක් ඉන්න නිවසක, අම්මා තාත්තා තමන්ගේ අනිකුත් කාර්යයන් සමග කාර්යබහුල වුනහම දරුවෝ නිවෙස් ඇතුළේ හිරකාරයෝ වෙනවා. ඔවුන්ගේ සිතුවිලි කියාගන්න බැරුව ඔවුන් කුඩා කාලයේම ආතතියට පත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මානසිකත්වයේ ඉන්න දරුවෝ බොහෝවිට අඩු වයසේදීම වැරදි සම්බන්ධතාවලට යොමු වෙනවා. මොකද නිවසින් ආදරය හම්බවෙන්නේ නැති වෙද්දි නිවසින් තමන් පිළිබඳව සොයන්නේ නැති වෙද්දි, කාගෙන්වත් කාලය ඔහු/ඇය වෙනුවෙන් වෙන් වෙන්නේ නැති වෙද්දි ඒ කාලය ලැබේ යැයි සිතෙන පවුලෙන් පිටස්තර පරිබාහිර අයෙකුගෙන් ඒ කාලය,ආදරය සොයන්න ඒ දරුවා පෙළඹෙනවා.
අම්මා/තාත්තා විදියට ඔබට පුළුවන් නම්,
- දරුවා ගැන සොයා බලන්න
- දරුවාගේ ජීවිතයට ළංවන්න
- දරුවාට ඇහුම්කන් දෙන්න
- සතියකට වරක්වත් දරුවට බත් කටක් කවන්න
- දරුවව උකුලේ තියාගෙන ටිකක් හුරතල් කරන්න
- දරුවගේ අධ්‍යාපන වැඩ කටයුතුවලට පොඩ්ඩක් සහය වෙන්න
- පාසැල ඇරිලා එන දරුවා එක්ක එක විනාඩි 10 ක් කතා කරන්න
ඇත්තටම මේ සිදුවීම දරුවෙකුට මහමෙරක් තරම් බව අමතක කරන්න එපා.
අම්මා/තාත්තා විදියට ඔබ,
- නිවසට ආව වෙලාවේ ඉදලා දරුවා හෙට දවසට සූදානම් කරනවා නම්
- දරුවගේ අඩු පාඩු ගැන පමණක් කතා කරනවා නම්
- ඔබට තියෙන වෙනත් ව්‍යාපාර වෙත යොමු වෙලා සිටිනවා නම්
ඔබේ නිවස සුපිරි නිවසක් වුණත් කිසිදු සුන්දරත්වයක් නැහැ. ඒ නිවස සතුටුදායක තැනක් වෙන්නේ නැහැ. මොකද අම්මා/තාත්තාගේ එකම වස්තුව වන දරුවා ඒ නිවසට පැමිණෙන්න, නිවසේ කාලය ගත කරන්න ආසාවක් නැහැ. අසතුටෙන් සිටින දරුවෙකු සිටිද්දී මොන සැප සම්පත් තිබුණත් ඔබ අසාර්ථක දෙමාපියන් බව අමතක කරන්න එපා.
අම්මා/තාත්තා විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා ඔබේ දරුවට කාලය දෙන්න. ඒ වගේම ඇහුම් කන්දෙන්න, ඒ වගේම ඔහු සමග කාලය ගත කරමින් සුන්දර මතක ගොඩනඟන්න. ඔබ ඒ දේ කළොත්, ඔබේ දරුවා ඔහුගේ/ඇයගේ දරුවට ඒ දේ දෙයි. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඔබ අසා ඇති.
”මට ඔයා මේ ලෝකය තරම් වටිනවා” කියලා, ඒ වටිනාකම අපි දරුවට පෙන්නන්නේ නැත්නම්, ඒ ආදරය වෙනුවෙන් ඔබ කාලය වෙන් කරන්නේ නැත්නම් ඔබ උපයන මුදලේ වටිනාකමක් නැහැ.
අපේ දරුවෝ හැමදාමත් මේ පොඩි වයසේ ඉන්නේ නැහැ. දෙමාපියන් වන අපිත් හැමදාම මේ වගේ ශක්ති සම්පන්නව ඉන්නේ නැහැ. අපේ දරුවෝ එන්න එන්න වයසින් මුහුකුරා යනවා. අපි එන්න එන්න වයසට යනවා. එතකොට කුඩා කාලයේ අපිට දරුවොත් එක්ක කරන්න පුළුවන් දේවල් දරුවොත් එක්ක ලොකු වුනාම කරන්න බැහැ. කුඩා කාලයේ දරුවොත් එක්ක අපි ගත කරන ලස්සන ජීවිතේ මතක වැඩිවියට පත් දරුවන්ට ලබාදෙන්න අපිට බැහැ. ඔබ අද ඔබේ දරුවා එක්ක කාලය ගත නොකරනවා නම් අනාගතයේ අනිවාර්යයෙන්ම ඔබටත් ඔබේ දරුවන් සමග කාලය ගත කරන්න අවස්ථාවක් නොලැබ්වී. ඔබේ දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම, දෙමව්පියොත් සමග කාලය ගත කරන්න ඕන කියන අවබෝධය ලැබෙන්නේ කුඩාවියේ සිටයි. ඒ ඔබ හරහායි. ඔබ, ඔබේ දරුවාව ඔබේ ජීවිතයෙන් යම් කිසි දුරකට ඈත් කර තියනවාද ඒ තරමටම අනාගතයේ ඔබට මහලු නිවාසයක රැඳන්න තියෙන අවස්ථාව අනිවාර්යයෙන්ම එයට සමානුපාතිකව ලැබේවී. බොහෝ දුරට ඔවුන් හැම වෙලේම ජීවිතයේ වටිනාකම් පිළිබඳව ඉගෙන ගන්නේ ඔබෙන්. ඒක නිසා අද ඉඳන්ම මුදල් පසුපස හඹා යන අම්මෙක් තාත්තෙක් නොවී දරුවෝ වෙනුවෙන්, ජීවිතය වෙනුවෙන් දරුවොන්ගේ ජීවිත ලස්සන කරන්නට කැපවෙන ආදරණීය අම්මෙක්, ආදරණීය තාත්තෙක් වෙන්න. එය අපේ ජීවිත වගේම අපේ දරුවන්ගේ ජීවිතත් ලස්සන කරනවා.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා