- Advertisement -

කොරෝනාවට එරෙහි එන්නත් ගැබිනි මවට සුදුසුද?

-

කොරෝනා වෛරසය රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන මෙවැනි මොහොතක ගැබිනි මව්වරුන් ඉතා අවදානම් අවස්ථාවකට මුහුණ දෙමින් සිටින බව අපි කවුරුත් දන්නවා. ඒ අනුව වෛද්‍යවරුන්ගේ ඉල්ලීම වූයේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත ගැබිනි මව්වරුන්ටද ලබා දෙන ලෙසයි. ඇත්තටම මේ එන්නත ගැබිනි මවකට ලබා දීමේ අවදානමක් නැතිද? මේ පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මාහාචාර්ය ටිරාන් ඩයස් මහතාගෙන් අපි විමසුවා.

මහාචාර්යතුමනි, කොරෝනා වෛරසයට එරෙහි එන්නත ගැබිනි මවට ලබා දීම සුදුසුද?

- Advertisement -

ගර්භණි සම‍යේදී කාන්තාවන්ට කොවිඩ් 19 රෝගය වැළඳීමේ දැඩි අවධානමක් පවතිනවා. අන්න ඒ නිසාම ගැබිනි කාන්තාවන් මේ වසංගතයෙන් ආරක්ෂා කරගත යුතුමයි. ‍කෙසේ වුවත් ගර්භණීබාවය කෙරෙහි මේ එන්නතේ බලපෑම ගැන දැනට පවතින්නේ පර්යේෂණ මට්ටමේ. වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි මවට ඇති විය හැකි තත්ත්වය එන්නත්කරණය මගින් ඇති වන තත්ත්වයට වඩා අවදානම් විය හැකි බැවින් ගැබිනි මව්වරුන්ට මෙම එන්නත නිර්දේශ කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ පිළිබඳව අදාල වෛද්‍ය අංශ විසින් සාකච්ඡා කරමින් සිටිනවා. 

ගැබිනි සමයේ පිටගැස්ම එන්නත පමණක්ම ලබාදෙන අතරම මේ තත්ත්වය යටතේ කොරෝනා එන්නත ලබා දීම සුදුසුද?

සාමාන්‍යයෙන් ගැබිනි සමයේ ලබා දෙන එන්නත් වන්නේ පිටගැස්ම, ගලපටලය, ඉන්ප්ලුවෙන්සා වැනි එන්නත් වර්ගයි. ගර්භණී සමයේදී ඇති විය හැකි අතුරු ආබාධ නිසා සජීවී එන්නත් ලබාදීමෙන් වැලකී සිටිනවා. සාමාන්‍යයෙන් කලලයක විකසනය සිදු වන්නේ සති 5 – 11 දක්වා අතර කාලයේ වන බැවින් එම කාල සීමාව මගහැර එන්නත් ලබා ගැනීම වඩාත් සුදුසුයි. කොවිඩ් 19 එන්නත තවමත් ලංකාවේ ගැබිනි මව්වරුන්ට ලබා නොදීමට හේතුවක් වන්නේ මෙම එන්නත් ගැබිනි මව්වරුන් අතර භාවිත කිරීම පිළිබඳ පර්යේෂණ දත්ත තවමත් ප්‍රමාණවත් අයුරින් වාර්තා වී නොතිබීමයි. ඉදිරියේදී මෙම එන්නත ගැබිනි මව්වරුන්ට ලබාදෙනවාද? එය ලාබ දෙන්නේ කුමන අවස්ථා‍වේද යන්න මෙම එන්නත් පිළිබඳ යාවත්කාලීන දත්ත පදනම් කරගනිමින් වසංගත රෝග විද්‍යායතනය විසින් තීරණය කෙරෙනවා ඇති. 

මහාචාර්යතුමනි, සජීවී සහ අජීවී එන්නත් පිළිබඳව පැහැදිලි කළ හැකිද?

සජීවී එන්නතක් ලබා ගත්තාම බොහෝවිට ජීවිත කාලයටම ඒ හරහා අදාල රෝගයට ආරක්ෂාව සැලසෙනවා. සජීවී එන්නත් නිපදවෙන්නේ රෝගයට අදාල වෛරසයේ හෝ බැක්ටීරියාවේ කොටස් උපයෝගී කරගනිමින්. නවීන තාක්ෂණික ක්‍රම මගින් නිපදවෙන මේ සජීවී එන්නත්, රෝගය ඇති කළ හැකි වෛරසයේ හෝ බැක්ටීරියාවේ බලය ඉවත් කොට නිපදවනවා. පැපොල, සරම්ප, රුබෙල්ලා, කම්මුල්ගාය, කහඋණ වගේ රෝගවලට ලබා දෙන්නේ සජීවි එන්නත්. ඇතැම් අවස්ථාවල හරිම කලාතුරකින් මෙවැනි එන්නතක් ලබාගත් අයෙකුට සුළු වශයෙන් රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිසි ප්‍රතිශක්තීකරණයක් සිරුර තුළ ඇති වූ බව. සාමාන්‍යයෙන් මේ සජීවී එන්නත් ගැබිනි මව්වරුන්ට, පිළිකා රෝගීන්ට වගේම සාමාන්‍ය ප්‍රතිශක්තීකරණ පද්ධතියට හානි වුණු රෝගීන්ට ලබා දෙන්නේ නැහැ.

නමුත් අජීවී එන්නත් මගින් එවැනි බලපෑමක් සිදු වෙන්නේ නැහැ. උදාහරණ විදියට ජලභීකිතිකාව, ගලපටලය, කක්කල්කැස්ස වගේ රෝගවලට ලබාදෙන එන්නත් අජීවී එන්නත්. මෙහි ඇති අවාසිය එක එන්නත් මාත්‍රාවකින් දිගුකාලීන ප්‍රතිශක්තියක් ලබාගැනීම අපහසු වීමයි. පාරිසර සාධක අනුව එම වෛරසය/බැක්ටීරියාව වෙනස් විය හැකි නිසා අජීවී එන්නත් යම් කාල සීමාවන් තුළ නැවත නැවත ලබාගැනීමට සිදු වෙනවා.

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් අයත් වෙන්නේ මේ කුමන කොටසටද?

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් නිපදවීමේදී පයිසර් බයෝ ටෙක් සමාගම යොදාගත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට වඩා අලුත් ක්‍රමයක්. එනම් වෛරස ප්‍රෝටීනය බාහිරින් ඇතුළත් නොකොට එම ප්‍රෝටීනය සිරුර තුළ නිපදවෙන ලෙස MRNA කේතය එන්නත ලෙස සිරුරට ඇතුළු කොට සිරුරෙන් වෛරස ප්‍රෝටීනය සැකසෙන්න ඉඩ හැර සිරුර තුළින්ම එයට අදාල ප්‍රතිදේහජනක නිපදවෙන්නට සැලස්වීමයි. මේ ක්‍රමය ඉතා සාර්ථක වුවත් පයිසර් එන්නත අපේ රටට මෙතෙක් ලැබී නැහැ. කොරෝනා රෝගය සඳහා අපේ රටේ දැනට ලබාදෙන එන්නත් වන Astrazeneca සහ Sputnik V එන්නත්වලදී වෙනත් හානිදායක නොවන වාහකයෙකු යොදාගනිමින් අදාල DNA අනුව ශරීර ගත කර ප්‍රතිශක්තිය නිපදවනවා. මීට අමතරව ලබාදෙන Sinopharm එන්නත මගින් අක්‍රිය කරන ලද SARS-CoV-2 වෛරසය ශරීරගත කොට ප්‍රතිදේහ නිපදවයි. 

එය ගැබිනි මවට සුදුසු වුවත් දීර්ඝ කාලීන ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ නේද?

අජීවී එන්නත් මගින් ජීවිත කාලයටම ආරක්ෂාවක් සැපයෙන්නේ නැහැ. ගැබිනි මවකට කුමන එන්නතක් ලබා දුන්නත් ඇයගේ සියලු තත්ත්වයන් සොයා බලා හොඳින් නිරීක්ෂණය කොට තමයි ලබාදෙන්නේ. ඇතැම් අවස්ථා තියෙනවා තමා ගැබ් ගෙන ඇති බව නොදැන ඇතැම් කාන්තාවන් සජීවී එන්නත් ලබා ගත්ත. එවැනි තත්ත්වවලදී වුවත් දියුණු රටවල පවා කලලය ඉවත් කිරීමක් සිදුරන්නේ නැහැ. හොඳින් නිරීක්ෂණය කරමින් ස්කෑන් කිරීම මගින් කලලයට යම් බලපෑමක් සිදු වීද යන්න ගැන සොයා බලනවා. කෙසේ වුවත් අජීවී එන්නත් ලබා ගැනීමෙන් මෙවැනි කිසිදු බලපෑමක් නැහැ. අදාල කාලසීමාව තුළ අවශ්‍ය රැකවරණය සැපයෙන නිසා අජීවී එන්නත් ලබාගැනීම වුවත් මෙවැනි සීග්‍ර පැතිරීමක් ඇති වසංගත රෝග හමුවේ ඉතාම වැදගත් වෙනවා.

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

Imageමහාචාර්ය ටිරාන් ඩයස් මහතා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම.

 

 

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article