- Advertisement -

දරුවාගේ ඉගෙනුමට දෙමව්පියන්ගේ උදව් අවශ්‍යයි.

-

පුංචි  පැටියා ළදරු පාසල් යන දා පටන් අකුරු ඉලක්කම් උගන්වන්න අම්මාට තාත්තාට තිබෙන දැඩි කැමැත්ත මනෝවිද්‍යාඥයින් නම් අනුමත කරන්නේ නැහැ.මේ කාලයේදී දරුවාට බලෙන් ඉගැන්වීමට ගියොත් දරුවාගේ අනාගත අධ්‍යාපනය බොහෝ දුරට නීරස වෙන්න පුලුවනි.ඒ නිසා වයස අවුරුදු පහට අඩු කාලයේදී දරුවාට සම්පූර්නයෙන්ම විමර්ශනයට සහ පරීක්ෂණයට ඉඩ ලබා දීම ඉතාම වැදගත්.

හැබැයි දිනපතා පාසල් යන දරුවා ගැන සැලකිලිමත් වෙන්න..

- Advertisement -

මේ අතර ඔබේ පුංචි පැටියා දිනපතා පාසල් අධ්‍යාපනයට යොමු වීමෙන් පසුව නම් ඔබේ අවධානය දරුවාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් අවශ්‍යම වෙනවා. පාසලේ ගුරුතුමියගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතර ඔබ දරුවා ගැන අධ්‍යනයක යෙදීම ඉතාම වැදගත්.

ඉතින් කොහොමද අපි දායක වෙන්නේ…

දවසේ පැය කීපයක් පමණක් පාසලේ ගෙවන දරුවා දෙමව්පියන් සමග ලොකු බැදීමකින් කටයුතු කරන නිසා දරුවා අවබෝධ කර ගැනීමේ හැකියාව දෙමව්පියන්ට තිබෙනවා.පාසල් පංති කාමරයක දරුවන් පණහකට ආසන්න සීමාවක් තුළ ගුරුවරයා විසින් නොහඳුනන හැකියාවන් වගේම නොහැකියාවන් ගැන වඩාත්ම අවබෝධයක් දෙමව්පියන්ට තිබීස ඉතාම වැදගත්.

දැනගත්තා කියලා මොකද කරන්නේ…?

ඔබේ දරුවාගේ හැකියාවක් හඳුනා ගැනීමෙන් පසුව එය තවත් ඔපවත් කර ගැනීමේ දායකත්වය ලබා දීමේ හැකියාව දෙමව්පියන්ට තිබෙනවා. ඒ වගේම ඔබේ දරුවාගේ නොහැකියාවන් ගැනත් දැන ගැනීමෙන් ඔවුන්ට ඒ ගැටලු නැති කර ගැනීමටත් දෙමව්පියන් ලෙස ඔබට සහයෝගයක් දක්වන්න පුලුවනි.

අකුරු කියවන්න..ලියන්න අපහසු නම්..

පංතියේ ගුරුතුමියකට සිටින්නේ විවිධ දක්ෂතාවයන් සහ අදක්ෂතාවයන් සහිත දරුවන්. ඒ වගේම විෂය නිර්දේශයක් සමග කටයුතු කරන විට හැකියාව ඇති දරුවන් ඒවා සැනින් ග්‍රහණය කර ගනිද්දී නොහැකියාවන් සහිත දරුවන් මග හැරෙන්න පුලුවනි.

ඉතින් ඔබේ දරුවාට පෙළ පොත කියවා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා නම් ඒ නීරස තැනටම ඔවුන් යොමු කරනවාට වඩා රසවත් දෙයක් කියැවීමට උනන්දු කරන්න. පින්තූර සහිත කතාන්දර පොතක්..වර්ණවත් චිත්‍රවලින් කියැවෙන වචන හදුනා ගැනීමට උනන්දු කරන්න. එය පාඩම් පොතක් කියවන තරම් අසීරු නොවන අතර අකුරු කියැවීමේ පෙර පුහුණුව ලැබීමේදී මෙය ඉතාම වැදගත්.

මග තොට යන විට…

ඔබ දරුවා සමග මග තොට යන විට බසයක නාම පුවරුව..බිත්ති පෝස්ටරයක ඇති අකුරු ලොකු දැන්වීම කියැවීමට ඉඩ දෙන්න.ඔවුන් කැමැත්තක් දක්වන බිස්කට්, අයිස්ක්‍රිම් ගැන දැන්වීම් අකුරු අමුණමින් කියවන විටත් දරුවා තුළ අකුරු හඳුනා ගැනීමට මෙන්ම අකුරු එකතු කර වචන ගලපා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.මේ පුහුණුව නිසා පංති මට්ටමින් දරුවා තුළ සෙසු දරුවන්ට සාපේක්ෂව ඇති අකුරු කියැවීමේ අපහසුතාවයට යම් අන්දමකින් 

විසඳුමක් ලැබෙනු ඇති.

පාඩම් පොත ගේන්න..මේ පාඩම කියවන්න..කියනවාට වඩා දරුවා කැමැත්තෙන් කියවන කථා පොතක්..ළමා පත්තරයක් අකුරු අමුණමින් කියවීමට අවස්තාවක් සලසා දෙන්න.

ඉස්පිලි,පාපිලි මග හලනවා නම්..

ඉස්පිලි,පාපිලි ගැන නොසලකන දරුවාට අසා ලිවීමේ ක්‍රියාකාරකම බොහොම රසවත් අත්දැකීමක් කරන්න.

පුතා..අම්මට ගේන්න ඕන මේ බඩු ලැයිස්තුව මට ලියලා දෙන්න.ඔන්න මං කියන්නම්..ඒ වගේම අද හැන්දෑවට පුතාට ගේන්න ඕන දේවල් මට ලියලා දෙන්නකෝ…

මෙවැනි ක්‍රියාකාරකමක් පොත,පැන්සල අරගෙන අසා ලිවීමක් කිරීමට වඩා සුන්දර විය හැක.

පාසල කියන්නේ සමාජයීය වර්ධනයට උපකාරි වෙන ස්ථානයක්

නිවසට පසුව දරුවාගේ සමාජයීය කුසලතාවයන් වර්ධනයට ඉඩ ලැබෙන ප්‍රධාන සංස්ථව වන්නේ පාසලයි. ඒ නිසාම පාසල දරුවාට වඩාත් ප්‍රියජනක තැනක් වීම වැදගත්.නමුත් දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියේ ඇති අපහසුතාවයන් නිසා ඔහු පසුගාමී දරුවෙකු වුනොත් පාසල සමග සහජීවනයෙන් කටයුතු කිරීම දරුවාට අපහසු විය හැක. පංතියේදී තමාගේ නොහැකියාවන් නිසා අසරණ වෙත්ම පාසල අපායක් තරමටම අප්‍රසන්න පරිසරයක් වීමට නම් ඉඩ තැබිය යුතුම නැත.

දරුවාගේ පාසල් වැඩ ගැන දෙමව්පියන්ගේ අවධානය

යාන්තම් රටේ හොදම පාසලට ඇතුලත් කලා. විවාහ වුන දැ පටන් කරපු සැලසුම නිසා අපි දැන් නිදහස්…ඒත් ඔබට එසේ නිදහස් විය නොහැක. දරුවා රටේ ජනප්‍රිය ප්‍රමුඛතාවයේ ඇති ඉහළම පාසලට ඇතුලත් කළත් ඔබ දරුවාගේ පාසල් වැඩ කටයුතු ගැන විමසා බලන්න.

දරුවාට හෙට දවසට පති පැවරුම් තිබිය හැකියි. යම් යම් ක්‍රියාකාරකම් වෙනුවෙන් ගෙන යා යුතු භාණ්ඩ හෝ ද්‍රව්‍යන් තිබිය හැක. ඒවා ගැන සොයා බලන්න. නමුත් ඒවා සූදානම් කර ගැනීම දරුවාට පවරන්න.එය දරුවාගේ වගකීමක් බැව් ඒත්තු ගන්වන්න.නමුත්..අවසාන නිරීක්ෂකයා ඔබ වෙන්න.දරුවාටම පවරා නිහඩ වීම සහ මේ සියල්ල ඔබ විසින් සූදානම් කිරීමත් නොකළ යුතුය.

විනෝදාංශයටත් ඉඩක්

දරුවාගේ වයසට අනුව යම් විනෝදයක් විවේකයක් අවශ්‍යයි. ඒ නිසා ඔවුන්ගේ මනාපය අනුව දරුවාට ගැලපෙන රූපවාහිනි වැඩසටහනක් නරඹන්න සහ සෙල්ලමටත් වේලාවක් ලබා දෙන්න.

උත්තේජනයක් අවශ්‍යයි.

දරුවා පාසල් වැඩ කටයුතු හොඳින් කළ දිනයට ඒ වෙනුවෙන් පුංචි තිලිනයක් ලබා දෙන්න.ඒ වෙනුවන් උදාසීනකම් පෙන්වන දිනයකදී දරුවාගේ රූපවාහිනි නරඹන කාලය සීමා කරන්න.එය දඬුවමක් සේ පෙන්වා දෙන්න.

දරුවා වඩාත් දුර්වල හෙවත් ඩිෆ්ලෙක්සියා තත්වයක නම්

ඇතැම් අවස්ථාවලදී ඩිෆ්ලෙක්සියා තත්වය නිසා දරුවාගේ ඉගෙනුම් කටයුතුවල පසුගාමී බවක් සිදු විය හැකිය

  • කියවීමේදී නිතරම අකුරු වැරදීම
  • නිතරම උඩ,යට, වම, දකුණ මාරු කිරීම
  • වේලාව නිවරැදිව සඳහන් කිරීමට නොහැකි වීම.
  • මතක තබා ගැනීම දුර්වලය.
  • දිනය, මාසය, අකුරු, අංක ගැන අවබෝධය හීනය.
  • ඇඳුමක බොත්තම් දමා ගැනීම, සපත්තු ලේස් ගැට ගසා ගැනීමට පවා නොහැකිය.

මෙවැනි අපහසුතාවයන් ඇත්නම් එම දරුවන් වෙනුවෙන් විශේෂ අවශ්‍යතාවයන් ඇති බැව් වටහා ගෙන ඒ වෙනුවෙන් සහයෝගය දක්වන්න.බුද්ධිහීනතාවයක් තිබුනත් දරුවාගේ බුද්ධියට අනුව ඉගෙනීමට ආධාර කිරීමෙන් අනාගතයේදි ඔවුන්ගේ හැකියාවන් සංවර්ධනය කර ගැනීමට කිසිදු බාධාවක් නැත.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article