“කටහඬ” යනු ලොකු පොඩි අපි සැමට අවේණික වූ වටිනා ආභරණයකි. නමුත් වැඩිහිටියන් ට ඇති වන කටහඩේ ගැටළු පිලිබඳ බොහෝ දෙනා කතා කලත් කුඩා දරුවන් හට ඇති වන කටහඬේ ගැටළු පිලිබඳ වැඩි අවධානයක් යොමු නොවන්නේ ඔවුන් වර්ධනය වීමත් සමඟ එම තත්ත්ව මඟ හැරී යන බවට ඇති විශ්වාසයත් සමඟයි. නමුත් කටහඬේ ඇති වන ගැටළු සමස්ත වාචික සන්නිවේදනයේ ගුනාත්මකබාවය වෙනස් වීම හා සන්නිවේදන හැකියාවන්ට බාධා ඇති කරන බව වර්තමාන පරියේෂණ වලින් හදුනා ගෙන ඇත. එමනිසා දරුවන් ට ගැටළු ඇති කරන ඇතැම් හඬේ ගැටළු, ඒවා ඇති වීමට බලපාන හේතු හා ඊට පිළියම් පිලිබඳ දෙමවුපියන් ගේ අවබෝධය ඉතාමත් වැදගත් වේ.
කටහඬ නිපදවන්නේ ස්වරාලයේ ඇති ස්වර තන්තු කම්පනය වීමෙනි. ළදරු වියේ සිට වැඩිවිය පැමිණෙන තුරු ස්වරාලය හා ස්වර තන්තු සැලකිය යුතු ලෙස ව්‍යුහයමය වශයෙන්, ප්‍රමාණයෙන්, දිගින් හා ඝනකමින් වෙනස් වේ. ළමා ස්වරාලය හා ස්වර තන්තු වැඩිහිටි අපගේ ස්වරාලය හා ස්වර තන්තු වලින් වෙනස් වේ. ළදරුවෙකු ගේ ස්වරාලය ගෙලෙහි ඉහලින් ස්ථාන ගත වී ඇති අතර දරුවා ගේ වර්ධනයත් සමඟ ස්වරාලය ව්‍යුහාත්මක ව වෙනස් වේ.මෙම වර්ධනය උපතේ සිට වයස අවුරුදු තුන දක්වා වේගවත් වන අතර පසුව නව යොවුන් වියේදී හා වැඩිවිය පැමිණීමේදී විශේෂයෙන් ම පිරිමි ළමුන් තුල වේගවත් ව සිදු වේ. තවද ගැහැණු හා පිරිමි වශයෙන් ද ස්වරාලයේ වෙනස් කම් මත හඬේ වෙනස් කම් ඇති වේ.
ළමා ස්වරාලයේ ව්‍යුහයේ හා ක්‍රියාකාරිත්වයේ වෙනස් කම් නිසා කටහඬේ ගැටළු ඇති කරනු ලබයි. මෙම තත්වය පොදුවේ “ඩිස්ෆෝනියා” ලෙස හදුන්වන අතර මෙම තත්වයේ අනුවර්ගිකරණයන් ද පවතී. මෙම කටහඬේ ගැටළු ඇති වීමට බොහෝ කරුණු හේතු වන අතර ව්‍යුහමය ගැටළු, සංජානනීය ගැටළු, ප්‍රධාහයන් හා ස්නායු ගත ගැටළු ඉන් ප්‍රධාන වේ.
තවද ළමා ඩිස්ෆෝනියා තත්වයේ සුලභ ආකාර වලින් එකක් වන්නේ ස්වර තන්තු වල ඇති වන ඉදිමුම් හා ගැටිති ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදී සිදු වන්නේ ස්වර තන්තු වල ඇති පටක ඒකපාර්ශවිය හෝ ද්විපාර්ශවිය වශයෙන් ඉදිමුමක්, ගැටිත්තක් හෝ තුවාල වීමක් සිදුවීමයි. මෙමගින් සාමාන්‍ය ස්වර තන්තු කම්පනය ට බාධා ඇති කරයි. එවිට කටහඬේ සාමාන්‍ය ධ්වනි තරංග හා අනුනාද වෙනස් වී වෙනස් වූ ඝෝෂාකාරී කටහඬක් හෝ සාමාන්‍ය නොවන කටහඬක් නිර්මාණය කරයි. ඇතැම් විට දරුවා කතා කරන විට වඩාත් වේදනාකාරී වීමට ද ඉඩකඩ පවතී. තවද මෙම තත්වය ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස කුඩා දරුවන් තම කටහඬ අනිසි ලෙස භාවිතා කිරීම, අනවශ්‍ය ලෙස කෑ ගැසීම ආදී බොහෝ හේතු බලපානු ඇත.
මෙවන් ගැටළු ඇති වූ විට එය එය නිවැරදි ලෙස හදුනා ගැනීම ඉතාමත් වැදගත් වේ. ඒ සඳහා උගුර කන නාසය පිලිබඳ වෛද්‍යවරුන් හා කථන හා භාෂා චිකිත්සකවරුන් එක වී කටයුතු කිරීම සිදුවේ. එහිදී අවශ්‍ය නම් ස්වරාලය දෘෂ්‍යකරනයක ට ලක් කිරීම, විවිධ වූ තක්සේරුපත් ආදිය යොදා ගනිමින් ගැටලුව හඳුනා ගනු ලබයි.
තවද රෝග විනිශ්චය මත පදනම් ව ළමා ඩිස්ෆෝනියා තත්වය ට ප්‍රතිකාර කරනු ලබයි. දරුවා පෙන්නු කරන ගැටලුව අනුව ප්‍රතිකාර වෙනස් වන අතර කථන හා භාෂා චිකිත්සවරුන් විසින් වාචික සනීපාරක්ෂාව (Vocal hygiene), දරුවාගේ කටහඬේ අනිසි භාවිතයන් හා හැසිරීම් අඩු කිරීම සඳහා නිසි උපදෙස් දෙනු අතර ඊට අමතරව අවස්තනුකුල ව රෝග විනිශ්චය මත පදනම් ව ව්‍යායාම් හා ව්‍යුහාත්මක ගැටළු වලදී අවශ්‍යතාවය මත වෛද්‍යවරුන් විසින් ශල්‍යකර්ම මගින් ගැටලුව නිවැරදි කරගත හැකිය.
එමනිසා ඔබේ දරුවත් අනිසි ලෙස කටහඬ භාවිතා කරනවා නම්, නිතර ඝෝෂාකාරී ලෙස වාචික සන්නිවේදනයේ යෙදෙනවා නම් ඔවුන් ගේ වාචික සනීපාරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීමත්, දරුවාගේ කටහඬේ ගැටළු හෝ වෙනස්කම් ඇත්නම් ඒ පිලිබඳ සැලකිලිමත් වී අදාළ වෛද්‍යවරයෙකු හෝ කථන හා භාෂා චිකිත්සවරයෙකු වෙත යොමු වීමත් ඉතා වැදගත් වේ.
කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.