- Advertisement -

දරුවන්ගේ සන්නිවේදන කුසලතාවන් වර්ධනයට අත්වැලක් වන මූලික කුසලතා 10ක්

-

අපේ දරුවන්ගේ වර්ධනය අපේ දරුවන්ගේ සන්නිවේදන කුසලතාවල වර්ධනය තීරණය වන්නේ ඔවුන් සතුව තියෙන කුසලතා සහ හැකියාවන් මත. ඉතින් ඔවුන්ගේ කුසලතාවන් වර්ධනය කරන්න පුළුවන් නම් අපිට ඔවුන්ගේ සන්නිවේදන ක‍්‍රියාවලිය ශීඝ‍්‍ර කරන්නට අනිවාර්යයෙන්ම පිටුබලයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම දරුවන්ගේ සන්නිවේදන කුසලතාවන් වර්ධනයට අත්වැලක් වෙන්න පුළුවන් මූලික කුසලතා ගැන දැනුවත් වීම ඉතාම වැදගත්. මේ කුසලතා පිළිබඳ නිසි දැනුවත් බව දෙමව්පියන්ට වගේම ගුරුවරුන්ටත් බොහෝ වැදගත් වෙයි.

අපේ දරුවන්ගේ සන්නිවේදන කුසලතාවන් වර්ධනයට අත්‍යාවශ්‍ය වන පෙර කුසලතා මොනවද?

- Advertisement -

1. අවධානය
ඕන කෙනෙකුට ඕනම දෙයක් ඉගෙන ගැනීමට අවධානය තිබිය යුතුයි. උදාහරණයක් විදියට පාඩම් කරද්දී නැත්නම් කාර්යාලයේ වෙනත් වැඩකදී එහෙමත් නැත්නම් වත්තේ පිටියේ වැඩකදී වුණත් ඒ කාරයය හරිම විදියට කරන්න නම් අපි ඒ ක‍්‍රියාවලියට අවධානය දිය යුතුමයි. ඉතින් අපේ දරුවන්ගේ අවධානය කියන කුසලතාවය හොඳින් තිබ්බොත් අපිට අපේ දරුවන්ගේ සන්නිවේදන කුසලතාවය වර්ධනය කරන්නට ලොකු අත්වැලක් සපයන්න පුළුවන්. ඒක නිසා අපි දරුවන්ගේ සන්නිවේදන කුසලතා දියුණු කිරීමේදී අවධානය යොමු කළ යුතු ප‍්‍රධානම කුසලතාවයක් වන්නේ අවධානයේ මට්ටම දියුණු කිරීම.

2.පොදු අවධානය
දෙවන කුසලතාවය විදියට joint attention එහෙමත් නැත්නම් යමක් වෙනුවෙන් පවතින පොදු අවධානයයි. උදාහරණයක් විදියට මම ඔබට කිව්වොත් අර බලන්න, ඔබ මගේ ඇඟිල්ල දිහා බලලා ඒ ද්‍රව්‍ය දිහා බලනවා. ඉතින් යම් කිසි දරුවෙකුට මෙන්න මේ කියන කුසලතාවය නැත්නම් ගොඩක් වෙලාවට ඔහුට භාෂාව අවබෝධ කරගන්නට, එහෙම නැත්නම් සන්නිවේදන කුසලතාව වර්ධනය කරගන්නට ලොකු බාධාවක් විය හැකියි.

3. ඇසට ඇස බැලීම
අපි තවත් කෙනෙකු එක්ක කතා කරද්දි ඇසට ඇස නොබලා වෙනත් පැත්තක් බලාගෙන කතා කරනවා නම් අනිත් කෙනත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනඟා ගන්නේ නැහැ. ඔබට පුළුවන් නම් ඔබ කතා කරන පුද්ගලයාගේ ඇස දිහා බලාගෙන කතා කරන්න ඔබට අනෙත් පුද්ගලයත් එක්ක සම්බන්ධතාවය ගොඩනඟා ගන්න ඉතාමත්ම පහසුයි. ඉතින් අපේ දරුවන්ගේ eye contact එහෙමත් නැත්නම් ඇසට ඇස බැලීමේ කුසලතාවය වර්ධනය කිරීමත් සන්නිවේදන කුසලතා දියුණු කිරීමේ මූලික ආරම්භක කුසලතා වල එන තවත් එක් කුසලතාවක් වෙනවා.

4. තේරුම් ගැනීමේ හැකියාව
මෙය සන්නිවේදන කුසලතාව වර්ධනය කිරීමේදී විශාල කාර්යයභාරයක් ඉටු කරනවා. මේක අපිට අදියර කීපයකින් හඳුනා ගත හැකියි.
පරිසරයේ සිදුවන සිදුවීම් තේරුම් ගැනීමේ හැකියාව
උදාහරණයක් විදියට කෝච්චියක් ගත්තොත්, කෝච්චියක් යනවා, කෝච්චිය එන්නේ මේ පැත්තේ ඉදලා මේ පැත්තට කියලා අවබෝධය දරුවට තියෙන්න ඕන. ඒ වගේම අපි හිතුවොත් බස් එකක ශබ්දයක් අපිට ඇහෙනව නම් ආ බස් එක එන්නේ මේ පාරේ, මෙන්න මේ දිශාවට තමයි බස් එක යන්නේ. කෝච්චියේ ශබ්දයෙන් බස් එකේ ශබ්දය වෙනස් කරලා හඳුනාගැනීමට හැකිවීම වැදගත්. අන්න ඒ වගේ පරිසරයේ සිදුවන විවිධ විවිධ ශබ්ද තේරුම් ගැනීම සහ ඒවට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව දරුවාගේ සන්නිවේදන කුසලතා වර්ධනයේදී ඉතාමත්ම රුකුලක් වෙනවා.
විවිධ පුද්ගලයන් හඳුනාගැනීම සහ ඔවුන්ට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව
අපි හිතුවොත් කුඩාම වයසේ දරුවන්ට තමන්ගේ පවුලේ සාමාජිකයන් හඳුනාගන්න අමාරුයි. හැබැයි වයසින් මුහුකුරා යද්දී කුසලතාව වර්ධනය වෙද්දී දරුවට පුළුවන් මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ පවුලේ සාමාජිකයෙක්, මේ අපේ පවුලේ සාමාජිකයෙක් නොවන කෙනෙක් කියන අවබෝධය ලබාගන්න. මෙන්න මේ විදියට විවිධ පුද්ගලයින් තේරුම් ගැනීමට ඇති හැකියාවත් ඒ ඒ විවිධ පුද්ගලයින්ට විවිධ අයුරින් ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවත් දරුවන්ගේ සන්නිවේදන කුසලතාව වර්ධනයට අත්වැලක් වන මූලික කුසලතායි.

5. විවිධ ශබ්ද හඳුනාගැනීම හා එම ශබ්ද අනුකරණය කිරීමට දරුවට ඇති හැකියාව
ගොඩක් වෙලාවට අපි දරුවොත් එක්ක සෙල්ලම් කරද්දී විශේෂයෙන්ම කුඩාම වයසේ දරුවොත් එක්ක සෙල්ලම් කරද්දී අපි සෙල්ලම් කරනවා සතුන්ගේ ශබ්ද භාවිත කරලා, එහෙමත් නැත්නම් වාහනවල ශබ්ද භාවිත කරලා. ඉතින් අපිට මේ වගේ ශබ්ද එක්ක කරන සෙල්ලම් අපි කියනවා vocal play කියලා. මෙන්න මේ ක‍්‍රියාකාරකම් වලදී දරුවට පුළුවන් නම් මෙන්න මේ ශබ්දය එන්නේ මෙන්න මේ සතාගෙන්, මෙන්න මේ ශබ්දය අදාල වෙන්නේ මෙන්න මේ වාහනයට කියන දේ ගලපගන්න සහ ඒ ශබ්ද නැවත නැවත අනුකරණය කිරීමට එයත් සන්නිවේදන කුසලතාවන් වර්ධනය කිරීමට දරුවන්ට මහත් රුකුලත් වෙනවා.

6. එකිනෙක ගැලපීමේ හැකියාව
මෙයත් සන්නිවේදන කුසලතාවන් වර්ධනය කිරීමට රුකුලක් වෙන කුසලතාවක් වෙනවා. උදාහරණයක් ‍විදියට පෑනක් පෙන්නලා මොකක්ද කියලා විමසූ විට එය පෑනක් ලෙස හඳුනාගෙන, එය පෑනක් ලෙස නම් කිරීමට නම් මොළයේ භාෂාව සම්බන්ධ කොටසේ ක‍්‍රියාවලීන් කීපයක් සිද්ධ වෙනවා. පළවෙනිම දේ තමයි මෙන්න මේ දකින දේ මොළයේ ද්‍රව්‍ය පිළිබඳ මතකය තැන්පත්ව ඇති කොටසේ තිබෙන ද්‍රව්‍යත් එක්ක ගලපගන්න දරුවට හැකියාව තියෙන්න ඕන. ඒ ගලපගත්ත පින්තූරයට ගැලපෙන වචනය අඳුරගන්න ඕන. පැන්සල, පෑන, පිඟාන, කෝප්පය කියන මේ වචන ගොන්න අතුරින් මේ දෙය මොකද්ද ඒකට ගැලපෙන වචනය පෑන කියන වචනයයි කියලා දරුවට ගලප ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඊට පස්සේ මොළය මගින් කටට අවශ්‍ය සංවේදනය, පණිවිඩය එවනවා පෑන කියන වචනය කියන්න කියලා. ඉතින් ඒ අතින් බලද්දී ගලපා ගැනීම සන්නිවේදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය කුසලතාවයක්.

7. වාචික නොවන සන්නිවේදන ක්‍රම (non verbal communication strategies) හඳුනා ගැනීම
මුහුණේ ඉරියව්, අත්වලින් පෙන්වන දේවල්, චලනවලින් පෙන්වන දේවල් පින්තූර වලින් පෙන්වන දේවල් හඳුනාගැනීමට ඇති හැකියාවයි. අපි හිතුවොත් දරුවෙක්ට දුක මූණක් දැක්කම මෙයාට දුක හිතෙන සිද්ධියක් සිද්ධ වෙලා, දැන් මෙයා ඉන්නේ දුකෙන්. එහෙමත් නැත්නම් අපිට කේන්ති ගිහින් ඉන්න වෙලාවට දැන් නම් අම්මට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ, මේ වෙලාවේ මං අම්මට කතා කරන්න ගියොත් බැනුම් අහන්න වෙනවා. මේ කියන අවබෝධය දරුවෙක්ට ගන්න පුළුවන් නම් ඒ non verbal communication පිළිබඳ තියෙන අවබෝධයයි. ඒක නිසා non verbal communication ගැන දරුවා යම් කිසි මට්ටමකින් කුසලතාවයක් දක්වනව නම් ඒ කුසලතාවය දියුණු කිරීමට අත්වැලක් සපයන එක අනිවාර්යයෙන්ම සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමට දරුවාට අත්වැලක් වීමට හැකි කාර්යයක් වෙනවා.

‍8. සරල විධාන සහ කුඩා වාක්‍ය තේරුම් ගැනීමට ඇති හැකියාව
යම් කිසි දරුවෙකු වචන භාවිත කරනව නම් වචන කතා කරන්න පුළුවන් නම් යම් කිසි මට්ටමකට අවබෝධය තියෙනව නම් අපේ ඊලඟ පියවර විය යුත්තේ සරල වාක්‍ය සහ සරල විධාන තේරුම් ගැනීමට දරුවාට තියෙන හැකියාව දියුණු කිරීමට ක‍්‍රියාකාරකම් කිරීම. අපිට පුළුවන් පොඩි පොඩි ද්‍රව්‍ය දීලා දරුවට කියන්න පුළුවන් මේක අම්මට දෙන්න, මේක තාත්තට දෙන්න එහෙම නැත්නම් මට ඔයාගේ ඇස් පෙන්නන්න. අපිට දේවල් ඇහෙන්නේ මොකෙන්ද, බෝතලය අරගෙන කෝප්පය උඩින් තියන්න. මෙන්න මේ වගේ විවිධ විධාන දීලා විවිධ විධාන වලට කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ කියන එකට දරුවාව හුරු කළ හැකියි.

9. වාර ගනිමින් සෙල්ලම් කිරීම
interactive play activities වලට යොමු වීමත් දරුවගේ සන්නිවේදන කුසලතාවන් දියුණි කිරීමට අපිට තවත් අත්වැලක් වෙන්න පුළුවන්. අපි හිතුවොත් බෝලය එකිනෙකා අතර පාස් කරමින් සෙල්ලම් කරන විට එය නිකම්ම පාස් කරනවාට වඩා තාත්තගේ වාරේ, බබාගේ වාරේ, තාත්තාගේ වාරේ බබාගේ වාරේ මේ විදිහට වාර ගනිමින් අපට ඒ වාර ගන්න කෙනාගේ නම කියමින් බෝලය පාස් කළ හැකි නම් එකිනෙකා අතර වාර ගැනීම පිළබඳ දරුවට අවබෝධය තියෙනවා. ඒ වගේම මේ එකිනෙකා අතර වාර ගැනීම පිළිබඳ අවබෝධය සන්නිවේදන කුසලතා වලට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එතකොට තමන් විතරක් කතා කරනවා වෙනුවට මම කතා කලාට පස්සේ මගේ කතාවට ප‍්‍රතිචාර දක්වන්න තව කෙනෙක් ඉන්නවයි කියන අවබෝධය දරුවට ලබෙනවා.

10. චරිත නිරූපණය
ඔබට පුළුවන් පොඩි පොඩි ක්‍රියාකාරකම්වල යෙදෙන්න. උදාහරණ විදියට මම තමයි අම්මා, බබා තමයි තාත්තා. ඒ විදියට අපිට නොයෙක් සංවාද ගොඩනගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම මම තමයි ටීචර්. බබා තයි පන්තියේ ‍ඉගෙන ගන්නේ. ඔන්න අම්මා තමයි ලෙඩ වෙලා ඉන්නේ. බබා තමයි ඩොක්ටර්. මෙන්න මේ විදියට එදිනෙදා ජීවිතයේ අපි මුහුණදෙන අත්දැකීම් විවිධ විවිධ සෙල්ලම් ආශ‍්‍රයෙන් දරුවා සමග සිදු කළ හැකියි.

කථන චිකිත්සකවරයෙක් වෙත ඔබ ඔබේ දරුවා රැගෙන යන්නේ කතාවේ ඇති අඩුපාඩුවක් නිවැරදි කරගන්න වුණත් ඇතැම් විට ඔවුන් දරුවා සමග සෙල්ලම් කරනවා, බෝල දානවා, සබන් බෝල පුම්බනවා, කතන්දර කියලා දෙනවා දකිද්දි එය ගැටලු සහගත අත්දැකීමක් විය හැකි වුවත් එතැනදී සිදුවන්නේ කතාවේ දියුණුව වෙනුවෙන් දරුවෙකුගේ පෙර කුසලතා වර්ධනය කිරීම බව වටහා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

පාත් ටු වොයිස් යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ භාෂා හා කථන ව්‍යාධිවේදී, ආචාර්ය නිමීර වීරරත්න මහතා 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article