- Advertisement -

ගැබිනි මව්වරුන් කොවිඩ් රෝගය ගැන දැනගත යුතුම කරුණු

-

ලොව පුරා පැතිර යන කොවිඩ් රෝගය හේතුවෙන් මුළු මහත් ලෝකයකම ජනාතාව පත්ව සිටින්නේ ඉතාම අසරණ තත්ත්වයකටයි. වයස් භේදයකින් තොරව කොවිඩ් රෝගයෙන් ජීවිත දහස් ගනනින් අහිමි වන වටපිටාවක අප අපේ ආරක්ෂාව සම්බන්ධව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ අතරින් තවත් ජීවිතයක් තම කුස තුළ හොවා සුරකින ගැබිනි මව ගැන අපි සිය දහස් වරක් සිතිය යුතුය. ඒ ගර්භණී බව ස්වභාවික ක‍්‍රියාවලියක් වුණත් ගර්භණී කාන්තාව කියන්නේ අපිට විශේෂ පුද්ගලයෙක් නිසාත් ගර්භණී සමය විශේෂ අවස්ථාවක් නිසාත්ය.

ගර්භණී බව සහ කොවිඩ් 19 රෝගය ගැන කතා කරද්දී ගර්භණී කාන්තාව පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුමයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරය පිළිගත් අවධානම් පිළිබඳ වර්ගීකරණයේදී (risk classification) මේ ගර්භණී කාන්තාව අයත් වන්නේ සුළු අවධානමට වඩා ටිකක් වැඩි අවධානමක් (Moderate Risk) ඇති අයෙක් ලෙසටයි. නමුත් එමගින් ගර්භණී කාන්තාව ගර්භණී නොවන කාන්තාවකට වඩා කොවිඩ් රෝගය සෑදීමේ වැඩි අවධානමක් ඇති බවක් අදහසක් නොවුණත් ගර්භණී කාන්තාවක් සුළු අවධානමට වඩා ටිකක් වැඩි අවධානමක් (Moderate Risk) ඇති අය ලෙස වර්ගීකරණය කෙරෙන්නේ ආරක්ෂක පියවරක් ලෙසටයි.

- Advertisement -

උදාහරණයක් ලෙස මේ තත්ත්වය පැහැදිලි කළහොත් ගැබිනි කාන්තාවක් ඇතැම් විට දියවැඩියාව/ දීර්ඝ කාලීන අධි රුධිර පීඩනය වගේම මේ කාලයේදී ඇතැම් විට ප‍්‍රතීශක්තීකරණයේ අඩුකමක් සමග කාලය ගත කරනවා විය හැකියි. එවැනි තත්ත්වයක සිටින ගැබිනි කාන්තාවක් කොවිඩ් රෝගයට ගොදුරු වූවොත් එය යම්තාක් දුරට ගැටලුකාරී වීම, තත්ත්වය බරපතල වීමට වුවත් ඉඩකඩ වැඩියි. ඇතැම් විට දැඩි සත්කාර ඒකකයන් වලද ප‍්‍රතිකාර ලැබීමට සිදුවිය හැකියි. අන්න ඒ නිසාම ගැබිනි කාන්තාවන් විශේෂයෙන්ම මේ කාලය තුළ පරිස්සම් විය යුතුයි. ඒ සඳහා රජය මගින් උපදෙස් ලබා දී ඇති පරදි සියලුම සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග, ක‍්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වේ. උදාහරණයක් විදියට මුඛ ආවරණ පැළදීම, නිතර දෑත සේදීම, සමාජ දුරස්ථභාවය වගේම අවට සමාජයට නිරාවරණය වීම හැකි තරම් අවම කිරීමත් බොහෝ සෙයින් වැදගත් වෙනවා සේම ඉහත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තම සායනික කටයුතු නිසි පරිදි සිදු කරගැනීමත් ඉතාම වැදගත්. 

ගැබිනි කාන්තාවක් කොවිඩි රෝගය ගැන විශේෂ අවධානයක් දිය යුත්තේ කෙසේද?

ගැබිනි කාන්තාවක් ලෙස ඔබට හිතෙනවා නම් ඔබ කොවිඩ් රෝගියෙකුට නැත්නම් ඒ අවස්ථාවකට නිරාවරණය වූවා කියා ඔබ, ඔබ ගැනම තක්සේරු කිරීමක් සිදු කරගැනීම ඉතාමත්ම වැදගත්. ඒ විශේෂයෙන්ම ගැබිනි සමයේදී ඇති වන ඇතැම් ලක්‍ෂණ මේ කොවිඩ් රෝගයෙත් රෝග ලක්‍ෂණ වෙන නිසයි. 

උදාහරණ ලෙස,

  • වමනය
  • ඇඟපත වේදනාව
  • මාංශ පේශී විඩාව 
  • ගර්භණී සමයේ තෙවන ත්‍රෛමාසිකය ගත කරන විශේෂයෙන්ම ස්ථූල කාන්තාවන්ට එක දිගටම කතා කිරීමේදී හෝ යම් දුරක් ඇවිදීමේදී ඇති වන ශ්වසන අපහසුවතාවය කොවිඩ් රෝගයෙත් රෝග ලක්‍ෂණ වෙනවා. 

අන්න ඒ නිසාම ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ඔබ මේ ලක්‍ෂණ නොතිබුණු ගැබිනි කාන්තාවක් නම් ඒ ලක්‍ෂණ අලුතින් ඇති වෙනවා නම් හෝ ගැබිනි සමයේ මේ ලක්‍ෂණ තිබුණු ගැබිනි කාන්තාවකට මේ ලක්‍ෂණ වැඩි වෙනවා නම් ගැබිනි මවක් ලෙස ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. 

ගැබිනි කාන්තාවක් තමන් රෝගයට නිරාවරණය වී ඇතැයි සැක කරනවා නම් හෝ නිරෝධායනයට යොමු වී සිටිනවා නම් තමා ආසාදිතයෙක්ද යන්න ගැන අදහසක් ලබා ගන්නේ කෙසේද?

කොවිඩ් රෝගය ප‍්‍රධානවම ශ්වසන පද්ධතිය ආශ‍්‍රිත රෝගයක් වුවත් ඇතැම් අවස්ථාවලසී වකුගඩු, හෘදය යන තවත් පද්ධතීන් මෙයට සම්බන්ධ විය හැකියි. කොවිඩ් රෝගය ආසාධිත ඇතැම් පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ඇතැම් ගැබිනි කාන්තාවන් වුවත් කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වනවා විය හැකියි. ඇතැමුන් ඉතාමත් සුළු වශයෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන අතරම තවත් සමහරක් අය මධ්‍යස්ථව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පසුව එය වර්ධනය වී රෝග ලක්‍ෂණ තීව‍්‍ර අවස්ථාවට පත්විය හැකියි. ගැබිනි කාන්තාවක් මේ තීව‍්‍ර අවස්ථාව දක්වා උග‍්‍ර වීමට පෙර මුල්ම අවස්ථාවේදීම රෝහල් ගත වීම අනිවාර්යයි.

විශේෂයෙන්ම උණ රෝග ලක්‍ෂණය නොපෙන්වන ගැබිනි කාන්තාවක්ගේ කොවිඩ් රෝගය තීව‍්‍ර විය හැකි බව සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. ගැබිනි කාන්තාවක් නිරෝධායනයට යොමු වී ඇත්නම් හෝ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බවට සැකයක් ඇත්නම් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. 

කොවිඩ් රෝගය මුල්ම අවස්ථාවේදී,

  • සාමාන්‍ය කැස්ස (නින්දට බාධා නොවන)
  • උගුරේ වේදනාවෙ
  • ගඳ, සුවඳ, රස නොදැනී යාම යන ලක්ෂණ පෙන්නුම් කරයි. 

රෝග තත්ත්වය උත්සන්න වන විට

  • දිනකට කැස්ස ඇති වෙන වාර ගණන වැඩි වේ (නින්දට බාධා වේ)
  • හුස්ම ගැනීම අපහසු වේ (නිවස තුළ ඇවිදීමට/වැඩ කරගැනීමටවත් බාධා නොවේ)
  • සාමාන්‍ය ව්‍යායාම වල යෙදුනු ගැබිනි කාන්තාවක් නම් ව්‍යායාමවල නිරත වීමට අපහසු වේ
  • වෙනදා පඩි පෙළ නැගීමේදී අපහසුවක් නොදැනුනත් මේ තත්ත්වයේදී පඩි පෙළ නැගීමට අපහසුයි

මේ තත්ත්වය තීව‍්‍ර වන විට මේ අපහසුතාවයන් තව තවත් තීව්‍ර වේ.

  • පුටුවක වුණත් වාඩි වී සිටීම පවා අපහසු විය හැකියි.
  • එදිනෙදා කටයුතු කරගැනීම පවා අපහසුයි.
  • හුස්ම ගැනීමේදී පපුව තද වෙන ගතියක් දැනිය හැකියි
  • සම්පූර්ණ වාක්‍යයක් එක දිගට කතා කරගැනීමද අපහසු විය හැකියි
  • හුස්ම ගැනීමේදී මුව විවර කොට තබාගැනීමට අවශ්‍ය වේ

 

 මෙවැනි තත්ත්වයකදී තමා විසින්ම රෝගය හඳුනා තීව‍්‍ර තත්ත්වයේ රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමට පෙර මුල්ම අවස්ථාවේදීම රෝහල් ගතවීම ගැබිනි කාන්තාවක් වන ඔබේත් කුස තුළ වැඩෙන කිර කැටියාගේත් ආරක්ෂාවට ඉතා වැදගත් වන බව සිහි තබා ගන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

සුනි එදිරිසිංහ මහත්මිය

ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි

කාසල් වීදිය කාන්තා රෝහල

කොළඹ 08

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article